වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
අප්පච්චී

ආදරණීය පුතා,
මම දන්නේ නෑ මම කියන දේවලින් ඔයාට ප්‍රයෝජනයක් තියෙනවාද කියලා. හිතට ගන්නවාද දන්නේ නෑ. මේක මහ මළවදයක් කියලා හිතෙනවාද දන්නෙත් නෑ. කොහොම වුණත් මේ කියන්නේ මම දන්නා තරමට මට දැනෙන විදිහට පුතෙක්ට ජීවිතය පවත්වාගෙන යන්න කරුණු කාරණා ටිකක්.
පුතා දන්නවද මිනිස්සුන්ගේ ආකල්ප. ඒවා අපිට ලේසියකට වෙනස් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් ඒවායින් බේරිලා ඉන්න. ඒ කිවුවේ අපේ ගමන අපිට නොසැලී යන්න පුළුවන්. අර මේ දවස්වල කතාවක් යන්නේ ඔය කවුද කිවුවා කියලා, අපි ගමනක් යද්දි අපිට කඩා පනින බල්ලන්ට ආපහු හැරිලා එළවන්න ගහන්න ගියොත් අපේ ගමන යන්න බෑ ඒ නිසා බල්ලො බුරපුවාවෙ අපි ගමන යමු කියලා. ආන්න ඒ වගේ යන්න පුළුවන් ඔබටත්.
ඔයා ටිකක් මහතයි තමා. ඒක නම් සිද්ධ වුණේ කන නිසාමත් නෙවෙයි. ඉස්සර හරිම කෙට්ටුයි. හැබැයි ඉතින් පුංචි කාලේ කවා ගන්නත් අමාරු වුණා තමා. නමුත් පස්සේ කාලෙක කෑම කන්න පටන් ගත්තා. ඒ වගේම ටිකෙන් ටික මහත් වෙන්නත් ගත්තා. සමහර අය නම් කිව්වේ අම්මා අප්පච්චි වගේ ඉතින් පුතත් මහතට ඉන්න එපායැ කියලා. එහෙම පවුලුත් ඉන්නවා තමා නේද.
හරි ඔයා මහත නම් මිනිස්සු මොනවද කියන්නේ ‘කනවා ඇති පුදුම කෑමක් ’කියලා. ඒ කෑමට කියනවා ඇති ලෙඩ වෙයි. කොහොමද අප්පා ඔය තරම කන්න සල්ලි කියලත් කියාවි. හැබැයි බර අඩුවෙලා කෙට්ටු වුණොත් මොකද කියන්නේ ‘මිනිහා ලෙඩ වෙලා’ කියලා. එහෙම නැත්නම් දැන් කන්නවත් නෑ. ජොබ් එකකුත් නෑ. ඔන්න ඔය වගේ ඒවා කියයි.
හරි, ඔයා තරුණකමට හරි විනෝදෙන් ඉන්නවා කියමුකො. තරුණවෙන්නම ඕනෙත් නෑ විනෝදෙන් ඉන්න. ඒක සාපේක්ෂයි. සින්දු අහන්න, චිත්‍රපට බලන්න සංගීත සංදර්ශනවලට යන්න, ක්‍රීඩා තරග බලන්න, ඒ වෙලාවට තමන්ගේ කෙනා වෙනුවෙන්
කෑගහන්න..ඔය වගේ දේවල් කරනවානෙ අපි. පුතා සැහැල්ලුවෙන් හිතන අයට සුලු දේකින් වුණත් සතුට ළං කරගන්න පුළුවන්. හැබැයි ඒක දකින මිනිස්සු මොනවද කියන්නේ. ‘මිනිහා පරිණත නෑ. කිසිම දෙයක් ගණන් ගන්නේ නෑ..වගකීමක් නෑ.. පවුල් බරක් නෑ..’ ඔන්න ඔහොම නේද කියන්නේ.
තරුණයෙක් හැටියට කොල්ලෝ ලස්සනට අඳින්න ඕනේ, පලඳින්න ඕනේ. හැබැයි ඉතින් මොන එකක්ද මන්දා මම ඔය ටැටූ කලාවට නම් කැමැති නෑ. නෑ.... නෑ කලාවට කැමැතියි. ඒත් පුතාගේ සිරුරේ එහෙම ‘පච්ච කොටනවාට’ මං කැමැති නෑ. ඒක ඉතින් මම දරන ආකල්ප නිසානෙ. මොකද ඉස්සර පොලීසිය, අධිකරණය පච්චකොටා ගත්ත අයට සලකන්නේ රස්තියාදුකාරයෝ, චණ්ඩි, සමාජ විරෝධි ක්‍රියා කරන අය හැටියටනෙ. අද නම් එහෙම නෑ..ඒත් මම කැමැති නෑ. ඔය කනට කරාබු දාන ඒවා සිරුරේ තැන් තැන් විදලා යකඩ කෑලි එල්ලන ඒවාට කැමතිත් නෑ.‘ ඒ ඉතින් අප්පච්චිලාගෙ කාලේ පැෂන් වගේ නෙවෙයි දැන් කාලේ’ කියලත් ඔයා කියයි. නමුත් මම හිතන විදිහත් කියන්න එපායැ. ඉතින් කොහොම හරි ඔයා ලස්සන ඇඳලා පැලඳලා ඉන්නවා නම් මිනිස්සු කියන්නේ කැපිලා පේන්න හදනවා කියලා. හැබැයි සරල විදිහට ඇන්දත් කියන්නේ දුප්පත් වෙලා කියලා. අනුන්ගෙන් ඉල්ලගෙන ඇඳපු උන් කියලාත් කියයිනෙ.
ඒ වගේම තමා ඔයා කෙළින් කතා කරනවා නම් කියන්නේ මොකක්ද මහ නපුරු මිනිහෙක් කියයි. තනිවෙලා ඉන්නවා නම් කියන්නේ කාත් කවුරුවත් නෑ. මිනිහට පිස්සුනෙ. දැන් හරියට ප්‍රශ්නනෙ කියයි. ප්‍රශ්නයක නම් ඉන්නෙ ඔයා අහංකාර කෙනෙක් කියලත් කියයි. කම්මැළියෙක් කියයි. පුතා ඔයා අවංක කෙනෙක් විදිහට වැඩ කළොත් ඒ කියන්නේ අප හිතමු ඇත්ත කතා කරනවා කියලා එහෙම නම් කියන්නේ බොළඳයි කියලා. අවංක වුණාම බොළඳයි වගේ පේන්නෙ. අවංක කෙනෙක් නොවේ නම් ඔයාව විශ්වාස කරන්න බැරි පුද්ගලෙයක් කියලා කියයි.
ඉතින් බලන්න කොහොමද බේරිලා ජීවත් වෙන්නෙ. අන්න ඒකයි මං කවුවේ බල්ලො බුරපුවාවෙ ඔබ යන්නේ අවංකවම ජීවිතය සාර්ථක කරගන්න නම් ඒක යන්න. ආයෙත් ඔය බුරන බල්ලො එළවන්න යන්න එපා.