වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
Hot Water බාත් එකක් පාවිච්චි කිරීම වෙනම ම කලාවක්
සොබා දහමින් උරුම බොහෝ දේ අපෙන් ඈත්වෙලා. පරිසරයත් අපට නොදැනීම වේගයෙන් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි කාලගුණයත් හරිම වෙනස්. වෙනස්වෙන ලෝකයේ අපට අහිමි වුණු දේ කෘත්‍රිමව නිර්මාණය කර ගන්න නිරන්තරයෙන් වෙහෙසෙනවා. අවිවේකී ජීවිත ගතකරමින් දවස පුරාම වෙහෙසෙන අප සවසට ඇඟපත සෝදා ගන්නේ විඩාව නිවා ගන්න.
අතීතයේ අපට මේ සියලු දේ සොබාදහමින් නොමිලේම ලබා ගන්න පුළුවන් වුණා. ඒත් දවසින් දවස නාගරික වුණු ජීවිතේ ඇළ දොළ ගංගාවලින් ඇඟ දොවා ගන්න තරම් වාසනාවක් නැති කර ගත්තේ අප විසින්මයි. ඒ නැති වුණු සුවය දැන් මිනිසුන් කෘත්‍රිමව සොයනවා. ඒ නිසාම විවිධ උපකරණ හා මෙවලම් අපගේ ජීවිතයට ළං කර ගන්න හුරුවුණේ නිරායාසයෙන්ම. විඩාබර දවසක උණුවතුර ටිකකින් ඇඟ දොවා ගන්න ලැබුණොත් “ෂා.... ඒක කොයි තරම් සනීපයක්ද?” මෙසේ සිතන බොහෝ දෙනා නාන කාමරයක් සාදන විට එයට උණු වතුර පද්ධතියක් එක්කර ගන්න හුරු වුණා. මේ පුරුද්ද කොයි තරම් අපට සමීප වුණාද කියනවා නම් සමහර හෝටලයක නවාතැන් ගන්නා විටත් උණු ජලය ඇති නාන කාමරයක් අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වෙලා.
උණු ජල සැපයුමක් කියන්නේ මොකක්ද?
අප සාමාන්‍යයෙන් උණු ජලය පද්ධතියට කියන්නේ Hot water bath එක කියලා. මෙවැනි උණු ජලය පද්ධතියක් දැන් නාන කාමරයට පමණක් නොවෙයි නිවෙසක විවිධ කටයුතු රැසකටම පාවිච්චි කරනවා. මේ උණු ජලය පද්ධතියක තිබෙන සරලම ක්‍රියාවලිය වෙන්නේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි අගයකට රත් කළ උණු දිය සැපයුමක් මඟින් ලබා ගැනීමයි. හැබැයි මෙසේ ලබා ගන්නා ජලය අපට පානයට ගැනීමට තරම් පිරිසුදුකමක් හා රත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මෙම ජලය අපට ඇඟ සේදීමට, උපකරණ සේදීමට ආදී කටයුතු සඳහා දෛනිකව ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
විශේෂයෙන්ම මේ උණු ජලය පද්ධතිය සම්බන්ධ කරන්නේ නාන කාමරයේ බාත් ෂවර් එකට. එයට අමතරව බාත් ටබ් එකට, වොෂ්බේසමට, ෂවර් සහ බිඩේ උපාංග සඳහා යොදා ගන්නවා. අපේ රටේ මෙවැනි උපාංග තවමත් සුපිරි පැළැන්තියේ උපකරණ ලෙස සැලකුවත් බටහිර රටවල මෙවැනි උපාංග ඔවුන්ට අත්‍යාවශ්‍ය අංගයන්. ඔවුන්ගේ රටවල පවතින කාලගුණික තත්ත්වයන් සමඟ ඔවුන්ට මෙවැනි උණු ජල පද්ධතියක් යොදා ගැනීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. නමුත් අපේ රටේ බහුතරයක් මෙවැනි උපකරණ පද්ධතියක් යොදා ගන්නේ අවශ්‍යම අවස්ථාවක පමණයි. රෝගීන් සඳහා, වයස්ගත පුද්ගලයන්ට, කුඩා දරුවන්ට දෛනිකව උණු ජලය නෑමට සිදුවුණොත් මෙවැනි උපකරණයක් බෙහෙවින්ම ප්‍රයෝජනවත්.
උණු ජලය ලබාගන්නා ආකාරය.
අතීතයේදී නම් උණු ජලය ලබා ගන්න යොදා ගත්තේ අඟුරු හෝ ගල් අඟුරු යෙදු බොයිලේරු වැනි උපාංග. නැතිනම් සරලම ක්‍රමය ලෙස දර යොදාගෙන ජලය රත් කර ගන්න පුරුදුව සිටියා. එහෙත්් මිනිසුන්ට මේ දේවල් සොයා ගන්න නොහැකිව සංකීර්ණ සමාජ රටාවකට හුරු වුණාට පසුව විදුලි බලය, ඛනිජ තෙල්, ගෑස් වැනි දාහකයන් යොදා ගන්න පෙළඹුණා. දැන් මෙයට හොඳම ආදේශකය ලෙස සූර්ය තාපය යොදා ගැනීම වඩාත් ජනප්‍රියයි.
2020/08/05 තරුණි පුවත්පත බලන්න.
උපදෙස් : ජල නළ කාර්මික උපදේශක
(ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)
අජන්ත කාරියවසම්