වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අපේ රටට ආවේණික ඕකිඩ් වර්ග හඳුනාගනිමු
උඩවැඩියා එහෙමත් නැතිනම් ආදරණීය ඕකිඩ් මලට පෙම් නොබඳින කාන්තාවක් නැතිතරම්. තමන්ගේ ගෙමිදුල එකලු කරනා මල් ගොමුවට නේක වර්ණයේ ඕකිඩ් ප්‍රභේද කිහිපයක්ම එකතු කරගන්නට වෙර දරන්නේ ඒ නිසාමයි.
ඉතින් නෙත සිත සනසන මේ ඕකිඩ් මලෙන් තමන්ගෙ පසුම්බියට කීයක් හෝ එකතුකර ගන්නට හැකිනම් එය මොනතරම් පහසුවක් ද? ඒ සඳහා මඟහසර කියාදෙන මේ ලිපිමාලාව තුළ අද අපේ අවධානයට යොමු වන්නේ මෙරට ඕකිඩ් ව්‍යාප්ත වූ ආකාරය සහ අපට ආවේණික ඕකිඩ් පිළිබඳවයි.
වසර මිලියන 100 ක් ඉක්මවූ ලෝක ඉතිහාසයකට හිමිකම් කියනා ඕකිඩ් මෙරටින් හමුවී ශත වර්ෂයකට අධික වේ. අතීතයේ මෙරට විසූ ප්‍රභූ පැළැන්තිය සේම වතු අධිකාරීවරු තම වතුපිටි සහ නිවෙස් අලංකරණය උදෙසා ඕකිඩ් වගා කළහ. ඊට අමතරව ඔවුහු මෙම සුරූපී මලට ඇති දැඩි රුචිකත්වය නිසාම තරග සහ මල් ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කිරීමට ද ඕකිඩ් වගා කරන්නට පෙළඹුණහ. අනතුරුව 70 දශකයේ දී කැපූ මල් සඳහා ද ඕකිඩ් වවන්නට අපේ අය පුරුදු වූ අතර ක්‍රමයෙන් මෙරට තුළ ඕකිඩ් වගාව ප්‍රචලිත විය.විවිධාකාරයේ ඕකිඩ් ප්‍රභේද බොහොමයක් මේ වනවිට මෙරට දක්නට ලැබේ. විවිධ වර්ණ, හැඩතල සහිත මේ මල් අතර ලංකාවට ආවේණික වර්ග කිහිපයක් ද වේ.
* පරෙවි ඕකිඩ් (Pigeon orchid)
* වෙසක් ඕකිඩ් (Vesak orchid)
* ගුරුළුරාජ ඕකිඩ් (guruluraja orchid)
* වැන්ඩා ටෙසලාටා (Vanda Tesselata orchid)
ඉන් කිහිපයකි.
මේවායේ මල්වල හැඩ රටා අනුව ඒවාට නම් ලැබී ඇති අතර මේ ඕකිඩ් ලංකාව තුළ පමණක් දක්නට ලැබීමත් විශේෂත්වයකි.
මේ අතරින් වැන්ඩා ටෙසලාටා ඕකිඩ් වර්ගය ලංකාවේ උතුරු මැද, වයඹ, ඌව, සබරගමුව, මධ්‍යම කඳුකර වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ. එහි විවිධ වර්ණ සහ පෙතිවල හැඩ රටාවන්ගෙන් එකිනෙකට වෙනස් විශේෂ 20කට අධික ප්‍රමාණයක් දැකිය හැකියි. උදාහරණයක් ලෙස මෙහි එක් ප්‍රභේදයක්වන ‘වැන්ඩා ටෙසලාටා වරායිටි කෝටියා’ (Vanda Tesselata Variety Kotiya) නමින් හැඳින්වෙන අතර එම ඕකිඩ් මලෙහි පෙති මත තිත් සහිත රටාවක් මැවී ඇති බැවින් එම නම ලැබී ඇත.
මේ වන විට ලංකාවට ආවේණික වෙනත් ගහකොළ, සතුන් සේම ඕකිඩ් මලට ද හිමිව ඇත්තේ දුක්බර ඉරණමකි. එනම් වනාන්තර එළිකිරීම්, ගිනි තැබීම් වාගේම අනවශ්‍ය අන්දමින් ඕකිඩ් පැළ ගලවා විදේශිකයන් වෙත අඩු මුදලකට විකිණීම වැනි දෑ නිසා මෙරටට ආවේණික වූ අපේ ඕකිඩ් ප්‍රභේද බොහොමයක් මෙරටින් තුරන් වී හමාරය.
උපදෙස්
සුමුදු ඕකිඩ්ස් හි ජයන්තිමාලා එදිරිසිංහ