වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
බිත්තර කටුවෙන් වත්තට පොහොර

මුළුතැන්ගෙයින් ඉවතලන බිත්තර කටු වගාවන්ට අපූරු පොහොරක් බව ඇතැම් විට ඔබ නොදැන සිටින්නට ඇති. ඇත්තටම එය මුදල් වැය නොකර නිවෙසේදීම සකසා ගත හැකි කදිම පොහොරකි. මේ බිත්තර කටු ඔබේ භෝග වගාවේ වර්ධනයට අවශ්‍ය කැල්සියම් නොඅඩුවම සපයාවි.
ඔබේ මුළුතැන්ගෙයින් එදිනෙදා ඉවතලන බිත්තර කටු හොඳින් සෝදා වියළා ගන්න.
බිත්තර කටු යම් ප්‍රමාණයක් එකතු වූවායින් පසුව ඒවා රෝලින් පින් එකක්, ගල් වංගෙඩියක් හෝ බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් කුඩාවට කුඩු කර ගන්න.
ඉන්පසුව සිටුවා ඇති එළවළු, පලතුරු, ඖෂධ ආදී ශාකවල මුල් පද්ධතිය වටා මෙලෙස කුඩු කරගත් බිත්තර කටු දමා පසට මිශ්‍ර කර ගත හැකියි. ඊට අමතරව ශාක සිටුවීමට පෙර සකස් කරගන්නා වළවල්වලට ද මේ කුඩු කර ගත් බිත්තර කටු එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. එක් පැළයකට බිත්තර කටු මේස හැඳි 1-2 ක් පමණ ප්‍රමාණයක් සෑහේ.
ශාක වර්ධනයට ඉවහල් වන කැල්සියම්වල වැදගත්කම
* කැල්සියම් ශාක සෛල බිත්ති ගොඩනැඟීමට උපකාරී වේ.
* ශාකවල ශක්තිය වැඩි කිරීමට වැදගත් වේ.
* ශාක සෛල බිත්ති සෑදීමට වැදගත් වීම තුළින් මුල් පද්ධතිය සහ පත්‍ර වර්ධනය දියුණු කිරීමට උපකාරී වේ.
* රනිල ශාකවල මූල ගැටිති ඇතිවීම වැඩි කරයි.
* ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම සඳහා ද අවශ්‍ය වේ.
* ශාක කඳ මහත් වීම හා මුල්වල වර්ධනයට වැදගත් වේ.
* ශාක තුළ අයන තුලිතතාවයක් ඇති කිරීමෙන් අනෙකුත් ඛනිජ මඟින් ඇති කරන විස සහිත බලපෑම් මැඬ පවත්වයි.
* ශාක තුළ එන්සයිම සක්‍රිය කිරීමට, සෛල බෙදීමට, පටලවල ව්‍යුහයට සහ පාරගම්‍යතාවයට වැදගත්ය.
ශාක තුළ කැල්සියම් ඌනතා ලක්ෂණ
* පත්‍ර නාරටි අතර කහපාට වීම.
* නොමේරූ පත්‍රවල පටක මැරීයාමෙන් දුඹුරු පාට පුල්ලි හෝ ඉරි ඇතිවීම.
* කැල්සියම් ඌන වූ විට ළපටි පත්‍ර කහ පැහැ ගැන්වේ.
* ළපටි පත්‍ර වක්‍ර වේ. ඉන්පසු කෙළවර හා දාරවල සිට පසු මැරීමක් ඇති වේ. මෙම ස්ථානවල කැපී ගිය පෙනුමක් ඇති වේ.
අවසානයේ පත්‍ර වෘන්තය මැරී යයි. අග්‍රස්ථය ඇඹරී විකෘති වේ.
* විභාජක පටක මැරී යයි.
* මූල පද්ධතිය දුර්වල වේ.
* නයිට්‍රජන් අවශෝෂණයට බාධා පැමිණේ.
* තක්කාලි, මිරිස්, වම්බටු ආදියේ
පුෂ්ප අංකුර අග්‍රස්ථ කුණු වේ.
කහ යනු ආහාර පිසීම සඳහා පමණක් නොව එය ඔබේ ගෙවත්තේ වගාවට ද බලවත් ස්වාභාවික පිළියමකි. මන්ද කහ දිලීර, පළිබෝධකයන්ට එරෙහිව සටන් කරන අතර ශාක වර්ධනය පවා වැඩි කරයි.
1. පුස් හා ආහාර කුණු වීමට එරෙහිව සටන් කරයි. (ස්වාභාවික දිලීර නාශකයක් ලෙස)
2. කුහුඹුවන් සහ කූඩිත්තන් වැනි පළිබෝධකයන් පලවා හරියි.
3. කැපීමෙන් පසු ශාකවල ඇතිවන තුවාල සුව කරයි.
4. ශක්තිමත් වර්ධනයක් සඳහා පසෙහි සෞඛ්‍ය වැඩි කරයි.
භාවිත කරන්නේ කොහොමද ?
* ජලය කෝප්ප 4කට (ලීටරයකට 1ක්), කහ කුඩු තේ හැඳි එකක් මිශ්‍ර කරන්න.
* හොඳින් කලවම් කර ස්ප්‍රේ බෝතලයක් මඟින් වගාවට ස්ප්‍රේ කරන්න.
* ගස් මුල් වටා හෝ බලපෑමට ලක් වූ කොළ මත ස්ප්‍රේ කිරීම හෝ විසිරුවා හරින්න.
කහ,
1. දිලීර ආසාදනවලට ප්‍රතිකාර කරයි.
2. බීජ පැළ ආරක්ෂා කරයි.
3. පළිබෝධකයන්ගෙන් සිදුවන හානි වළක්වයි.
4. කප්පාදු කිරීමේදී ඇතිවන තුවාල සුව කරයි.
කහ යෙදීමෙන් සාර්ථකත්වය ළඟා කරගන්නේ මෙහෙමයි
කෘමි හානි වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරන්න.
අධික වර්ෂාවෙන් පසු නැවත යොදන්න.
පළමුව කුඩා ප්‍රදේශයක භාවිත කර ප්‍රතිඵල බලන්න.
කහ ස්ප්‍රේ කළ හැකි ශාක :
රෝස, ලිලී වැනි මල් වර්ග,
තක්කාලි, පිපිඤ්ඤා, ගම්මිරිස්,
වැනි ගෘහස්ථ ශාක.
කහ යනු ස්වාභාවික පිළියමකි.
ගෙවත්තේ ගැටලු ඇති වූ විට, රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන්න. කහ වැනි ස්වාභාවික විසඳුම් ලබා දීමෙන් පෝෂණය හීන නොවූ ගුණාත්මක බවින් පිරි ආහාර පාන ලබා ගැනීමට හැකි වේවි.