වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
විස්ම විශ්වය

දිගම වීදුරු පාලම
චීනයේ සිචුවාන්හි බශාන් ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයේ බෑවුම් සහිත කඳු දෙකක් යාකර සකස් කර ඇති මේ පාලමේ දිග මීටර් 680ක්. උස මීටර් 380ක්. වරකට මිනිසුන් 500 දෙනකුට පාලම මත රැඳී සිටිය හැකියි. ඉදිකිරීම් ඉංජිනේරුවන් පවසන්නේ නව පාලම අධිවේගී පාලම් ප්‍රමිතියෙන් සහ ඉහළ සුරක්ෂිත බවකින් යුතුව නිමවා ඇති බවයි.
පාලම මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබෙන්නේ වසර දෙකක ඉදිකිරීම්වලින් පසුවයි. ඒ අනුව මෙහි ඉදිකිරීම් 2019 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති අතර 2021 සැප්තැම්බර් මාසයේදී එම කටයුතු නිමවා තිබෙනවා.
අද්භූත නිල් කුහරය
මධ්‍යම අමෙරිකානු රටක් වන බේලීස් (Beliza) රාජ්‍යයට අයිති කැරිබියානු මුහුදේ දක්නට ලැබෙන මෙම සිදුර හැඳින්වෙන්නේ The Great Blue Hole යන නමින්.
Pleistocene ග්ලැසියර් අවධියේ මෙම මුහුදු ප්‍රදේශය තිබී ඇත්තේ ගොඩබිමක් ලෙසටය. එකල මෙම භූමිය කිඳාබැසීමකට ලක්ව ගුහාවක් ඇතිවී තිබේ. පසුව භූ තලයේ සිදුවූ වෙනස්කම් නිසා මෙම භූමිය පරයා මුහුදේ ජල මට්ටම ඉහළ නැඟ ඇත. එවිට එම ගුහාවට ජලය පිරීමෙන් මෙම චමත්කාරජනක කුහරය බිහිවී තිබේ.
The Great Blue Hole සිදුරේ විෂ්කම්භය මීටර් 318 කි. එහි ගැඹුර මීටර් 124කි. කොරල් පර ගහන අතිශය වැදගත් ජෛව විවිධත්වයකට උරුමකම් කියන මෙම සාගර කලාපය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත.
දරුවන්ට කිරි බෙදන අම්මා
ඇය එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා. දරුවන් දහස් ගණනක් පෝෂණය කිරීමට වසර තුනක කාලයක් තුළ මවුකිරි ලීටර් 1599.68ක් පරිත්‍යාග කරමින් ඇය ලෝක වාර්තාවකට ද හිමිකම් කියනවා. ලෝක වාර්තාවට ගණන් බලා ඇත්තේ 2015 සිට 2018 දක්වා අවුරුදු 03ක කාලය තුළ ඇය ලබා දී ඇති මවුකිරි ප්‍රමාණය වුවත් පසුගිය වසර නවයක කාලයේ දී ඇය විසින් පරිත්‍යාග කර ඇති මුළු මවුකිරි ප්‍රමාණය ලීටර් 10,350කට අධිකයි.
2017 වසරේ දී ස්වභාවික ආපදාවකට මැදිව උපතෙන් පසු මව අහිමි වූ බිලිඳෙකුට මවුකිරි ලබාදීමට ඉදිරිපත් වීම එළිසබෙත්ගේ මෙම ගමනේ මූලාරම්භයයි.
අමෙරිකානු ජාතික තිදරු මවක් වන ඇය මෙතරම් මවුකිරි ප්‍රමාණයක් නිපදවීමට හේතු වී ඇත්තේ ඇයගේ සිරුරේ ප්‍රෝලැක්ටින් හෝර්මෝනය වැඩි වශයෙන් නිපදවීමේ තත්ත්වයක්. එනිසාම සෑම විනාඩි කිහිපයකට වරක් තම සිරුරේ මවුකිරි නිපදවෙන බවයි එළිසබෙත් පවසන්නේ.
මවුකිරි නිපදවන ග්‍රන්ථි ආශ්‍රිත සැත්කමකින් මෙම තත්ත්වයට පිළියම් සෙවිය හැකි නමුත් ඉන් මවුකිරි නිපදවීමේ හැකියාව අහිමි වෙනවා.
ඒ වෙනුවට මෙම තත්ත්වය දිගින් දිගටම දරා ගනිමින් දහස් සංඛ්‍යාත නොමේරූ දරුවන් සහ මවුකිරි ලබාදිය නොහැකි මවුපියන්ට එම අවශ්‍යතාව සපුරාදීමට තවදුරටත් තමා කැපවීමට සූදානම් බව එළිසබෙත් පවසනවා.
දියමන්ති වෙරළ
දියමන්ති රැගත් මේ දර්ශනීය වෙරළ තීරය දක්නට ලැබෙන්නේ අයිස්ලන්තයේ. අයිස්ලන්තය ග්ලැසියර වැනි දැවැන්ත අයිස් කුට්ටිවලට අමතරව ගිනිකඳු, වැලිකඳු, උණුදිය උල්පත්, ලාවා ආදියෙන් පිරුණු රටක්. ඇත්තෙන්ම මෙලෙස කළු වෙරළක් නිර්මාණය වී තිබෙන්නෙත් ගිනිකඳු පිපිරීමක ප්‍රතිඵලයකින්.
මේ ගිනිකඳු වෙරළ ගිනිකොනදිග අයිස්ලන්තයේ යෝකුල්සර්ලන් ග්ලැසියර් කලපුව ආසන්නයේ පිහිටා තිබෙනවා.
කළු පැහැති වැලිබිමක දකින්නට ලැබෙන මෙම දීප්තිමත් දියමන්ති ඇත්තෙන්ම මනස්කාන්ත දර්ශනයක් වුවත් මේවා ඇත්තටම යෝධ අයිස් කුට්ටි.
විශාලතම ග්ලැසියරයක් ලෙස සැලකෙන බ්‍රිඩමර්කුර්ජෝකුල් ග්ලැසියරයෙන් කැඩී වෙරළට එන අයිස්කුට්ටි අධික ශීත කාලගුණය නිසා දියවීමකින් තොරව මෙලෙස වෙරළ තීරයේ දක්නට ලැබෙනවා.
වඩදිය සහ බාදිය අවස්ථාවලට නිතරම ලක්වෙන නිසා මෙම අයිස්කුට්ටි කලින් කලට විවිධ හැඩ සහ ප්‍රමාණවලින් දැකගන්න පුළුවන්. දියමන්ති වෙරළ සංචාරක ආකර්ෂණය ද උපරිමයෙන් දිනාගත් ස්ථානයක්.
නමුත් ගෝලීය උෂ්ණත්වය හමුවේ දිය වී යන ග්ලැසියර් නම් ගෙන එන්නේ එතරම් සුබදායි පණිවිඩයක් නම් නොවෙයි.