අඩු වියදමින් අඩු ඉඩක හරියටම වවන්න

මාර්තු 31, 2025

ගෙමිදුල දැකුම්කලු වටපිටාවක් කරගන්නට වාගේම එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු, පලතුරු, ඔෟෂධ ආදිය සිටුවා ගන්නටයි කාගෙත් කැමැත්ත. ඒත් වර්තමානයේ පවත්නා සීමිත ඉඩකඩ ගැටලුව නිසා බොහෝදෙනකුට වගාව කියන්නෙ සිහිනයක්.

 

ඒ වාගේම දිනපතා නිවෙසින් බැහැර කරන ප්ලාස්ටික් බෝතල්, කෑන්, කෝප්ප වාගේම පොලිතින් උර ආදිය නිසා ඇතිවන පරිසර ගැටලුත් බොහෝමයි. මේ ගැටලු දෙකටම විසඳුමක් තමයි ප්ලාස්ටික් සහ පොලිතින් ආදියේ වගා කිරීම. ගෙමිදුලක් නොමැති නිවෙසක වුවද පුංචි ඉඩකඩක, කෝරිඩෝවක එහෙමත් නැතිනම් රැහැන් දමා එල්ලන ලද ප්ලාස්ටික් බඳුන්වල ඔබට වගා කළ හැකියි. මෙලෙස ඉවත දමන ප්ලාස්ටික් බඳුන් හෝ පොලිතින් කවර ආදියට කාබනික පසක් හෝ කොම්පෝස්ට් වගා මිශ්‍රණයක් පුරවා ගත යුතුයි. මෙහිදී ජලවහනය සඳහා සිදුරු සැකසිය යුතු අතර සම්පූර්ණ බෝතලයටම වගා මිශ්‍රණය පුරවා තැනින් තැන සිදුරු සාදා එමඟින් වගා කරන දඬු කැබලි ඇතුළු කර සිටුවා ගැනීමත් කළ හැකියි. එමෙන්ම මේ සඳහා තෝරාගන්නා මල් පැළ, එළවළු, පලා, ඖෂධ ආදිය ඒක වාර්ෂික ශාක වීම වැදගත්. ප්ලාස්ටික් බඳුන් එල්ලීම, රාක්ක හෝ තාප්ප ආදියේ රැඳවීමෙන් ගෙවත්තට සේම නිවෙසට ද කදිම අලංකාරයක් එකතු වේ. ඔබ එදිනෙදා පරිභෝජනයට ගන්නා කරපිංචා, සේර, රම්පෙ, මිරිස්, බටු, තක්කාලි, රටල, බතල, ඉඟුරු මෙන්ම කන්කුන්, ගොටුකොළ , මුකුණුවැන්න වැනි පලා වර්ග ද රාබු, නෝකෝල්, කැරට්, ලීක්ස් වැනි දෑ ද මෙලෙස වගා කළ හැකියි.

 

ඊට අමතරව ගෙමිදුලේ අලංකාරයට වවන පෙටූනියා, ටොරේනියා, දාස්පෙතියා, සීනියාස්, වින්කා, ජපන් රෝස, දවල් කුමාරි (පුංචිලතා), කූඩලු, බිගෝනියා, කැක්ටස් වැනි සොඳුරු මල් වර්ග ද මෙලෙස වගා කළ හැකියි.

එකම ප්ලාස්ටික් බඳුනක දීර්ඝ කාලයක් භෝග මාරු කරමින් වාගේම ස්ථාන මාරු කරමින් වගා කිරීමෙන් නිවෙසට කදිම කලඑළියක් ද එකතු වේවි. වස විසෙන් තොර එළවළු, පලා පරිභෝජනයට ගතහැකි වීම, අවම නඩත්තුව, වැඩි වියදමක් දරන්නට නොමැතිකම වැනි දෑ මෙහි අතුරු ප්‍රතිඵලයන් වේවි.

 

 

උපදෙස් -

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී

රංජිත් කළුආරච්චි