වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
වර්ණ රැසයි, හරිම හැඩයි රෝස වර්ග බොහොමයි

රතු, රෝස, තැඹිලි, කහ, සුදු ආදී වර්ණ රැසකින් ඔබේ ගෙමිදුල චමත්කාරජනක කරවන ආදරණීය පුෂ්පය රෝස. එබැවින් මල්වලට පෙම් බඳින සැවොම තම මල් වගාවට රෝස ගස් කිහිපයක් එකතු කරගන්නට පසුනොබසති.
සුන්දර වර්ණ රැසකින් වාගේම විවිධ හැඩ සහ පෙති විවිධ සංඛාවලින් සමන්විත රෝස ලෝකය බෙහෙවින් විශාලය. එබැවින් සොඳුරු රෝස ප්‍රභේද බොහොමයක් දැකිය හැකි අතර එයින් ප්‍රධාන වර්ග කිහිපයක් අද අපි හඳුනාගනිමු.
හයිබ්‍රිඩ් ටී රෝස
(Hybird Tea Roses)
ලෝකයේ ඉතාම ජනප්‍රිය රෝස වර්ගයක් ලෙස හයිබ්‍රිඩ් ටී රෝස හැඳින්වේ. පෙති රාශියක් සහිත මල් සේම පොකුරු සහිතව හෝ මල් කිහිපයක් සහිතව මෙන්ම තනි මලක් වශයෙන් පිපෙන මල් ද මේ හයිබ්‍රිඩ් ටී රෝස තුළ දැකිය හැකියි.
* ඇලෙක්ස්
* ඇල්ෆ - ෆයින් සන්සෙට්
* චිකාගෝ ෆිෂ්
* ගෝල්ඩ් ක්‍රවුන්
* පීස්
* පින්ක් ෆොචරීට්
* බ්ලූ මූන්
වැනි රෝස ප්‍රභේද මේ වර්ගයට අයත් අතර, නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයන්හි දේශගුණික තත්ත්වය රෝස සඳහා වඩාත් යෝග්‍ය වේ.
ෙෆාලොරිබුණ්ඩා
(Floribunda Roses)
එතරම් සුගන්ධයක් නොමැති, තරමක් කුඩා රෝස කුසුම් සහිත වර්ගයකි මේ ෆොලොරිබුණ්ඩා. එක්වර මල් විශාල සංඛ්‍යාවක් පිපෙන, එමෙන්ම ඒ මල් වැඩි කාලයක් පර නොවී පැවතීම මේ වර්ගය සතු විශේෂත්වයකි. මෙරට විවිධ දේශගුණයන්ට හොඳින් ඔරොත්තු දෙන වර්ගයක් ලෙසින් ද මේ රෝස හැඳින්විය හැකියි. මේ එහි ප්‍රභේද කිහිපයකි.
* මයි ගර්ල්
* චැනලි
* ක්වීන් එළිසබෙත්
* හනිමුන්
* ඩියරස්ට්
* ටිකී
* සී පර්ලි
* බියුලි ඇබේ
* ෆර්පෙක්ට්
කුරු රෝස (Miniature Roses)
අඟල් 05 - 10ත් තරම් උසකින් යුත් මේ කුරු රෝස, පඳුරු වශයෙන් වැඩේ. බොහෝ වේලාවට මේ රෝස වර්ග රෝගවලට ගොදුරු වන නිසා වගා කිරීම තරමක් අපහසුය. නමුත් තෙත පස හා සීත දේශගුණික තත්ත්වය මත තරමක් දුරට වගා කළ හැකිය.
වැල් රෝස
(Climbers and Ramblers)
මේ රෝස වර්ගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකිය. ඒ උසට වැඩෙන වැල් රෝස සහ උසට නොවැඩෙන වැල් රෝස වර්ගය වශයෙනි. මේ එක් වර්ගයක් දිගුව වැඩේ. ඒ සමඟම වැලක ස්වරූපයක් ගනී. මෙහි අනෙක් වර්ගය පහළට කඩාවැටේ. එය එතරම් ලංකාව තුළ ජනප්‍රිය නැත. මේ වර්ග දෙකම සාමාන්‍යයෙන් ගෙවතුවල වගා කළ හැකි අතර තරමක වැඩි ඉඩක් අවශ්‍ය වේ. මේවා ආරුක්කු මත වාගේම වහල මත ඉතා සාර්ථකව වගා කළ හැකිය.
උසට වැඩෙන ප්‍රභේද
* අයිස් බර්ග්
* ස්කූල් ගර්ල්
* කැසිනෝ
* ගෝල්ඩන් ෂවර්
* වින්ක් පර්පැච්
උසට නොවැඩෙන ප්‍රභේද
* ඩොරිති
* පර්තින්
* ක්‍රිම්සන් ෂවර්
පඳුරු රෝස (Shurb Roses)
පඳුරු රෝස යනු ශ්‍රී ලංකාවට ආවේණික රෝසමල් වර්ගයකි. නමුත් එතරම් ජනප්‍රිය නැත. සාමාන්‍යයෙන් වසරකට එක්වරක් පමණක් මල් පිපෙන මෙම වර්ගය “මූන්ලයිට් ෆවුන්ටන්” නමින් ද හැඳින්වේ.
උපදෙස් -
කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ.එල්. අඹගස්පිටිය