වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිවෙස සොඳුරු කරන උළුවහු සහ පිවිසුම් දොර විලාසිතා
සුන්දර කැදැල්ලක ජීවත්වන්නට අපි හැමෝම කැමැතියි. ඒ නිසාම හිතේ ඇඳි සිහින කැදැල්ල වැරවෑයමෙන් ඉදිකරගන්නට දිවා රෑ වෙහෙසෙනවා. සතෙන් සතේ ඉතිරි කරලා දුක් මහන්සියෙන් හදන නිවහන ලස්සන කරගන්නයි හැමෝගෙම උනන්දුව. හිසට සෙවණක් වගේම ගෘහයේ අලංකාරයත් අත්‍යවශ්‍යම දෙයක්. හදන නිවහන මුළු ජීවිත කාලයටම එකයි. ඒක නැවත නැවත හදනවා කියන්නේ ජීවිතේ සතුට වියැකී යන දෙයක්. ඒ නිසා සැමදා සතුටින් සිටින්නට සිතේ ඇඳි කැදැල්ල අලංකාරයෙන් ඉදිකර ගත්තොත් එහි සතුටත් ආඩම්බරයත් ඔබටමයි.
බොහෝ දෙනා තම අලුතින් ඉදිකරන නිවහනේ අංග කොතැනකදීවත් දැකිය නොහැකි නිර්මාණාත්මක දෙයක් වනවාටයි කැමැති. ඒක තමන්ටම ආවේණික ලස්සනක් ගෙන දෙන ලෙස නවතම අදහසකින් නිර්මාණය කරන්නට වෙහසෙන අය අතර ඔබත් ඉදිරියෙන්ම හිඳිනවා ඇති. එවැනි නිර්මාණාත්මක දේවල් අතර ඉදිරිපස පිවිසුම් දොර හා එහි උළුවස්ස අංක එක හිමිකර ගන්නවා. එමෙන්ම නිවෙසට පිවිසෙන කාගේත් පළමුව නෙත් යන්නේ පිවිසුම් දොර වෙතයි. ඒ නිසා ලස්සන පිවිසුම් දොරක් සහ උළුවස්සක් නිර්මාණය කරගන්නට හිතන ඔබට අදහස් ගන්නට හැකි නිර්මාණාත්මක දොර හා උළුවහු කිහිපයකි මේ.
කාලයෙන් කාලයට මේ නිර්මාණත් වෙනස් වෙනවා. එදා ප්‍රධාන දොර තනි දොරක් ලෙස නිර්මාණය කළත් අද බොහෝ විට එය නිර්මාණය වන්නේ දොරවල් දෙකක් ලෙසයි. ඒ වගේම කැටයම් දොරවල් වගේම කැටයම් රහිත දොරවල් ලෙසත් මේවා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. උළුවස්සේ හැඩයත් මෙලෙස වෙනස්වන, වෙනස් කරන අවස්ථා තියෙනවා. මෙහිදී කොටු හැඩය වැඩි වශයෙන් දැකගත හැකි වුවත් ඕවල් හැඩ වෙතත් සමහරකුගේ අවධානය යොමු වෙනවා. ඒ වගේම සමහරු දොරට වීදුරු යෙදීමත් කරනවා. ඒ නිසා අප ගෙන එන මේ නිර්මාණ පෙළ මේ සියලු කරණු කෙරෙහි අවධානය යොමු කරමින් ඔබට කැමැති ලෙස පිවිසුම් දොරක් නිර්මාණය කරගන්නට අදහස් ගොන්නක් සපයාවි.
අන්තර්ජාලයෙනි