නෙතු රවටන ඉටි මල් කුමාරියක් ද?

නෑ මේ ‘හොයා‘
නොවැම්බර් 6, 2023

බැලූ බැල්මට ඉටි මලක් දැයි සිතෙනා තරමට අපූරු සුන්දරත්වයකින් හෙබි මල් කුමාරියකි මේ, ‘හොයා‘ (Hoya). ලතාවකට වැඩෙන වැල් අතර සැඟ වී සිනා සලන මේ කුසුම් කුමාරියන් විකසිත වන්නේ කුඩා පොකුරු ආකාරයටය. ඒ එක් පොකුරක මල් 08ක් 10ක් පමණ දැකිය හැකි අතර ඒවා ඉහළාගත් පුංචිම පුංචි කුඩයකට සමාන වේ.

නැගෙනහිර ආසියාව සහ ඔස්ට්‍රේලියාව නිජබිම කරගත් මේ හොයා බො‍හෝවිට සෙවණ සහිත විශාල ශාකයක එල්ලෙන බඳුන් ලෙස වගා කරනු දැකිය හැකියි. ඊට අමතරව ලොකු කුඩා ශාක එහෙමත් නැතිනම් විවිධ ආධාරක මත එතෙමින් ඉහළට ඇදෙන මේ හොයා වැලෙහි තැනින් තැන සොඳුරු කුසුම් කැන් හටගනියි.

හොයා පත්‍ර මාංසලය. ඕවලාකාර හෝ ඉලිප්සාකාර මේ පත්‍රයක පළල සෙන්ටිමීටර් 03 - 05ත් අතර වේ. සෙන්ටිමීටර් 3.5ත් 13ත් අතර දිගකින් යුක්ත වේ. පෙති පහකින් හැඩ වූ හොයා මල සෙන්ටිමීටර් 02ක් පමණවන අතර සුදු, රෝස වැනි වර්ණ කිහිපයකින් දැකිය හැකියි. එමෙන්ම විකසිත වී මසක් වැනි කාලයක් පරනොවී තිබීමත් මේ හොයා මලෙහි විශේෂත්වයකි.

 

පාරිසරික සාධක

අර්ධ ගෘහාශ්‍රිත පැළයක් ලෙස ගෘහ අභ්‍යන්තරය සරසන්නට සේම ගෙමිදුල හැඩකරන ලියවැලක් වූ මේ හොයා වියළි මෙන්ම තෙත මිශ්‍ර දේශගුණයට වැඩි ප්‍රියතාවයක් දක්වයි. එබැවින් අර්ධ සූර්යාලෝකය යටතේ වුවද මෙය හොඳින් වගා කළ හැකියි. විශාල ශාක සෙවණ යටතේ මෙය වගා කළ හැක්කේ ද එකී කාරණාව නිසාමයි.

 

වගා මාධ්‍යය

වගා මාධ්‍යය ලෙස ඔබට කොහුබත් සේම පොල් ලෙලි ද භාවිත කළ හැකියි. ඊට අමතරව වැලි කොටස් එකකට කොහුබත් කොටසක් මිශ්‍ර කිරීමෙන් ද අපූරු වගා මාධ්‍යයක් සකසා ගත හැකියි. එහිදී රොන් මඩ රහිත වැලි භාවිත කළ යුතු අතර පිලිස්සු දහයියා ද හොයා සඳහා අපූරු වගා මාධ්‍යයකි.

 

ප්‍රචාරණය

දඬු කැබලි මාර්ගයෙන් මෙන්ම ලේයර් කිරීමෙන් ද මේ වැල් බෝකර ගත හැකියි. එහිදී දඬු කැබලි සිටුවා ගැනීමෙන් දින 14ත් 22ත් අතර එනම් සති තුනක් ගතවන විට අලුත් පැළ ලබා ගැනීම කළ හැකිය. ලේයර් කිරීමේ දී අතු කැබැල්ල මුල් ඇදුණු පසුව පරෙස්සමට එම කොටස වෙන්කර බඳුන්ගත කරන්න.

 

ජලය

 

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පරිදි ජලය යෙදිය යුතු වේ.

 

පොහොර

 

N:P:K - 20:20:20 අනුපාතයට ගැළපෙන දියර පොහොරක් සතියකට වරක් භාවිත කරන්න. ඊට අමතරව ශාකයේ මුල් වර්ධනය සඳහා අවශ්‍ය නම් N:P:K - 10:52:10 අනුපාතයට දියර පොහොරක් සති දෙකකට වරක් භාවිත කළ හැකි වේ. ඔබ කාබනික දියර පොහොර යොදන්නේ නම් සති දෙකකට වරක් එය යෙදීම මඟින් ශාකයේ සොඳුරු පෙනුම තවත් වැඩිකර ගත හැකියි. මල් හටගැනීම වැඩි කරන්නට පොටෑසියම් වැඩි ‍පොහොරක් සපයන්න. මේ සියල්ල අතරතුරේ මනා සූර්යාලෝකයක් ලැබෙන්නේ නම් හොයා වැල අලංකාර මල් රැසකින් බරවෙන බව නම් නිසැකයි.

 

රෝග සහ හානි

 

කෘමි හානි ලෙස කූඩිත්තා මෙන්ම පිටි මකුණාගේ උවදුර දැකිය හැකියි. මෙහිදි කූඩිත්තාගේ හානිය වැළැක්වීමට ඔබට කහ වර්ණ උගුල් භාවිත කළ හැකි අතර පිිටි මකුණා වෙනුවෙන් සුදුසු කෘමි නාශකයක් භාවිත කරන්න.

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ

ඩබ්ලිව්. යූ.එල්. අඹගස්පිටිය