වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ස්වයං නිරෝධායනය ගැන නිවැරැදිව දැනගනිමු
කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය අද රටවල් බොහෝ ගණනක් ආක්‍රමණය කර අවසන්. බැක්ටීරියාවකටත් වඩා කුඩා වෛරසයකට අද මුළු ලොවම බිය වී ඉන් මිදීමට මෙන්ම ව්‍යාප්තිය වැළැක්වීමට නොයෙක් ක්රමෝපායන මාර්ග,පිළිවෙත් සොයමින්, අනුගමනය කරමින් යන මේ මොහොතේ එහි ප්‍රතිඵලදායකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ නිරෝධායනයයි.
නිරෝධායනය කියන්නේ රෝග කාරක වෛරසය කෙනකුගෙන් තවත් කෙනකුට යෑම වළක්වා අදාළ පුද්ගලයා තුළින්ම එය පරාජය කරගැනීමේ සරල පිළිවෙතයි.
නිරෝධායනය යන්න අතීතයේත් මෙලෙසින්ම සිදු වූ බව ඒ දෙස විමසිල්ලෙන් බැලු විට වටහාගත හැකියි. එදා පැපොල, සරම්ප, කම්මුල්ගාය, වසූරිය, මැලේරියාව වැනි වසංගත රෝග බෝවීම වැළැක්වීමට අපේ පැරැන්නන් අනුගමනය කළේ මෙම ක්රියාවෙළිවෙතමයි. රෝගය වැලඳුණු තැනැත්තා අනෙක් සියල්ලන්ගෙන් වෙන්කර ඔවුන් පරිහරණය කරන ආහාර, ඇඳුම් පැලඳුම්, භාවිත කරන උපකරණ ආදී සියල්ල වෙන්කොට තබා එය තවත් අයකුට වැලඳීමේ අවකාශ වසා දැමීය. යම් නිවෙසක එවන් රෝගියකු සිටීනම් එය අනෙක් අයට දැනුම් දුන්නේ කොහොඹ අත්තක් ගේ ඉදිරියේ එල්ලීමෙනි. ඔවුන් එදා එය ඉතාම පහසු අයුරින් පාලනය කරගත් අපූරුව අද මෙන්ම හෙටටත් කදිම පාඩමක් කියා දෙයි.
වර්තමානයේ කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ක්රියාවෙළිවෙතම අනුගමනය කළද එය මිනිසුන්ට වටහා ගත නොහැකි වූයේ මෙම ‘නිරෝධායනය’ නමැති වචනය සාමාන්‍ය ජනතාවට අවබෝධ නොවුණු නිසා ද විය හැකියි. ඒ නිසාම විදේශයන්හි සිට පැමිණි අපේ ජනතාව මෙම ක්‍රියාවලිය දැඩි දඬුවමක් සේ සිතා ඉන් පලායෑමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වුයේ මෙම වෛරසය රට පුරා ව්‍යාප්ත වීමයි. එය එක් අයකුගෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනකුට බෝවීමේ සම්භාවිතාව නිසාම මෙය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී රට සමාජයීය මෙන්ම ආර්ථිකමය වශයෙන් අකර්මණ්‍ය තත්ත්වයට පත්විය. අපේම මිනිසුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවීම නම් කනගාටුවට කරුණකි.
මේ හේතුව නිසාම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි පොලීසිය හා පොලිස්පතිතුමා උපදෙස් පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට පියවර ගත්තේ මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණිනි. මෙය ස්ටිකර් ආකාරයේ පත්රිකාවන්ය.
* එක් පත්‍රිකාවක් මෙම වෛරසය ඇතැයි හඳුනාගත් ස්ථානවල ඇලවිය යුතුය. මෙහි සඳහන් වන්නේ මෙම වෛරසය ඇතැයි හඳුනාගත් පුද්ගලයන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාව හෙවත් නිරෝධායන ක්‍රියාවලිය සහ ඊට පරිබාහිරව ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා ගතහැකි නීතිමය පියවරවල් ගැනයි.
මෙය එම ස්ථානයේ රෝග කාරකයකු සිටින බව දැන්වීමේ පණිවුඩයක් මෙන්ම එම නිවෙසියන් ඒවා පිළිපැදිය යුතු බව ද තහවුරු කරන්නකි. පිටස්තරයන් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදිය යුතුය.
* අනෙක් පත්‍රිකාව සකසා ඇත්තේ පොදු ස්ථානවල ඇලවීම සඳහායි. පොදු මහජනතාවට, රෝගය වැලඳුණු හෝ නොවැලඳුණු මෙන්ම සැක කරන සැවොම පිළිපැදිය යුතු වැදගත් උපදෙස් එහි අඩංගුය.
සැකසුම -නාමලී ගමගේ