වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
ලෝකයක් වටින අභය භූමියක්

හරිත වර්ණයෙන් පිරි කඳු ශිඛර අතුරින් ගලා හැලෙන දිය දහරාවන්....මීදුම් තුහීනයෙන් පිරි තුරුලතා අතරින් හමා එන සිසිලස ගත සිත නිවා සනසයි. අප ඔබව මේ කැඳවාගෙන යන්නේ ගලපිටමඩ නම් සුන්දර ගමේ සුන්දරත්වය විඳ ගන්නටයි. ලෝකයක් වටිනා දුර්ලභ මත්ස්‍යයකු වන ජයන්තියා හෙවත් “බන්දුල පෙතියා” දැක ගනිමින්, සල්ගල ආරණ්‍ය සේනාසනයේ අාධ්‍යාත්මික සුවය විඳගන්න මේ සොඳුරු චාරිකාවේදී ඔබට හැකි වෙයි.
පරිසර චාරිකාවක් ලෙසින් ඉතාම වටිනා වූ මේ ගමන අාධ්යාත්මිකවත්, අධ්‍යාපනිකවත් සුවිශේෂි ගමනකි. මේ චාරිකාවේදී පරිසරයේ සුන්දරත්වය විඳිමින් බන්දුල පෙතියා නමැති මත්ස්‍යයා දැක ගැනීමට පමණක්ම නොව මෙත් සිත් නිවාලන ගලපිටමඩ සල්ගල, ආරණ්‍යය සේනාසනයේ මොහොතක් රැඳෙන්නට ද හැකි වෙයි.
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාම සොඳුරු වූ ප්‍රදේශයක් ලෙසින් වරකාපොළ හා රුවන්වැල්ල අතර පිහිටි ගලපිටමඩ ග්‍රාමය තවමත් ගැමි සුවඳ උතුරා ගලයි. කොළඹ සිට කිලෝමීටර් 79ක් දුරින් වූ මේ ගම ගැන පසුගිය දිනවල මුළු රටේම අවධානය යොමු වූයේ ලෝකයේ වටිනාම සම්පතක් ලෙසින් හඳුනා ගත් ‘බන්දුල පෙතියා’ සංරක්ෂණය කිරීමට ගත් පියවර සමඟිනි.
“බන්දුල පෙතියා” සොයා ගැනීම
ගලපිටමඩ, රබ්බිඩිගල ගම්මානය හරහා ගලා බසින පුංචි දොළ පාරවල පමණක් දකින්න ලැබෙන මේ මනරම් මත්්ස්ය විශේෂය ජීවත්වන බව මීට වසර පනහකට පමණ පෙර කිසිවෙක් දැන සිටියේ නැත. එසේ කවුරුත් දැන නොසිටි මේ දුර්ලභ මත්ස්‍යයා සොයා ගත් ආකාරය මුලින්ම අපට සඳහන් කළේ ගමේ ඉතිහාස කතා ගැන බොහෝ දේ දන්න රොමියල් මාමාය.
“මේ ගමේ තිෙයනවා චීන ගහට වළ කියලා තැනක්. ඒ කාලයේ මේ වළට කවුරු හරි ලොකු මාළුවෙක් ගෙනත් දාලා ඒ මාළුවාට ගමේ කොල්ලෝ කණ්ඩායමක් වෙඩි දාන්න හැදුවා. මේ වළේ මාළු ටික බේරාගන්න අදහසින් ගමේ වැඩිහිටි කණ්ඩායම මේ කොල්ලන්ට හැංගිලා ගල් ගහන්න පටන් ගත්තා.
මෙහෙම හැංගිලා ගල් ගහනකොට තමයි පිට ගමකින් මහත්තුරු කණ්ඩායමක් මෙතැනට ආවේ. ඒ අය අපෙන් ඇහැව්වේ “ඇයි ගල් ගහන්නේ” කියලා. අපි කිව්වා “මේ මාළු ආරක්ෂා කරගන්න තමයි අපි එහෙම කරන්නේ” කියලා. එතකොට ඒ අය කිව්වා “මේ ඇළේ ලෝකේම නැති වටිනා මාළුවෙක් ඉන්නවා ‘ජයන්තියා’ කියලා.” මාළුවා ගැන ඒ මහත්වරුන් පරීක්ෂණ කරනවා කියලා. අපිත් මේ මහත්වරුන්ට අවුරුදු තුනක් විතර උදවූ කළා.”
මෙලෙසින් සොයා ගත් “බන්දුල පෙතියාගේ “ නම පටබැඳුණු කතාව ද රසවත් එකකි. ඒකදේශික මත්ස්‍යයකු වු ජයන්තියා සොයා ගැනීම සිදු වන්නේ 1976 වසරේදී ය. රබ්බිඩිගල නම් දිය පහරේ කිලෝමීටර් 4ක් පමණ දුර ප්‍රමාණයේ කිලෝමීර් 2ක පමණ ප්‍රදේශයක පමණක් මේ මත්්ස්යයා දකින්නට ලැබීම විශේෂම සිද්ධියකි.
බොර පැහැයක් ගත් මේ රබ්බිඩිගල ඇළේ මුලින්ම ජයන්තියා නම් මත්්ස්යයා දැක ඇත්තේ රංජිත් බන්දුල මහතාය. ඉන්පසු ඔහු මේ මසුන් ගැන රෝහණ පෙතියාගොඩ නම් විද්‍යාඥයාට පෙන්වා තිබේ. ඔහු ඒ ගැන පරීක්ෂා කර වැඩිදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා ජර්මනියේ විශේෂ සත්ත්ව රසායනාගාරයට යොමු කිරීමෙන් පසුව තහවුරු වූයේ මේ මත්ස්‍යා ලංකාවට පමණක් විශේෂ වූ වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින මසුන් වර්ගයක් බවයි. 2001 වසරේ පරීක්ෂණ නිබන්ධයක් ලෙසින් රොහාන් පෙතියාගොඩ මහතා එළිදැක් වූ ග්‍රන්ථයේ මේ සුවිශේෂී මත්ස්‍යයා ‘බන්දුල පෙතියා’ ලෙසින් ලෝකයට හඳුන්වා දී ඇත්තේ ඉතාම වටිනා කර්තව්‍යයක් ලෙසිනි.
මෙලෙසින් බන්දුල පෙතියා සොයා ගැනීමෙන් පසුව දෙස්විදෙස් විද්‍යාඥයන් රැසක්ම මේ මත්ස්‍යයා පිළිබඳ පරීක්ෂණ සිදු කර ඇත්තේ මහත් උනන්දුවෙනි. ජපානයට අනුබද්ධිතව පරීක්ෂණ ආයතනයක් මඟින් කෘත්‍රිම ලෙස මෙම මත්ස්‍යයා අභිජනනය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ මේ ඇළේ පමණක් පවතින නඩ් අගය නිසයි.
සත්ත්ව විශේෂඥයන් රැසක්ම කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇති මේ කරුණු නිසා කෘත්‍රිම ලෙස කිසිවකුටවත් මේ ඒකදේශීය මත්ස්‍යයා අභිජනනය කිරීමට නොහැකි වී තිබේ.
මේ වටිනා මත්ස්‍යයා වෙසෙන ජන්ම භූමිය අභය භූමියක් ලෙසින් නම්කර ආරක්ෂා කිරීමේ කටයුත්ත මේ වසරේ ජූනි 05 වැනිදාට යෙදී තිබූ ජගත් පරිසරය දිනය සමරමින් ආරම්භ කළේ දැවැන්ත වූ ව්‍යාපෘතියක් ලෙසිනි. මේ භූමියේදීම මත්ස්‍යයා ආරක්ෂා කරමින් අභිජනනය කර විදේශ විනිමය ඉපයීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
සල්ගල ආරණ්‍ය සේනාසනය
බන්දුල පෙතියා දැකගත් ඔබව අප දැන් කැඳවාගෙන යන්නේ ගලපිටමඩ ප්‍රදේශයේ වූ තවත් මනරම් පුණ්‍ය භූමියකටයි. ඒ තුරුලතාවන්ගෙන් සුසැදි හරිත වර්ණයෙන් පිරි ‘සල්ගල ආරණ්‍ය සේනාසනය’ වෙතටයි.
සැබැවින්ම මෙය අාධ්‍යාත්මික සුවය සපිරි පුණ්‍යභූමියකි. වළගම්බා රජු වාසය කළ ප්‍රදේශයක් ලෙස ජනප්රවාදයේ සඳහන්ව ඇති සල්ගල ආරණ්‍ය සේනාසනය පිහිටි භූමියේ වූ වැව එයට කදිම සාක්ෂියක් සපයයි. ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරන භූමියක් වූ මෙහි ඇත්තේ දැඩි නිහඬියාවකි. ඇතා බැඳි ලෙන, බැලුම්ගල, විහාර මන්දිරය හා භාවනා කුටි ගණනාවකින් සුසැදි මේ භූමිය පුරා ඇවිද යන්නට ඔබට අවසර ඇතත් විනීතව හැසිරීමේ වගකීම ඇත්තේ ඔබ සතුවය.
නිහැඬියාව බිඳගෙන ඇසෙන රැහැයි හඬ අතුරින් ඇසෙන දිය ඇල්ලක හඬ හැරුණුකොට භූමිය පුරාම ඉඳහිට ඇසෙන්නේ කුරුල්ලකුගේ මිහිරි ගීතයක් පමණකි.
අවිවේකී, විඩාබර දිවියේ සුවය සොයන ඔබට මෙම ස්ථානය මොහොතක් රැඳෙන්නට කදිමය.
ගමන් මාර්ගය
ගලපිටමඩ ග්‍රාමයට පිවිසීම සඳහා මාර්ග දෙකක් තිබේ. ඔබ කොළඹ සිට පැමිණෙන්නේ නම් වඩාත්ම පහසු මාර්ගය වන්නේ වරකාපොල හරහා ගලපිටමඩ ග්‍රාමයට වැටී ඇති මාර්ගයයි.
වරකාපොළ සිට කිලෝමීටර් 15ක් පමණ පැමිණි විට ගලපිටමඩ ග්‍රාමය හමුවේ. එහි දුනුමාල හන්දියෙන් දකුණු දෙසට කිලෝමීටර් දෙකක් පමණ ගමන් කළ විට රබ්බිඩිගල ගම්මානය හමුවනු ඇත. ගලපිටමඩ ගම්මානයට පිවිසීමට ඇති තවත් ප්‍රවේශ මාර්ගයක් වන්නේ අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ අඟුරුවැල්ල නගරයෙන් හැරී ගලපිටමඩ දෙසට ගමන් ගන්නා පිවිසුම් මාර්ගයයි.
ගලපිටමඩ පිහිටි සල්ගල ආරණ්‍ය සේනාසනය හමුවන්නේ ගලපිටමඩ මංසන්ධියෙන් කෑගල්ල මාර්ගයේ මීටර් 100ක් පමණ ගොස් එතැනින් හැරී සල්ගල මාර්ගයේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විටය.