නර්තන ශිල්පීන් 6000ක් එකම ප්‍රසංගයක, කොළඹ ජාත්‍යන්තර නර්තන උත්සවය ඔක්තෝ්බර් 15,16

ඔක්තෝබර් 14, 2024

අන්තර්ජාතික මට්ටමේ නර්තන ප්‍රසංගයක් නරඹන්නට දැන් ඔබටත් අවස්ථාව හිමිවේ. ඒ ප්‍රවීණ නර්තන ශිල්පී ලක්ෂ්මන් මංචනායක ඇතුළු නර්තන ශිල්පීන් ශිල්පිනියන් විසින් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර නර්තන ප්‍රසංගය (Colombo International Dance Festival Association - CIDFA) දෙස් විදෙස් නර්තන ශිල්පීන් 6000කගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මේ මස 15,16 දෙදින පැවැත් වේ.

ජාත්‍යන්තර වටිනාකමක් ඇති මෙම ප්‍රසංගයේ අධ්‍යක්ෂ ප්‍රවීණ නර්තන ශිල්පී තරුණී හා පිළිසඳරක එකතු වූයේ මෙසේයි.

මොකක්ද මේ විශේෂ නර්තන ප්‍රසංගය?

මේක නම් කළේ කොළඹ ජාත්‍යන්තර නර්තන උලෙළ (Colombo International Dance Festival Association - CIDFA) ලෙසයි. දැනට ලෝකයේ පවත්වනු ලබන විශාලම නර්තන ප්‍රසංගය ලෙස ප්‍රසිද්ධයි.

මීට පෙරත් මෙවැනි ප්‍රසංගවල අත්දැකීම් ඇති. ඒ පිළිබඳ සිහිපත් කළොත්...?

2023 වසරේදී නෙළුම් පොකුණ රඟහලේ පළමු ප්‍රසංගය කලා ශිල්පීන් ශිල්පිනියන් 1500කගේ සහභාගීත්වයෙන් පැවැත්වූවා. දෙවැනි ප්‍රසංගය එහිදීම නර්තන ශිල්පීන් ශිල්පිනියන් 3000කගේ සහභාගිත්වයෙන් ද තුන්වැනි ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ශිල්පීන් 5000කගේ සහභාගිත්වයෙන් ද පවත්වනු ලැබුවා. මෙවර හතරවැනි උළෙල නියෝජනය කරන්නට නර්තන ශිල්පීන් 6000ක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ වේදිකාවට එළැඹෙන 15 වැනිදා සහ 16 වැනිදා ගොඩ වෙනවා.

උලෙළට සමගාමීව නර්තන වැඩමුළු පවත්වනවාද?

ඔව්. මෙයට සහභාගී වන සෑම රටක්ම ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වීමත්, ජාතීන් අතර භාෂාව, නර්තනය හුවමාරු කර ගැනීම පදනම් කරගෙන වැඩමුළු කිහිපයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ගම්පහ, කුරුණෑගල, මහනුවර, මාතර යන දිස්ත්‍රික්ක ආවරණය වන අයුරින් වැඩමුළු හතරක් පැවැත්වෙනවා. විවිධ රටවල නර්තන පාසල් පවත්වාගෙන යනු ලබන ගුරුවරුන් හා නර්තන ශිල්පීන් මේ සඳහා සහභාගි වෙනවා.

මේ සහභාගි වන ශිල්පීන් ඇගයීමකට ලක්වෙනවාද?

ඔව්. මේ සඳහා ලංකාවේ උතුරු පළාත හැර සියලුම ප්‍රදේශවලින් ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වෙනවා. ඒ සියලු දෙනාට අන්තර්ජාතික මට්ටමේ සහතිකයක් සහ ඊට අදාළ පලඳනාවක් පිරිනමනවා. එමෙන්ම වසරක රක්ෂණාවරණයක් ද හිමිවෙනවා. එය විශේෂ වරප්‍රසාදයක්.