වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
නෙක පැහැයෙන් දිදුලන මානෙල් විලක් ඔබේ ගෙවත්තටත්

සුපිරිසුදු ජල තරංග මැද හිරුට සිනාකැන් විසුරුවන විවිධ වර්ගයේ ජලජ කුසුම් කොයිතරම් නම් හැඩද? මලේ රුවට කෙසේ වෙතත් රොනට වසඟව ඒ වටා ගුමුනද නඟන බිඟු කැල ගෙමිදුලට කැඳවාගෙන එන්නේ අපූර්ව චමත්කාරයකි.
සොබාදහමේ ඒ සුන්දරත්වය ඔබේ ගෙමිදුලට ගෙන එන ජලජ ශාක ගැන කතා කිරීමේදී පසුගිය සතියේ අපේ අවධානය යොමු වූයේ මානෙල් සහ නිල් මානෙල් වෙන් වෙන්ව හඳුනා ගැනීමටයි.
ඉතින් අද අපි තවත් මානෙල් වර්ග කිහිපයක් හඳුනා ගනිමු.
මල් පිපෙන ශාක පවුලට අයත් මානෙල් (Nymphaeaceae) නිවර්තන කලාපීය මිරිදිය ජලයේ හොඳින් වැඩේ. ගණ අටකට පමණ අයත් මානෙල් විශේෂ 70ක් පමණ ලොව පුරා දකින්නට ලැබේ. මේ ශාකය ජලය යට ඇති පස්වල රෝපණය වන අතර, පත්‍ර සහ මල් ජලය මතුපිට දකින්නට ලැබේ. පත්‍ර රවුම් හැඩයක් ගන්නා අතර අරීය කන්තුවක් දක්නට ලැබේ.
මානෙල් ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකි අතර, ඒ නිවර්තන (Tropical Water Lily) සහ දැඩි (Hardy Water Lily) වශයෙනි. මෙයින් දැඩි මානෙල් දිවා කාලයේ දී පමණක් විකසිත වේ. නමුත් නිවර්තන මානෙල් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ දී ද විකසිතව පවතී.
මානෙල් යනු දැකුම්කලු සේම සුගන්ධවත් පුෂ්පයකි. මේ සම්පූර්ණ ශාකයම මිනිසා විවිධ අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගන්නා අතර, ජලය වාෂ්පීකරණය වීම වළක්වාලන ශාකයක් ලෙසින් ද මෙය හැඳින්වේ. විශේෂයෙන්ම සමකාසන්න රටවල පොකුණු, වැව් ආදියේ ජලය වාෂ්පීකරණය වැළැක්වීමට මානෙල් වැවීම සිදු කෙරේ.
නිවර්තන මානෙල්
සාමාන්‍ය ඉඩකඩක දිනපතා මල් පිපෙන මානෙල් වර්ග ඇත. මේ නිවර්තන මානෙල්, ශාකය නීරොගිව තිබේ නම් මුළු වසර පුරාවටම බොහෝ විට දිනපතා මල් දැකගත හැකියි. ඒ වගේම මේ මානෙල්වලටම අයත් Australian Water Lily, Jongkolnee වැනි වර්ගවලට සාමාන්‍ය බඳුනකට වඩා තරමක් ඉඩකඩ අවශ්‍ය වේ.
මේ වර්ගයේ පත්‍ර සහ මල් ඉතා මෘදු, අලංකාරවත් ස්වභාවයක් ගනියි. සාමාන්‍ය වශයෙන් ගත් කල බොහොමයක් නිවර්තන මානෙල් අඩු ඉඩකඩක, අඩු ජල මට්ටමක වුවත් නීරෝගීව වැවිය හැකි ශාක විශේෂයකි.
ශාක ප්‍රචාරණය
බීජ මාර්ගයෙන්, පත්‍ර මාර්ගයෙන් මෙන්ම අලවලින් මේ මානෙල් ශාකය බෝ කර ගත හැකිය. ඊට අමතරව බීජ සහ අල, පත්‍ර සහ අල, පත්‍ර සහ බීජ යන මාධ්‍ය දෙකකින් බෝ කර ගැනීමේ හැකියාව සහිත නිවර්තන මානෙල් වර්ග කිහිපයක් ඇත.
බීජ මඟින් බෝ වන වර්ග
* කැපෙන්සිස් (Capensis) සුදු, රෝස, දම්, කහ බීජ පැළ
* පාට කලවම් දෙමුහුන් බීජ පැළ
පත්‍ර මඟින් බෝ වන වර්ග
* මෙරූන් පින්ක් (Maroon Pink)
* ලින්ඩ්සේ වුඩ් (Lindsey Wood)
* හිලරි (Hilary)
* අැම්ප්ලා (Ampla)
* ලිලැක් (Lilac)
* ක්වීන් ඔෆ් සියම් (Queen of Siam)
* කාර්ලාස් සන්ෂයින් (Carla's Sonshine)
* රූබි (Ruby)
* පර්පල් ජෝයි (Purple Joy)
අල මඟින් බෝ වන වර්ග
* කින්ග් ඔෆ් සියම් (King of siam)
* වර්ජිනියා මැක්ලේන් (Virginia mclane)
* ජෝර්ජ් ටී. මූර් (Director george T. Moore)
* මියාමි රෝස් (Miami rose)
* කෝ හින් සොර්න් (Kho hin Sorn) (K.O.H)
* ඇල්බට් ග්‍රීන් බග් (Albert green burg)
* ආෆ්ටර්ග්ලෝ (Afterglow)
* පූන් සබ් (Poon Sub)
* මූන්බේම් (Moonbeam)
* කොලරාටා (Colorata)
* සුවන්නා (Suwanna)
* බුලිස් අයිස් (Buli's eye)
* ජොංකොල්නී (Jongkolnee)
* ඔස්ට්‍රේලියන් ලිලී (Australian Lily)
* නැන්ක්වාග් වෝටර් ලිලී (Nangkwag Water Lily)
උපදෙස් -
කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ.එල්. අඹගස්පිටිය