ඔබේ ගෙවත්තටත් ආදරණීය රෝස කුසුමක්

මාර්තු 17, 2025

නේක වර්ණයෙන් මෙන්ම නේක හැඩයෙන් අලංකෘත සිය දහස් ගණනක් වූ කුසුම් අතරේ රෝස පුෂ්පය යනු කුසුම් ලොව අග්‍ර රාජණියයි. සිත වසඟ කරවාලන සුගන්ධයකින් මෙන්ම නෙත දැහැන්ගත කරන සුන්දරත්වයෙන් හෙබි මේ රෝස ප්‍රභේද දහස් ගණනකි.

 

රෝසියේසිස් කුලයට අයත් වන රෝස මලේ අතීතය ගැන සොයා යෑමේදී එය ක්‍රිස්තු පූර්ව තරම් ඈත අතීතයකට දිව යයි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ග්‍රීසිය වැනි රටවල පුරාවිද්‍යාත්මක කැණීම්වලදී ද රෝස පොසිල හමුවී ඇති අතර එනිසා රෝස මලේ උපත ඉතා ඈත කාලයේ සිදුවූවක් බව පැහැදිලිය.

ආදරයේ සංකේතය

 

ගෙමිදුල සේම ගෘහ අභ්‍යන්තරය සරසන චමත්කාර මලක් වූ රෝස, සැරසිලි සඳහා ද වැඩි වශයෙන් යොදා ගැනේ. ඊට අමතරව ඖෂධයන් මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදනයේ දී ද රෝස භාවිත කෙරේ. මේ සියලු කාරණාවලට අමතරව රෝස මල ආදරේ සංකේතයයි. එබැවින් ලොව පුරා දහස් ගණනක් දෙනා අතරේ නිබඳවම මේ ආදරණීය කුසුම සැරිසරයි.

 

රෝස වර්ගීකරණය

 

මුල් කාලීන රෝස මල් ස්වාභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීමත් සමඟම ඔවුන් සමඟ කලඑළියට බැස ඇත. මේ නිසා පරණ පුරුද්දට අනුව අදටත් කැලෑ රෝස නමින් ඇතැම් රෝස වර්ග හඳුන්වති. බොහෝ විට මේ කැලෑ රෝස මල් සුදු සහ කහ පැහැයෙන් වර්ණවත් වන අතර පෙති පහකින් යුක්තය.

නමුත් පසුකාලීනව මිනිසා විසින් රෝස ප්‍රභේද නිර්මාණය කළ අතර එලෙස දෙමුහුන් කිරීමෙන් බිහිකළ රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් දැකිය හැකියි.

 

සුන්දර මලින් බරවන රෝස, ගස් වශයෙන් මෙන්ම වැල් වශයෙන්ද දැකිය හැකිය. මේවායේ හැඩය, ප්‍රමාණය, වර්ණය හා වෙනස් වෙනස් සුවඳ අනුව විවිධාංගීකරණයට ලක්ව තිබේ.

දැනට ලොව පුරා ජනප්‍රිය රෝස වර්ග

 

* හයිබ්‍රීඩ් රෝස

* ෆොලොරිබුණ්ඩා රෝස

* කුරු රෝස

* වැල් රෝස

* පඳුරු රෝස

 

දැනට ලංකාවේ බොහෝ මල් වගාකරුවන් අතර ඉහළ ආදායමක් ලබන මල් වර්ගයක් ලෙස රෝස ඉහළින්ම වැජඹේ. විශේෂයෙන්ම නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, හැටන්, මහනුවර වැනි කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින හිතකර දේශගුණික සාධක යටතේ වගා කරන මේ රෝස කුසුම්වලින් හොඳ ආදායමක් හිමි කර ගතහැකිය.

 

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය

 

[email protected]