හරියටම අඳුනගන්න

මානෙල් සහ නිල් මානෙල්
පෙබරවාරි 17, 2025

සුන්දරත්වය වෑහෙන සොඳුරු මල් ගැන හැමදාමත් කතා කරන තරුණී අපේ අවධානය මෙවර යොමු වන්නේ ජලජ ශාක වෙතටයි. සුන්දර මල් හටගන්නා ශාක මෙන්ම විචිත්‍ර පත්‍ර සහිත ජලජ ශාක අතරේ ශ්‍රී ලාංකිකයන්ට වඩාත් වැදගත් ජලජ ශාකයක් වූ නිල් මානෙල් ගැනයි මේ කතාබහ.

නිල් මානෙල් මල අපේ රටේ ජාතික පුෂ්පයයි. ලොකු කුඩා කවුරුත් ඒ ගැන දන්නා නමුදු වර්ණයේ පුංචි පුංචි වෙනස්කම් සහිත නිල් මානෙල් මල් කිහිපයක්ම මෙරට දැකිය හැකි වේ. එබැවින් නිල් මානෙල් වගා කරන්නට කලින් අපි මේ මල පිළිබඳ නිවැරදි තොරතුරු දැන සිටීම ඉතා වැදගත්.

'Nymphaee Stellata' උද්භිද නාමයෙන් හැඳින් වූ නිල් මානෙල් පුෂ්පයේ වර්තමාන උද්භිද නාමය වන්නේ 'Nymphaea nouchali'. 1986 වසරේ පෙබරවාරි 26 වැනි දින මෙය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙසින් නම් කළ අතර එලෙස ජාතික පුෂ්පය ලෙසින් තෝරා ගැනීමට කරුණු කාරණා කිහිපයක්ම බලපා ඇත. එනම්, බුදුන් වහන්සේගේ සිිරිපතුලෙහි ඇති මඟුල් ලකුණුවලින් එකක් වීම, රාජකීය උත්සව සඳහා අනාදිමත් කාලයක සිට භාවිත වන මලක් වීම, උපුල්වන් දෙවිඳු සමඟ සම්බන්ධිත පුෂ්පයක් වීම, මලේ වක්‍ර වූ පත්‍රවලින් සුබ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම, බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම වැනි කරුණු කිහිපයක්ම ඊට හේතු පාදක වී තිබේ.

නිල් නෙළුම්, තරු නෙළුම්, රතු ජල මානෙල්, කුරු මින්මැදුර මානෙල්, නිල් මානෙල්, නිල් තරු මානෙල්, මානෙල් ආදී වශයෙන් පොදු නම් බොහොමයකින් මෙය හඳුන්වනු ලැබේ. දේශීය වෛද්‍ය විද්‍යාෙව් ස්වාභාවික කෘමි නාශකයක් සේම නින්දට ආධාරකයක් ලෙසින්ද භාවිත කරන නිල් මානෙල් මල වියළා තේ වෙනුවට පානය කිරීමටත්, සුවඳ දුම් මෙන්ම තෙල් සෑදීමටත් භාවිත කෙරේ.

මෙරට පහතරට කලාපයේ සහ මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල නොගැඹුරු වැව් සහ පොකුණුවල බහුලව වැඩෙන මේ නිල් මානෙල් වර්තමානයේ ගෙමිදුලෙහි සැකසූ කුඩා පොකුණුවල මෙන්ම තරමක් විශාල බඳුන්වල ද වගා කරනු ඇත. උදෑසන හිරු කිරණ මල් පොහොට්ටු මත පතිත වීමත් සමඟම පෙති දිගහරිමින් විකසිත වන නිල් මානෙල් මල අඳුර වැටීමත් සමඟම පෙති හකුළා ගනියි.

 

නිවැරදි නිල් මානෙල් ශාකය හඳුනා ගනිමු

ජාතික පුෂ්පය ලෙසින් නම් කළ නිල් මානෙල් මල අනෙක් මානෙල් මල්වලට සාපේක්ෂව තරමක් කුඩාය. මල නිල් පැහැයෙන් යුක්තය. දිදුලන කොළ පැහැයෙන් යුක්ත දළ පත්‍ර සෙ.මී. 10.26ත් 10.30ත් අතර ප්‍රමාණයක් ගනී.

 

මනිපත්‍ර නිල් පැහැයෙන් යුක්ත වන අතර පාදස්තය දෙසට වන්නට ළා නිල් සහ කහ පැහැයක් ගනියි. පෙති 09ත් 16ත් අතර අඩු ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර පුෂ්පයේ මැදට වන්නට ඇති පෙති කුඩා ස්වභාවයක් ගනියි.

 

අනෙක් මල්වලට සාපේක්ෂව මෙහි රේණු දැකිය හැක්කේ ද අඩුවෙනි. කහ පැහැති පැතලි රේණු පාදස්තය දෙසට වන්නට නිල්, දම් පැහැයක් ගනියි.

 

වසර පුරාම මල් හටගන්නා මේ නිවැරැදි නිල් මානෙල් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියළි කලාපීය පරිසරයේයි. එය ජාතික පුෂ්පය ලෙස හැඳින්වෙන නිවැරදි පුෂ්පය වන අතර මෙරටට ආවේණික ශාකයක් ද නොවේ. ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි රටවල ද සුලබව දැකිය හැකි අතර බොහෝවිට දැන් දැන් මෙරට වෙළෙඳපොළේ දක්නට ලැබෙන්නේ විදෙස් රටවලින් ආනයනය කරන ලද එවැනි ප්‍රභේදයි. එබැවින් එම රටවල ප්‍රභේද සමඟ ද මුසු වී එකිනෙකට වෙනස් වර්ණ රටා සහිත සොඳුරු ප්‍රභේද ඔබට දැකගත හැකියි.

 

මෙරට බහුල ප්‍රභේදය

ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි වැඩි දෙනකු දන්නා හඳුනන මානෙල් මල මෙය වේ. Nymphaea Capensis ලෙසින් හඳුන්වන මෙය නිල් මානෙල් මලට වඩා පැහැයෙන් දීප්තිමත් වන අතර නිල් පැහැයට වඩා දම් පැහැයක් ගනියි. මනාව විසිරුණු පෙති රාශියකින් යුක්ත වන මේ ප්‍රභේදයේ පෙති සහ ශාක පත්‍ර ද තරමක් වෙනස් ය.

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය