තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලයට අයැදුම් කරන්නේ මෙහෙමයි

ජුනි 9, 2021

 

කොරෝනා වසංගතය මුළු ලොවම ගිල ගනිද්දී එහි වැඩිපුරම බලපෑම එල්ල වී ඇත්තේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ටයි. කෙසේ වෙතත් මේ සියලු අභියෝග මැද උසස් පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන්ගේ ප්‍රතිපල පසුගියදා නිකුත් වුණා.

එම දරුවන් අතරින් මෙවර උසස් පෙළ සමත් සිසුන්ගේ මීළඟ අපේක්ෂාව වී ඇත්තේ විශ්ව විද්‍යාල වරම් ලැබීමයි. එහෙත් එම අපේක්ෂාව ඉටුකර ගැනීම සඳහා ඔවුන්ට රටේ පවතින තත්ත්වය අනුව හැකියාව ලැබේද? එය ඔවුන්ගේ සිත් තුළ පවතින විශාල බියක් හා චකිතයක්. එසේම එම දරුවන්ගේ මව්පියන්ට ද ඇත්තේ විශාල ප්‍රහේලිකාවකි.

මෙම තත්ත්වය මඟ හැර කිසිම අපහසුවකින් තොරව විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‍ර යොමු කිරීම සදහා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්තේ Online තාක්ෂණය ඔස්සේය. මෙසේ Online තාක්ෂණය ඔස්සේ අයදුම්පත්‍ර යොමු කරන ආකාරය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් පසුගියදා පැවැත්වීය. ඔහු එහිදී අනාවරණය කළ කරුණු අනුව අයදුම් පත්‍රයක් යොමු කරන ආකාරය පිළිබද අප ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන්නේ සුවහසක් දරුදැරියන්ගේ ප්‍රයෝජනය හා පහසුව වෙනුවෙනි.

"2020 වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටි දරුවන්ගෙන් විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ අයට ඒ සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමට මැයි මස 20 වැනිදා සිට ජූනි මස 11වැනිදා දක්වා කාල සීමාවක් ලබා දී තිබෙනවා. රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අන්තර්ජාලය හරහා Online තාක්ෂණය ඔස්සේ එම කටයුත්ත ඉතාමත් පහසුවෙන් කර ගත හැකියි. මෙම කාලය තුළ දරුවන් විසින් තම අයදුම්පත්‍රය වි. වි. ප්‍රතිපාදන කොමිෂම වෙත යොමුකිරීම සිදු කරනු ලබන්නේ සංචරණ සීමාවන් හා පාසල් වසා ඇති පසුබිමකය. මේ නිසා දරුවන්ට පාසල් හැරයෑමේ සහතිකය හා දරුවන් උසස් පෙළ සඳහා සහභාගි වූ බවට විදුහල්පතිතුමාගේ සහතිකය ලබාගැනීම යන ලියකියවිලි ඉදිරිපත්කිරීමේ විවිධ දුෂ්කරතා රැසක්ම ඇති වී තිබෙනවා.

ලියකියවිලි කිසිවක් නොමැතිව අයදුම් කරන්න

අප ඉල්ලා සිටිනවා එම ලියකියවිලි කිසිවක් නොමැතිව අයදුම් පත්‍රය පුරවා අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරන්න කියලා. ඒ අනුව පාසලේ විදුහල්පතිතුමාගේ සහතිකය අවශ්‍ය නැහැ. ඒ නිසා පාසලට යා යුතු වන්නේ නැහැ. ඊට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙහි ඇමිණිය යුතු නැහැ. මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ දරුවා ළඟ තියෙන කරුණු කාරණා පමණක් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව වෙත යොමු කිරීමයි. ඒ කරුණු තිබෙන්නේ පාසල් මඟින් උසස් පෙළට අයදුම් කළ සිසුන් වෙනුවෙන්.

පෞද්ගලික අයදුම කරුවන් කෙසේ අයදුම් කළ යුතුද?

ඊට අමතරව අපේ රටේ උසස් පෙළ සඳහා විශාල පිරිසක් පෞද්ගලිකව අයදුම් කරනවා. ඒ දරුවන්ට ඔවුන්ගේ අයදුම්පත්‍ර යොමු කිරීමේදී පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාමසේවක සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි. මේ සංචරණ සීමා කාලය තුළ එම සහතිකය ලබා ගැනීමටත් ඔවුන්ට අපහසුයි. ඒ නිසා එම දත්ත ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට තමුන් සතු දත්ත පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්.

මෙම සංචරණ සීමා අවසන් කර පාසල් විවෘත කළාට පසු විදුහල්පතිවරු රාජකාරියට වාර්තා කළාට පසුව අවශ්‍ය සහතික ලබාගෙන අප වෙත තැපැල් මඟින් යොමු කරන්න. එසේම පෞද්ගලික අයදුම්කරුවන්ටත් හැකියාව තිබෙනවා ග්‍රාම සේවක සහතිකය පසුව ලාබගෙන වි. වි. කොමිෂන් සභාවට යොමු කරන්න.

ඒ අනුව මේ මාසයේ 11 දා දක්වා දරුවන්ට කිසිම තැනකට නොයා අන්තර්ජාලය ඔස්සේ තම අයදුම්පත්‍රය යොමු කරන්න පුළුවන්. අපගේ Email ලිපිනය වන්නේ [email protected].

මෙලෙස ඔබ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍රය යොමු කිරීමේදී එය ඉතාම පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා මුලින්ම කළ යුත්තේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමයි. එම වෙබ් අඩවියට පිවිසීමෙන් පසු එහි මෙම අයදුම්පත්‍රය සම්පූර්ණ කරන ආකාරය හා යොමු කරන ආකාරය ඉතාම පැහැදිලිව සඳහන් ව තිබේ. එසේම මෙවර මේ සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමට වි. වි. කොමිෂන් සභාව මඟින් ලබාදෙන අත්පොත (Hand Book 2020 - 2021) ද මෙම වෙබ් අඩවිය මඟින් ඔබට බාගතකර ගැනීමේ අවස්ථාව සලසා තිබේ. ඒ අනුව ඔබට අවශ්‍ය මඟ පෙන්වීම හා උපදෙස් සියල්ල එම පොත බාගත කිරීමෙන් ඉතාම පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවනු ඇත.

තවද එම වෙබ් අඩවියේ ඔබට විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය සියලුම විශේෂ ලියකියවිලි එකී චක්‍රලේඛණ හා ශිෂ්‍යත්ව පිළිබඳ තොරතුරු ද ප්‍රවෘත්ති සහ වැඩසටහන්වල සඳහන්ව තිබේ.

තවද ඔබ මේ පිළිබඳ ගැටලුවක් ඇති නම් සතියේ දිනවල රාජකාරි වේලාවන්හිදී පහත අංක අමතා තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇත.

වෙබ් අඩවිය www.ugc.ac.lk

අයදුම්පත්‍ර යොමු කළ යුතු Email ලිපිනය

[email protected]

දුරකතන අංක:

011-2123481

011-2685758

011-2695301 - 302

 

 

 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සම්පත් අමරතුංග මහතා