ගෙදරට වාසනාව ගේන නේක වර්ණ කපුරු

පෙබරවාරි 3, 2025

නෙක නෙක පාටින් මල් පොකුරු පොකුරු පිපෙනා කපුරු කුමාරියන් ගෙමිදුලට පමණක් නොව ඔබට ගෘහ අභ්‍යන්තරයට ද කැඳවා ගත හැකියි. වෙළෙඳපොළෙන් මිලදී ගන්නා පුංචි කපුුරු පැළයක් පරෙස්සමට බඳුන්ගත කරන ආකාරය අපි පසුගිය සතියේ දැනුම්වත් වූ බැවින් එය රෝග, පළිබෝධ ආදීන්ගෙන් බේරා වඩා වර්ධනය කරගන්නා ආකාරය අද බලමු.

 

සුදු මලකඩ රෝගය

 

මෙරට කපුරු වගාවට වින කරන ප්‍රධානම රෝගයකි සුදු මලකඩ රෝගය. 96% - 100%ත් අතර ආර්දාතාවය වගේම සෙල්සියස් අංශක 17 - 20ත් අතර උෂ්ණත්වය මෙම රෝගයට ඉතාම හිතකර පරිසරයක් මවා දේ. මේ රෝගය නිසා කපුුරු ශාකයේ පත්‍රවලට දැඩි හානියක් ඇති කරන අතර ඒ නිසාම මල් හට ගැනීම අඩු වේ.

 

සුදු මලකඩ රෝගයට ගොදුරු වූ තරමක් මේරූ කපුරු පත්‍රවල මතුපිට කහ පැහැති පැල්ලම් මුලින්ම දකින්නට ලැබේ. මඳක් ඇතුළට ගිලුණු ස්වභාවයක් සහිත මෙය පළිබෝධ හානියක් හෝ රසායන විසවීමක් වැනි ලක්ෂණවලට සමාන වේ. යටි පැත්තේ ඉහළට නෙරා ආ සුදු පැහැති ගැටිති ඇති වේ. ආරම්භක අවස්ථාවේ මෙම ගැටිති ඇල්පෙනෙති තුඩක් පමණ කුඩා වන අතර දින හත, අටකදී මිලි මීටර් 2ක් හෝ 2.5ක පමණ විෂ්කම්භයක් ගනී.

 

ඇතැම් විට මෙම ගැටිති සුදු පැහැති ඉටි ස්වභාවයක් ගන්නා පැල්ලම් ලෙසින් ද දැකිය හැකියි. මේවා පත්‍ර, නටු, කඳ වාගේම කලාතුරකින් මල් පෙතිවල ද ඇති වේ. අධික ලෙස රෝගී වූ පත්‍ර වියළී හැලී යයි. ඉන්පසුව මේ ගැටිති පිපිරී දිලීර බීජානු වායුගෝලයට නිදහස් වේ. මෙසේ නිදහස් වන දිලීර බීජ වැඩිපුරම තෙතමනය හෝ වර්ෂා තත්ත්ව යටතේ තෙත් වූ ශාක පත්‍ර මතට පතිත වී රෝගය ඇති කරයි. එහෙත් වියළි පරිසර තත්ත්වයක් පවතින විට මේ බීජානු ඉක්මනින් විනාශයට පත් වේ. එනිසා සුළඟ මඟින් එතරම් ව්‍යාප්ත වන්නේ නැත. ආසාදිත ශාක අපද්‍රව්‍ය මඟින් රෝගය පැතිර යාමට හැකියාව ඇති නමුදු මෙය සිදු වන්නේ සතියක හෝ දෙකක කෙටි කාලසීමාවකදී පමණි.

 

රෝග ව්‍යාප්තිය

සුදු මලකඩ රෝගය ව්‍යාප්ත විය හැකි ප්‍රධානතම ක්‍රමය වන්නේ ආසාදිත පැළ හා අංකුර භාවිත කිරීමයි. දිලීර ආසාදනය වීම, රෝග ලක්ෂණ ඇති කිරීමේ කාලය දින 5ත් 14ත් අතර වන හෙයින් රෝග ලක්ෂණ නොපෙන්වුවද ශාකය තුළ රෝගය පැවතිය හැකියි. මෙවැනි ශාක මඟින් ඉතාමත් පහසුවෙන් අලුත් වගාවන්ට රෝගය පැතිර යා හැකිය. ආරක්ෂිත ගෘහ තුළ සිදු කරනු ලබන කපුරු වගාවේදී මේ තත්ත්වය වඩාත් පැන නැඟෙනු ඇත. විවෘත ස්ථානයන්හි පවතින වගාවේදී ද රෝගයට හිතකර පරිසර තත්ත්ව පැවතියහොත් බරපතළ හානි ඇති කරයි.

 

රෝග පාලනය

 

මෙම රෝග පාලනයට ආරක්ෂිත ගෘහ තුළ වගාවලට ජල සම්පාදනයේ දී ශාක පත්‍ර නොතෙමෙන පරිද්දෙන් ජලය යොදා අඩු ආර්දාතාවන් පවත්වාගෙන යාම, ආසාදිත ශාක හා රෝගී කොටස් ඉක්මනින් විනාශ කිරීම කළ හැකිය. ඒ වාගේම නීරෝගි ක්ෂේත්‍ර වගාවකින් පැළ ලබාගැනීම කළ යුතු අතර ඔබ බාහිරින් පැළ මිලට ගන්නේ නම් මවු ශාක වගාවේ රෝග රහිත බවට සහතිකයක් ගැනීම ද ඉතා වැදගත්.

 

ඊට අමතරව මෙහි රෝග ලක්ෂණ දුටු විගස දිලීර නාශක යොදා රෝගය පාලනය කරන්නට වගබලා ගන්න.

 

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය

 

 

[email protected]