මාල-වළලු කූරු ගන්න පිටකොටුවේ චැපල් ලේන්

ජුනි 30, 2025

මාල, වළලු අරුමෝසම් ජීවිතය එක්තරා කාලයකට අපි හැමෝටම උදාවෙනවා. කොහෙම වුණත් කොයි කවුරුත් ලස්සනට ඉන්න කැමැතියිනෙ. ඒකට ගැහැනු - පිරිමි භේදයක් නැහැ.

 

මෙන්න ඔබට කදිම අවස්ථාවක්. ඔයා අාදරය කරන අයට, ආදරණීය බිරියට, පෙම්වතියට, අක්කාට, නංගිට ලස්සන ආදරණීය මතකයක් දෙමු ද?

 

රත්රන් මිල අහස උසට ගිය මේ කාලයේ හොඳම විසඳුම ඉමිටේෂන් මාල - වළලු පලඳනායි.

 

කාලයෙන් කාලයට විවිධ විලාසිතා කාන්තා ලෝකයට පැමිණේ. ඇඳුම්, ආභරණ, පාවහන්, අත්බෑග්, ආලේපන ආදී වශයෙන් ඒවා විවිධාකාර වේ. රැල්ලක් ලෙසින් නැඟී කාලයක් සමඟම බැස යන මේ විලාසිතා නැවත මතුව එන්නේ අලුත්ම මුහුණුවරකිනි.

 

නිරතුරුව වෙනස්වීමට ලක්වන මෙම විලාසිතා අතර ආභරණවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එබැවින් මෙවර කොටුව විශේෂාංගයෙන් අපි ඔබව රැගෙන යන්නේ එවැනි ආභරණ පිරි වෙළෙඳ පුරවරයකටය.

 

පිටකොටුව, මල්වත්ත පාර හරහා පිවිසෙන කුමාර වීදිය මේ වනවිටත් ඔබ දන්නවා. මේ වීදිය ඔස්සේ තරමක් දුරට ගමන් කරන ඔබේ නෙත ගැටෙන්නේ පැරණි ඕිලන්ද කෞතුකාගාරයයි. ඒ අසලින් වම් පැත්තට හැරෙන චැපල් ලේන් එක මෙන්ම දකුණුපස කඩ පේළිය අතරින් පිවිසෙන අංක 116 වෙළෙඳ සංකීර්ණය ද වෙන්ව ඇත්තේ ඉතාමත් සුන්දර ආභරණ වෙනුවෙනි.

 

දිනෙන් දින ඉහළ යන රන් ආභරණ මිල නිසාත්, නවීන ලෝකයේ කාලයේ තාලයේ විලාසිතාව නිසාත් මෙවැනි ආභරණවලට අද දවසේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එබැවින් තමන් අඳින ඇඳුමේ හැඩයට, වර්ණයට ගැළපෙන මාල, වළලු, කරාබු පමණක් නොව කොණ්ඩා කටු, සාරි කටු තෝරා ගැනීමට බොහෝ කාන්තාවන් මෙහි ගැවසෙනු දැකිය හැකියි.

 

ලොකු, කුඩා කඩ සාප්පු 30කින් පමණ සමන්විත මේ සාප්පු සංකීර්ණය පුරාවටම දකින්නට ලැබෙන්නේ නොයෙක් මාදිලියේ ආභරණය. එකකට එකක් නොදෙවැනි අලංකාර මේ ආභරණ විවිධ වර්ණවලින් පමණක්ම නොව විවිධ වර්ගයන්ගෙන් ද මෙහි දැකිය හැකියි.

 

විශේෂයෙන්ම ප්ලාස්ටික්, ස්ටෙන්ලස්, ස්ටීල්, රෙදි නූල්, ලී ආදියෙන් කරන ලද නිර්මාණවලට අමතරව රන් ආලේපිත ආභරණ ද බොහොමයකි.

මේ දිනවල වැඩි කාන්තා අවධානයක් යොමු කරගෙන ඇති ලොකු කුඩා, පබළු මාලයක් මෙහි අලෙවි වන්නේ රුපියල් 150ක් වැනි මුදලකට යැයි පැවසුවහොත් ඇතැම්විට ඔබ පුදුමයට පත්වේවි.

 

මෙවැනි මාලයකට වෙනත් වෙ‍ෙළඳසලක නියම වන්නේ ඉතා ඉහළ මිලකි. එමෙන්ම වර්ණ කිහිපයකින් සැදුම්ලත් මෙවැනි මාල දුසිමක් පවා රුපියල් 400ක් - 500ක් වැනි මිලකට ඔබට ලබාගත හැකියි.

 

එයට අමතරව විවිධ වර්ගයේ අලංකාර වළලු, අත් පලඳනා, බ්‍රේස්ලට් ආදියත් මෙහි ඉතා අඩු මිලකට අලෙවි වේ. රුපියල් 20 සිට 170 දක්වාත්, රුපියල් 25 සිට 40 - 50 දක්වාත්, මේ වළලු, බ්‍රේස්ලට් ලබාගත හැකියි. එමෙන්ම තරුණ තරුණියන්ගේ දෑත් හැඩගන්වන පාට පාට නූල් වර්ග පමණක් නොව ටැටූ ස්ටිකර් පවා රුපියල් 5ක් 10ක් වැනි සුළු මුදලකට මිල දී ගත හැකියි.

 

සිඟිති දැරියන්ගේ නැටුම් ගැයුම්වලදී භාවිතවන කුඩා පබළු මාල මෙන්ම තරුණියන්ගේ ගෙල සරසන ස්ටේන්ලස් ස්ටීල් (සුදුයකඩ)මාල, අත් පලඳනා, සිප්පි කටුවලින් තැනූ මාල වළලු, ලීයෙන් කරන ලද ආභරණ, ලොකු කුඩා අව් කණ්ණාඩි මේ සියල්ලම පාට කිහිපයකින් යුත් දුසිමක් වශයෙන් වුවද මිලදී ගත හැකියි. ඒ මේවායේ මිල එතරම්ම අවම නිසාවෙනි. මෙම ආභරණවලට අමතරව අලංකාර කොණ්ඩ කටු, බූල් බෑන්ඩ්ි, ක්ලිප් වර්ග පවා මෙහි දකින්නට ලැබෙන අතර ඔබගේ රුචිකත්වය පරිදි රිසි ලෙස තෝරා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම එකම ස්ථානයක කඩ සාප්පු වැඩි ප්‍රමාණයක් ඇති නිසා තරගකාරී මිලත් මෙහි දක්නට ලැබේ.

 

ඔබ ආදරණීයව සොයනා මේ ආභරණ බොහොමයක් මේ වෙළෙඳ සංකීර්ණ වෙත ගෙන එනු ලබන්නේ බැංකොක්, ඉන්දියාව, චීනය, තායිලන්තය වැනි රටවලිනි.