වර්ෂ 2025 ක්වූ February 10 වැනිදා Monday
සොඳුරු කපුරු අවලස්සන කරන්නෝ
![](https://www.tharunie.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/13_179.jpg?itok=vvlMYRgq)
නිසි කලට වේලාවට පොහොර, ජලය යෙදීමෙන් ඔබේ වගාව ඉතා සාර්ථක කරගත හැකියි. එමඟින් ගුණාත්මක බවින් උසස් සොඳුරු මල් අස්වැන්නක් ලැබිය හැකිය
සුන්දරත්වය කඩා හැලෙනා විවිධාකාරයේ කුසුම්කැන් අතර කපුරු කුමාරියන්ට හිමි වන්නේ ඉහළ ඉල්ලුමකි. විකසිත කපුරු පොකුරු දිගු කාලයක් පර නොවී ගෙමිදුලට සුන්දරත්වය ගෙන එන නිසාම සැමදාමත් කපුරු ශාකය මලින් බර වී තිබෙනු ඇත. ඒ නිසාම කපුරු ගසට නොමඳ ඉල්ලුමක් ඇති අතර මේ සොඳුරු කුමාරියන් අසුන්දර කරවන රෝගාබාධ කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුමයි.
කපුරු ගසට වැලඳෙන සුදු මලකඩ රෝගය ගැන අපි පසුගිය සතියේ කතාබහට ලක්කළ බැවින් මෙවර පාදස්ථ කුණුවීම සහ පළිබෝධක හානි පිළිබඳ දැනුවත් වෙමු.
පාදස්ථ කුණුවීමේ රෝගය
කපුරු වගාවට වැලඳෙන තවත් රෝගයකි, පාදස්ථ කුණුවීමේ රෝගය. ජලවහනය අඩු විවෘත භූමියේ කපුරු වගා කරන විට මේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකිය. මෙහි මුල්ම රෝග ලක්ෂණය වන්නේ ශාක පත්‍ර පහළ දුඹුරු පැහැති වීමයි. එහිදී ශාක පත්‍ර පහළ සිට ඉහළට මැරී යාම සිදු වේ. අාසාදිත ශාකයන්හි අඩු වර්ධනයක් පැවතීම නිසා මල් හට ගැනීම ද දුර්වල වේ. පසෙහි ඇති දිලීරය මූල පද්ධතිය හරහා ගසට ඇතුළු වී ඉන්පසු ශාකයේ සෛලම හාප්ලෝයම පටක විනාශ කිරීම නිසා ගසට පෝෂණය ලැබීම දුර්වල වේ. ඔබ හොඳින් වගාව නඩත්තු කරන්නේ නම් මෙමඟින් සිදුවන හානිය එතරම් බරපතළ නොවේ. ඊට අමතරව වගාබිමට ක්‍රමානුකූලව ජලය සැපයීම, හොඳින් බිම් සැකසීම ආදිය නිසා රෝගය බොහෝවිට අවම වේ. එහිදී දිරන ලද කාබනික පොහොර ක්ෂේත්‍රයට එකතු කිරීම ද වැදගත්ය. රෝගය ආරම්භක අවස්ථාවේදීම පාංශු ප්‍රතිකාරකයක් ලෙස තයේෆිනේට් මිතයිල් කිරාම් හෝ කාබෙන්ඩසිම් අඩංගු දිලීර නාශක යෙදීමෙන් සිදුවන හානිය අවම කරගත හැකිය. මෙයට අමතරව පත්‍ර පුල්ලි රෝගය, අළු පුස් වැනි රෝග ද කපුරු වගාවේ දැකිය හැකියි. මේ රෝග කාරක පත්‍ර එකතු කර විනාශ කිරීමෙන් යම් පාලනයක් වේ. ඒ සඳහා උචිත දිලීර නාශක භාවිතයෙන් රෝගය පහසුවෙන් පාලනය කළ හැකියි.
පළිබෝධක හානි
01. යුෂ උරාබොන කෘමියා
සොඳුරු කපුරු ගසට හානි කරන එක් පළිබෝධකයෙකි යුෂ උරා බොන කෘමියා. ආරක්ෂිත ගෘහ තුළ සිදුකරන කපුරු වගාවට මේ කෘමින්ගෙන් බරපතළ ලෙස හානි සිදුවිය හැකියි. ඊට හේතුව වන්නේ මේ ගෘහයන් තුළ අධික උෂ්ණාත්වයක් පැවතීමයි. එමෙන්ම අඩු ආර්ද්‍රතාව කෘමීන් බහුලව ව්‍යාප්ත වීමට හිතකර පරිසරයක් මවාවි. ඊට අමතරව මෙරට පරිසර තත්ත්ව යටතේ කූඩිත්තන් මෙන්ම මයිටාවන් ද කපුරු වගාවට තර්ජනයක් ගෙන දේ.
02. කූඩිත්තා
කූඩිත්තා ඔබේ එළවළු වගාවට වාගේම කපුරු වගාවට ද හානි සිදු කරයි. ශාකයේ ළපටි දලු හා මල් ආශ්‍රිතව රංචු වශයෙන් ජීවත්වන මොවුන් ශාකයේ යුෂ උරා බීම නිසා ශාක පත්‍ර වකුටු වීම සහ ශාකයේ වර්ධනය ද බාල වේ. නිර්දේශිත කෘමිනාශක යොදා මේ උවදුර පාලනය කළ හැකිය.
03. මයිටාවා
කහ, කොළ හෝ රතු පැහැයක් ගන්නා මේ මයිටාවා ශාක පත්‍ර යට ජීවත් වෙමින් පටක විද යුෂ උරා බොයි. මොවුන්ගේ පාලනය සඳහා නිර්දේශිත පළිබෝධ නාශක භාවිත කරන්න.
04. පැළ මැක්කා
ඉහත සඳහන් පළිබෝධකයින්ගෙන් මෙන්ම පැළ මැක්කාගෙන් ද ඔබේ සොඳුරු කපුරු වගාව විනාශ වී යා හැකිය. පැළ මැක්කා සඳහා නිර්දේශිත පළිබෝධ නාශකයක් භාවිතයෙන් වගාව රැකගත හැකියි.
මෙලෙස කපුරු වගාවට වැලඳෙන රෝග වාගේම පළිබෝධ හානි පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමෙන් සහ නිසි කලට වේලාවට පොහොර, ජලය යෙදීමෙන් ඔබේ වගාව ඉතා සාර්ථක කරගත හැකියි. එමඟින් ගුණාත්මක බවින් උසස් සොඳුරු මල් අස්වැන්නක් ලැබිය හැකි අතර ඔබේ ගෙමිදුලේ සුන්දරත්වයට අමතරව මෙය ස්වයං රැකියාවක් ලෙසින් පවත්වා ඉහළ ආදායමක් ද ලැබිය හැකියි.
උපදෙස් -
කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ.එල්. අඹගස්පිටිය