වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
රත්රන් වටිනා කහ

පසුගිය සමයේ කහ ඉතා ඉහළ මිලක් වුණා. ඒ කෙසේ වෙතත් බෙහෙතකටවත් කහ හොයා ගන්නටවත් නැතිවුණා. විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරීම සඳහා භාවිත කරන කහ, ආයුර්වේදයේ සහ හෙළ වෙදකමෙහි ඖෂධයක් ලෙස ගැනේ. එමෙන්ම ආහාර වශයෙන් ගන්නා කුළුබඩු අතර ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි.
ශරීරයේ අභ්‍යන්තරවත්, බාහිරවත් ඇතිවන දීලිර, බැක්ටීරියා සහ වයිරස් ආසාදන සඳහා ගුණදායකයි. ආයුර්වේදයේදී ඒකීය ඖෂධයක් ලෙස මෙන්ම ඖෂධ සංයෝගයක් ලෙස ද භාවිත කෙරේ.
කහ, අත් කහ යනුවෙන්ද ව්‍යවහාරයේ අැත.
කහ වර්ග 04කි.
01. හරිද්‍රා
02. කර්පුර හරිද්‍රා
03. ආම්රගන්ද
04. හරන්
හොඳින් පැසුණු කහ අලය, රතු පැහැයට හුරුය. කුංකුම පැහැයට හුරු පැහැයක් ගන්නා කහ ඖෂධ ගුණයෙන් ඉහළ බව කියවේ.
කහවල ඖෂධීය ගුණ:-
* වාතය සමනයට ගුණදායක කහ ඖෂධය පිත වර්ධනය කරයි. එබැවින් ගැස්ට්‍රයිටිස් රෝගීන්ට සහ පිත්තාශයේ ගල් ඇති විටද කහ භාවිතය සීමා කිරීම එම රෝගී තත්ත්වයට ගුණදායකය.
* ශරිරයේ ඉදිමුම් සහිත වේදනාව සමනය කිරීමටත්, කුෂ්ට හා තුවාල පිරිසුදු කිරීමටත් අමු කහ භාවිත කෙරේ. ආහාර රුචිය ඇති කිරීමට කහ ඉතා යෝග්‍ය ඖෂධයකි.
* අන්ත්‍රගත කෘමිනාශක ගුණයක් ඇති නිසාම කහ සියලු වයස්වල පසුවන්නන්ගේ පණුරෝග සමනයට ද වඩාත් යෝග්‍යය වේ.
* ශරීරයේ ඇතිවන ආසාත්මිකතා සඳහා අමු පොල් කොළ දුමට කහ කුඩු දමා දුම ඇල්ලීමෙන් ගුණ ලැබේ.
* රුධිරයේ සුදු සෛල වැඩි කිරීමේ ගුණයකින් යුතු කහ, ඇදුම රෝගීන්ට මී පැණි සමඟ මිශ්‍රකර ගැනීම ද යෝග්‍ය වේ.
* පුරස්ථි ග්‍රන්ථි ඉදිමුණ රෝගී තත්ත්වය සඳහා කහ භාවිතය ගුණදායකයි. මල්ගෝවා වෑංජනයට කහ වැඩිපුර දමා ගැනීමෙන්, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්ත්ව පාලනය කරගත හැකිය.
* ස්වභාවිකවම අක්මාවේ ඇතිවන විෂ තත්ත්ව ඉවත්කර රුධිරය පිරිසුදු කිරීමට ද කහ ගුණදායකය.
* ශරීරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩිවලට රුධිරය ගමන් කිරීම අඩුකිරීම නිසා පිළිකාවන් වර්ධනය වීම සීමා කිරීමටත්, තුවාල පටකවල නව පටක වැඩී තුවාල ඉක්මනින් සුව වීමටත් කහ උපකාරී වේ.
* ගංසුරිය කොළ, පොතු, අමුකහ එකට දමා තැම්බූ ජලය තුවාල සේදීම සඳහා භාවිත කිරීම ද ගුණය.
* ශරීරයේ කුෂ්ඨ, දද ඇති අවස්ථාවේදී අමු කහ කොටා ගැල්වීම හෝ තම්බා වතුරෙන් සේදීම ද යෝග්‍යය.
* දිලීර ආසාදන වළක්වා ගැනීමට හීන් නිදිකුම්බා සමඟ අමුකහ දමා තම්බා ඇත්තෝර කොළ ද අමුකහ සමඟ අඹරා තලපය ගැල්වීම සුදුසුය.
* සියඹලා කොළ, අමුකහ සමව ගෙන තම්බා හෝ කොටා ශරීරයේ ගැල්වීමෙන් ආසාත්මිකතා අවම කරගත හැකි බව ආයුර්වේදයේ පෙන්වා දේ.
* ශරීරයේ වේදනා සහිත තැන්වලට කහකුඩු, වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා ශරීරයේ වේදනා සහිත ඉදිමුණ ස්ථානයට පැලැස්තර යෙදිය හැකිය.
* රුව වැඩි කිරීමට භාවිත කරන ආයුර්වේද පැක් වර්ග, ස්ක්‍රබ් වර්ග, ක්ලෙන්සර් වර්ග අතර ද ප්‍රධානම අමුද්‍රව්‍ය ලෙසට භාවිත කරන කහ වඩාත් යෝග්‍ය වන්නේ ස්වභාවික කහ අමුවෙන් ගැනීම බව ද මතක තබා ගත යුතුය.