විසිත්ත කාමරය හැඩකරන සෝෆාව මෙලෙස තබමු

අගෝස්තු 26, 2020

ගෘහණියක් තම ගෘහය මන බඳිනා අයුරින් පවත්වාගෙන යෑමට අවශ්‍ය ගෘහ අලංකරණයේ විවිධ ඉසව් සොයා යා යුතුමය.

එක් එක් ගෘහණියන් තමන්ට හැකි පමණින් ආර්ථික මට්ටමට සරිලන අන්දමින් තම නිවෙස පිරිසුදුවට පිළිවෙළට, අලංකෘතව පවත්වාගෙන යයි. අපේ මේ උත්සාහය ඔබේ නිවෙස පිරිසුදුව පිළිවෙළකට, අලංකාරව පවත්වාගෙන යාමට කිසියම් අදහසක් ලබාදීමටයි.

ගෘහ අලංකරණයට අනුව යමින් විසිත්ත කාමරය හැඩවැඩ කරගන්නට සිතන ඔබ එහි ගෘහභාණ්ඩ මනාව සකසා ගත යුතුවේ. නියමිත තැන්හි ස්ථානගත කළ යුතුවේ. එසේ නොවුණුවිට දී හාත්පස කලබලකාරී බවක්, අපිළිවෙළ බවක් නිතැතින්ම දිස්වේ.

විසිත්ත කාමරයේ සෝෆාව ඇතුළු අනෙකුත් දැ තබද්දී පිටත ඇති දර්ශනය පිළිබඳ සැලකිලිමත් විය යුතුමය. පිටත ඇති දර්ශනය අනුව ඇතුළත ගෘහ භාණ්ඩ තබන්නේ නම් ඔබ වටපිටාවේ ඇති අලංකෘත බවින් උපරිම ඵල නෙළාගත්තා වේ. මෙය තේමාවට ද අදාළය.

විසිත්ත කාමරයේ ඇති ඉඩ ප්‍රමාණය ඔබ මුලින් ම සැලකිලිමත් විය යුතු කරුණයි. දෙවනුව විසිත්ත කාමරය කවර හැඩතලයකින් වූවක්දැයි බැලිය යුතුය. පොළොව, සිවිලිම සහ බිත්ති යන සුසංයෝගයෙන් සැදි විසිත්ත කාමරයේ පසුතලය පිළිබඳ මීළඟට සිතන්න.

 

උපදෙස් - ප්‍රවීණ ගෘහ අලංකාරණ ශිල්පිනී

ආචාර්ය දිලිනි හල්විටිගල

 

2020/08/26 තරුණි පුවත්පත බලන්න