පොකුරු පොකුරු මල් සැණකෙළි කපුරු ලතාවයි

ජනවාරි 27, 2025

නේක රටා මවන සොඳුරුතම සොඳුරු මල් අතරේ කපුරු මලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ කපුරු මලටම ආවේණික තරමක් සැර සුගන්ධය නිසායි.

 

විවිධ වර්ණයන්ගෙන් යුතු මේ කපුරු එහෙමත් නැතිනම් ක්‍රිසාන්තිමම් ඒඵබඥපචජඥචඥ පවුලට අයත් මෙරට සුලබව දැකිය හැකි කුසුමකි. ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කළ හැකි මෙය ශ්‍රී ලංකාව හැරුණුවිට ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ද විශාල වශයෙන් වගා කෙරේ.

 

කපුරු ශාකය උස අඩි 01 සිට 01 1/2 දක්වා වර්ධනය වන අතර පත්‍රය අඟල් 1 1/2ක පමණ දිගකින් යුතු වේ. මේ ගසෙහි මුල් සහ කඳ එතරම් ශක්තිමත් නැත. එබැවින් ශාකය වර්ධනය වන විට ආධාරක යෙදීම අනිවාර්යය කටයුත්තකි.

 

කහ, දුඹුරු, දම්, සුදු, රතු වැනි මූලික වර්ණ සහිත කපුරු මෙන්ම මිශ්‍ර වර්ණයෙන් යුත් කපුරු ද නෙතට රැගෙන එන්නේ අපූරු සුන්දරත්වයකි. අතීතයේ ගෙමිදුල හැඩකළ මේ කපුරු පසුකලකදී ගෙවත්තෙන් ඉවත් වුවද වර්තමානයේ යළිත් උද්‍යාන අලංකරණයට එකතු වී තිබේ.

 

එබැවින් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා කුඩා කපුරු පැළයක් පොකුරු පොකුරු මලින් බර වන ගසක් බවට පත් කරගන්නා ආකාරය දැනගන්නට ඔබත් කැමැති ඇති.

 

* ඔබ මිලදී ගන්නා කපුුරු පැළය සිටුවීමට අවම වශයෙන් අඟල් 10ක් පමණ උස අඟල් 12ක් පළල පතුලේ හොඳින් සිදුරු සහිත බඳුනක් තෝරාගන්න.

 

* ගෙවත්තේ මතුපිට පස් කොටස් දෙකකට වැලි, කොම්පෝස්ට්, කොහුබත්, ගොම කොටස් එක බැගින් යොදා හොඳින් මිශ්‍ර කර වගා මාධ්‍යය සකසා ගන්න.

 

* කොම්පෝස්ට් සහ පස් හොඳින් අව්වේ වියළා ගැනීමෙන් අහිතකර පාංශු ක්ෂුද්‍ර ජීවින් ඉවත් වේ. ඔබ භාවිත කරන ගොම පොහොර ද වියළා භාවිත කරන්න.

 

* ඔබ තෝරාගත් බඳුන ගෙන එහි අඩියේ ඇති සිදුරු කුඩා ගඩොල් හෝ උළු කැට කැබලිවලින් ආවරණය කරගන්න. එවිට වගා මාධ්‍යය බඳුනට දැමීමේදී ජලය බැස යන සිදුරු ආවරණය නොවේවි.

 

* අනතුරුව ඊට උඩින් බොරලු හෝ කොන්ක්‍රීට් ගල් තට්ටුවක් යොදා ගන්න.

 

* බඳුන යට සිට අඟල් 02ක් පමණ ඔබ සාදාගත් වගා මාධ්‍යය පුරවා පොලිතීන් ආවරණය ඉවත් කර ගත් කපුුරු පැළය එහි තබා වටේට වගා මිශ්‍රණය එකතු කරන්න. කපුරු පැළය බඳුන තුළ තැබීමට පෙර වගා මිශ්‍රණයෙන් 3/4 ක් පමණ ඉවත් කර අනතුරුව පැළය වටේට ඒවා එකතු කිරීම වඩාත් සුදුසුය.

 

* සිටුවා ගත් පැළය දින දෙකක් පමණ සෙවණ ඇති ස්ථානයක තබා ඉන්පසුව දිනකට පැය 06ක් වත් හිරුඑළිය පතිත වන ස්ථානයක තබන්න. මෙහිදී උදෑසන හිරුඑළිය වැටීම ඉතාමත් වටී.

 

ජලය සැපයීම

 

සාමාන්‍යයෙන් කපුරු පැළයකට ජල සැපයුම කළ යුත්තේ දින දෙකකට වරකි. ඔබ මේ ශාකයේ මූල පද්ධතිය තෙමෙන ආකාරයට ජලය සපයන්නට වගබලා ගන්න.

 

පොහොර යෙදීම

 

සතියකට වරක් නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සමතුලිත (20:20:20) දියර පොහොරක් යොදන්න.

 

අනතුරුව මල් හට ගැනීමට ආසන්න කාලයේ පොටෑසියම් වැඩි පොහොර ග්‍රෑම් 10ක් දමන්න. මාස පහකට වරක් ග්‍රෑම් 10ක් පැළය වටා දමන්න. අනතුරුව පොටෑසියම් වැඩිපුර අඩංගු පොහොර වර්ගයක් සතියකට පසු අදාළ මාත්‍රාවට දියකර පත්‍රවලට ඉසින්න. මෙය ඉන්පසුව සතියකට වරක් දිගටම ඉසින්න.

 

කපුරු ගසේ මල් වැඩි වන්නට ගස කප්පාදු කරන ආකාරය සහ රෝග පාලනය ගැන අපි ලබන සතියේ දැනගනිමු.

 

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය

 

 

චම්පා වරුසප්පෙරුම

[email protected]