වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දින 45න් අස්වනු ගෙනෙන රාබු වගාව
උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ
ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ
රංජිත් කළුආරච්චි
එදිනෙදා පරිභෝජනය සඳහා තම ගෙවත්තේම වගා කළ හැකි එළවළු අතරට එකතුවන රාබු ඉතා පහසුවෙන් වගා කළ හැකි එළවළුවකි. විශේෂයෙන්ම දින 45 ත් 65 ත් අතර කාලයේ එනම් මාස 1 1/2 ක් වැනි කෙටි කාලයක් තුළ මේ රාබු ඔබට එකතු කරගත හැකියි.
රාබු වර්ග කිහිපයකි. එනම් ලංකා බෝල රාබු, බීරළු රාබු , රතු රාබු ආදී වශයෙනි. මේවායින් බීරළු රාබු ප්‍රභේද පහත රට ප්‍රදේශවල වඩාත් හොඳීන් වැඩෙන අතර අනෙක් වර්ගයන් උඩරට ප්‍රදේශවලට වඩාත් සුදුසු බව කියැවේ. එසේ වූවත් රාබු යනු ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකි එළවළුවකි.
රාබුවල ගුණය
රාබු කෑමට ඇතැම් අය බොහෝ අකැමැතිය. නමුත් රාබු යනු ගුණාත්මක බවින් බෙහෙවින් ඉදිරියෙන් සිටින එළවළු වර්ගයකි. ෆෝලික් අම්ලය සහ පොටෑසියම් බහුල මේ රාබුවල විටමින් ඕ6 , මැග්නීසියම්, කොපර්, කැල්සියම් වැනි ද්‍රව්‍ය ද අඩංගු වේ. ඊට අමතරව කාබෝහයිඩ්රේට් ප්‍රතිශතය ද ඉතා ඉහළය. මේ නිසා ශරීර ශක්තිය වඩන අතර පිළිකාව, කක්කල් කැස්ස, පිත්තාශ රෝග, ආමාශයික පණු රෝග, මලබද්ධය මෙන්ම මුත්‍රා ආශ්රිත රෝග, වකුගඩු රෝග සඳහා ද ඖෂධයක් ලෙසින් රාබු ආහාරයට ගත හැකියි.
බිම සැකසීම
මේ සඳහා අඩි 3 ක් පළලට, අඟල් 8 ක් පමණ උසට, ඔබට අවශ්‍ය තරම් දිගට පාත්තියක් සකසා ගත යුතුයි. මෙහිදී හොඳීන් හිරුඑළිය පතිත වන ස්ථානයක් තෝරා ගත යුතු අතර මුලින්ම පස පෙරළා විශාල අංශු කොටස් ( ගල්, ලොකු මුල් ආදිය) ඉවත් කරගත යුතුය. අනතුරුව ඔබට සොයාගත හැකි පරිදි කුකුළු පොහොර , ගොම පොහොර, කොම්පෝස්ට් හෝ හොඳීන් දිරා ගිය කොළරොඩු , පුලුස්සාගත් දහයියා ආදිය ද මෙම පසට එක්කර හොඳීන් කලවම් වන පරිද්දෙන් බිම් පෙරළාගන්න. අළුහුණු හෝ ඩොලමයිට් යම් ප්‍රමාණයක් මතුපිට සිට අඟල් 4 ක පමණ ගැඹුර දක්වා පස් සමඟ මිශ්‍ර කරගන්න.
දැන් පාත්තියේ හැඩය එන පරිද්දෙන් සකසා ජලය හොඳීන් දමා තෙත්කර ගෙන අවර්ණ පොලිතීනයකින් සම්පූර්ණ පාත්තියම වසාගන්න.මෙහිදී පොලිතීනය වටේට පස්වලින් හෝ ගඩොල්වලින් හිරකර වාතය ගමනාගමනය අවහිර කරන්න. මේ ආකාරයට දින 5-6 ක් තැබීමෙන් පාත්තියේ පස් මිශ්‍රණය හොඳීන් ජීවානුහරණය වේ.
බෝතල්වල සිටුවීම
නාගරික ජන සමාජයේ බොහෝ දෙනකු අවම ඉඩකඩක් තුළ ජීවත්වන බැවින් මෙවැනි වගා පාත්ති සැකසීම අපහසු වේ. එවැනි අයට ප්ලාස්ටික් බෝතල් තුළ මේ රාබු වැවිය හැකිය. පාවිච්චියෙන් පසු ඉවතලන තරමක් විශාල ප්ලාස්ටික් බෝතල්වලට ( මෙගා බීම බෝතල්) පස් පුරවා රාබු බීජ සිටුවාගන්න. වරින්වර ජලය සපයමින් මේවා කැදැල්ලක වුවද තැබිය හැකි අතර පසුව බෝතලය කපා අස්වැන්න පිටතට ගත හැකිය.
බීජ සිටුවීම
පාත්තිය උඩින් දමා ඇති පොලිතින් එක ඉවත්කර ඇඟිල්ලෙන් පුරුකක් පමණ ගැඹුරට සිටින සේ හිල් සකසාගන්න. මෙහිදී පේළි අතර පරතරය අඟල් 10 ක් පමණ විය යුතු අතර පැළ අතර පරතරය අඟල් 04 ක් පමණ වියයුතු වේ. මේ සිදුරු අතරට එක් රාබු බීජයක් දැමීම පමණක් ප්‍රමාණවන අතර ඒවා කලින් පෙඟවීමට අවශ්‍ය නොවේ. අනතුරුව එම සිදුරු මෘදුව වැසෙන පරිද්දෙන් සෙමෙන් පාත්තිය මතුපිට අතගාන්න. ඉන්පසුව පරෙස්සමට ජලය දමන්න.
ජලය යෙදීම
සාමාන්‍යයෙන් දිනකට වරක් ජලය යෙදිය යුතුය. එහෙත් සති දෙකක් ගත වූ පසුව දිනකට දෙවරක් ජලය යෙදිය හැකිනම් රාබු අල වැඩි විශාලත්වයක් ගන්නවා සිකුරුයි.
රාබු බීජ සිටුවා දින 05 ක් පමණ ඇතුළත බීජ පැළ වී ඇති ආකාරය ඔබට දැකගත හැකිය. එම අවස්ථාවේ සිට දින 4-5 කට වරක් කෘමි විකර්ෂකයක් යෙදිය යුතු වේ. ( නිවෙසේදී එවැනි කෘමි විකර්ෂකයක් සකසාගන්නා ආකාරය පසුගිය සතියක අපි සඳහන් කළෙමු. )
ඒ අනුව වරින්වර මාරුවෙන් මාරුවට දුන්කොළ/ කොහොඹ කොළ ද්‍රාවණය , සබන් වතුර, සුදුලූනු කෘමි විකර්ෂකය වැනි දෑ අනිවාර්යයෙන්ම නොකඩවා යොදන්න.
ඊට අමතරව දින දහයෙන් දහයට නිවෙසේදීම සකසාගත් දියර පොහොරක් යොදන්න. කුඩා පැළ මතු වී දින 15 ක් පමණ ගතවු පසුව වියළි ගොම පොහොර හෝ කුකුළු පොහොර එහෙමත් නැතිනම් කොම්පෝස්ට් මෙයට යෙදිය හැකියි. එසේ පොහොර යෙදූ පසුව අනිවාර්යයෙන්ම ජලය දමන්නටත් අමතක කරන්න එපා.
නැවත දින 45 ක් පමණ ගතවූ පසුව රාබු ශාක අතර පස බුරුල් කර අඟල් 2 - 2 1/2 ක් පමණ ( රාබු ශාකයේ උඩට ඇදී ඇති කඳ කොටස පුරවන්න. මෙහිදී ව පස බුරුල් කිරීමට ප්‍රථම වියළි ගොම කුඩු හෝ කුකුළු පොහොර යෙදිය හැකියි.
අළු සත්කාරය
ඔබ දර ළිපක් භාවිත කරන්නේ නම් එයින් ඉවත් කරන අළු පෙනේරයකින් හළා තබාගත් පසුව අවශ්‍ය විටෙක භාවිත කළ හැකිය. රාබු වගාවේදී මෙම අළු සත්කාරය දින 15කට පසුව සිදු කළ හැකිය. මෙය සෑම දින 15 කට වරක් කළ හැකියි. මෙහිදී ජලය හෝ දියර පොහොර යෙදූ පසුව අතින් ශාක මත අළු ඉසින්න. ශාක පත්‍රවල යටි පැත්තටත් හොඳීන් විසිරී යන පරිදි මෙම අළු ඉසිය යුතු. එමඟින් පත්‍රවල යුෂ උරාබොන කෘමීන් හෝ පත්‍ර කනින්නා වැනි සතුන්ගෙන් හානි නොවේවි.
මෙලෙස සත්කාර කිරීමෙන් අනතුරුව දින 45 සිට 65 දක්වා අතර කාලය තුළ රාබු අස්වැන්න ලබාගත හැකියි. සමාන්‍යයෙන් රාබු අල වඩාත් මේරූ පසුව පුළුන් ස්වභාවයක් ගන්නා බැවින් ඊට පෙර අල ගලවා ගැනීමට වගබලාගන්න.
රාබු අල මෙන්ම ළපටි කොළ ව්‍යංජනයට, මැල්ලුමට සේ ම සම්බෝලයට ද හරිම අපූරුයි.
මාර්තු, අප්‍රේල්, මැයි සහ අගෝස්තු, සැප්තැම්බර් , ඔක්තෝබර් යන මාස රාබු වගාවට වඩාත් සුදුසු බව පැවසේ. ඒ හැර වසරේ අනෙක් මාස කිහිපයේද ඔබේ ගෙවත්තේ රාබු වගාව කළ හැකියි.