වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
ලොකු තාත්තා

එවකට මම පාසලේ දෙකේ පන්තියේ උගත්තෙමි. එක් දවසක් ගුරුතුමිය මගේ තාත්තා යන මාතෘකාව යටතේ චිත්‍රයක් ඇඳීමට පැවරූ අයුරු මට අදත් හොඳ හැටි මතකය. තාත්තා යනු කිනම් ආකාරයක රූපයක්දැයි අදහසක් නොතිබුණත් පාසල් ගේට්ටුව අසල උදේ පාන්දරට නිතර දකින තාත්තා ලෙස මගේ යහළුවන් හඳුන්වන රූපකායන් එකින් එක සිහියට නඟා ගනිමින් මගේ තාත්තා රූපයට නැඟීමට මහත් වෑයමක් දැරූවද එය ඉතා අසීරු කටයුත්තක්ම විය.
එවන් වූ රූපයක් ලෙස මගේ සිතේ ඇඳී තිබුණු එකම රුව වූයේ මසකට වරක් දෙවරක් අප නිෙවසට ගොඩවදින ලොකු තාත්තාගේ රුවයි. ළා නිල්පාට අල්ලි වැටුණු සරමට යට කරලා සුදු පාට අත්කොට කමිසය ඇඳලා පුංචි පොකට්ටුවක් පැත්තකින් තියෙන කළු පාට හම්පටිය ඉණට බැඳලා බොකුටු වූ කොණ්ඩෙට තෙල් ගාලා වම් පැත්තෙන් රොද තියලා පැත්තට පීරලා වුන්නු හීන්දෑරි රූපයක් චිත්‍ර පොතේ පිටුව පුරාවට මා අතින් එදවස ඇඳි සිතුවමට ගුරුතුමියගෙන් පිටුව පුරා හරියකුත් විශාල තරුවකුත් ලබා ගැනීමට මට එදා හැකි විය. ඉඩක් ලද ඇසිල්ලක තොරතෝංචියක් නොමැතිව පන්තියේදී දොඩමළු වන අප අතරින් අම්මා ගැනම පමණක් දොඩමළු වීමට උන්නේ මා පමණි. අනෙක් යහළුවන්ට අම්මා, තාත්තා පමණක් නොව ආච්චි, සීයා, පුංචි, මාමා, අක්කා, මල්ලි යනාදී මාතෘකා බොහොමයක් විය. මා නිරුත්තර වන තාත්තා යන මාතෘකාව යටතේ මගේ යහළුවන් නානාවිධ කතා පුවත් දිගහැරිය බව මතකයේ ඇත.
දිනිතිගේ තාත්තා විදේශගතව සිටි අතර වසර කිහිපයකට වරක් ලංකාවට පැමිණෙන්නෙකි. තාත්තා පැමිණි විටදී දිනිති පන්තියේ හැමදෙනාටම රට ටොෆි ගෙනැවිත් දුන්නාය. තාත්තා රැගෙන ආ විසිතුරු සෙල්ලම් බඩු පිළිබඳ අසා සිටියේ සුරංගනා කතාවක් පරිද්දෙනි. ඇයට ලැබුණු බෝනික්කාට ඇහිපිය ගැසීමටත් හැකි වූ අතර කටේ ඇති සූප්පුව ඉවත් කළ විට අඬන බව ඇය කීවාය. දිනිති නම් නිසැකවම අපායට ඇදගෙන යනු ඇත. ඇහිපිය ගසන්නට, අඬන්නට හැකි නම් ඒ පණ ඇති කුඩා බිලිඳකු මිස බෝනික්කෙකු විය හැක්කේ කෙසේද? අම්මා මට කියා දී ඇත්තේ බොරු කියන එක පවක් බවය. බොරු කියන අය පොළොව පළාගෙන අපායට ඇදගෙන වැටෙන අන්දම ගිය වසරේ පාසල් අධ්‍යාපන චාරිකාව අතරතුර වැවුරුකන්නල පන්සලේ තිබුණු අපාය නැරඹීමට ගිය මොහොතේ මම ද දුටුවෙමි. මගේ සෙල්ලම් ගෙදර උන්නේ තට්ට බෝනික්කෙකි. එය මට ලොකු තාත්තාගෙන් ලැබුණු උපන්දින තෑග්ගකි. අලුත උපන් බිලිඳකුගේම හැඩහුරුවෙන් යුත් ළා රෝස පැහැයෙන් යුත් ඇයට නම් ඇහිපිය ගැසීමටවත්, ඇඬීමටවත් නොහැකිය.
කුඩා කල මට ඇන්ද වූ රෝස පැහැති ජර්සියත්, දිග කලිසමත්, මේස් ජෝඩුවත්, තොප්පියත් අන්දවා නළල මැද්දේ කළු පාට පොට්ටුවකුත් තියා ඈව හැඩගන්වා තිබුණි. ලොකු තාත්තා අපේ ගෙදර ආදාට මා සෙල්ලම් ගෙදර උයා පිහා අස්කර නිමවනතුරු ලොකු තාත්තා ඇයව ඔක්කේ තියා නැළවීමට බාර ගනියි.
සිතුල්ගේ තාත්තා යුද හමුදාවේ සේවය කළ අතර මාස දෙක තුනකට වරක් නිවාඩුවට එන විට යාපනින් මිදි පෙට්ටියක්ම ගෙනෙන බව සිතුල් කීවේය. ඔහු කීප වතාවක් අපටද මිදි ගෙනැවිත් දුන් අතර ඒවා ලොකු තාත්තා ඉඳහිට ගෙන එන මිදි පොකුර තරම් රසවත් නොවූ ඇඹුල් මිදිය. ලොකු තාත්තා ගෙනා මිදි පොකුරෙන් දැනුණු ප්‍රණීත රසය අදටත් මගේ දිවඟට මිහිරක් කැන්දයි. නිකිතිගේ තාත්තා හැමදාම වැඩ ඇරී ගෙදර එන විට මුරුක්කු පැකට් එකක් ගෙනෙන බවත්, එය ගැනීම සඳහා නිකිතිත්, නංගිත් කඩුල්ල ළඟට තරගයකට දිව යන බවත් නංගී පවු නිසා තමා ඇතැම් දිනවල නංගීට දිනුම දෙන බවත් නිකිති කීවාය. ලොකු තාත්තා ගෙනෙන කඩචෝරු මල්ල ගැනීමට අපේ නිෙවසේ වෙනත් කිසිවකුත් නොසිටි බැවින් මට නම් එසේ තරග වැදීමට වුවමනාවක් නොවුණි. සරසිගේ තාත්තා නිෙවසට එන විට රෑ බෝවන අතර, සරසි නින්දට යාමටද සූදානම්ව සිටින බවත්, ඔහුට පෙර ඔහුගේ ගීතයේ හඬ දුර සිටම ඇසෙන විට අම්මා මුහුණ හකුළුවාගෙන මුණු මුණුගාමින් තමා සමඟ ඇඳට ගොඩ වී නින්ද ගියාක් මෙන් සිටින බවත් සරසි කීවාය.
අම්මාට කේන්ති යන්නේ තාත්තා තාලය වරද්දා ගීත ගයන නිසාවෙන් යැයි ඇය කීවාය. ලොකු තාත්තා ගීත ගායනා කරන මා කිසිදිෙනක අසා නොතිබුණද ඔහුට මිහිරි කටහඬක් ඇති බව මා දැන ගත්තේ වරක් ඔහු විසින් පාසලේ පද්‍ය ගායනා තරගයක් සඳහා මට කවියක් කියාදුන් විටදීය. ඒ හඬ සැබැවින්ම මිහිරි විය. විදූෂගේ තාත්තා ලස්සනට හැඩ දැමූ පෙට්ටියක දමා වළකට දමා වැසූ බවත්, එදා අම්මා තමාවත් තුරුලු කරගෙන හොඳටෝම ඇඬූ බවත් තමාට මතකයැයි විදූෂ කීවේය. අප නිෙවසේ ඉදිරිපිට පාරෙන් එපිට නිෙවසේ හුන් සිරිදාස සීයා ද එසේ පෙට්ටියකට දමා වසා කීපදෙනෙකු කර තියාගෙන කොහේදෝ රැගෙන ගිය මතකයක් මටද ඇත. පෙට්ටියක් ඇතුළට දමා වැසූ පසු සිරිදාස සීයා හුස්ම ගන්නේ කෙසේදැයි එදවස මට මහත් ගැටලුවක් විය. දවසක් පාසලේදී හැංගිමුත්තම් සෙල්ලම් කරන විට මා කොරිඩෝවේ තිබූ හිස්කබඩ් එකක් ඇතුළේ හැංගුණු සැටිත්, හුස්ම ගැනීමට අපහසු වූ බැවින් එසැණින්ම වාගේ ඉන් පිටතට ආ සැටිත් මට සිහි විය. සිරිදාස සීයාට ද එසේ හුස්ම ගැනීමට අපහසු විය හැකි නේදැයි අම්මාගෙන් ඇසූ කල 'සීයා මැරිලා. මැරුණම හුස්ම ගන්නෑ. ආයේ නැඟිටින්නෙත් නෑ. ඉතින් සොහොනට ගෙනිහින් වළ දානවා' යැයි ඇය කීවාය. එසේනම් විදූෂගේ තාත්තාත් නැවත නොඑන බව ස්ථිරය. මටත් තාත්තෙක් ඉඳලා එහෙම වළ දැම්මද දන්නෑ! හිතට ආ හිතුවිල්ල අම්මාගෙන් ඇසීමට
තරම් ශක්තියක් නොමැති වූයෙන් එය හිත තුළම මරා දැමීමට සිදු විය. තාත්තා ගැන අනේක විධ කතා අසද්දී වරෙක තාත්තෙක් සිටියා නම් හොඳයි යනුවෙන්ද, වරෙක තාත්තෙක් නැතිවීම හොඳයි යනුවෙන්ද මගේ පුංචි සිතේ සිතුවිලි එදා දෝලනය විය. තාත්තෙක් නැතිවීම හොඳ යැයි සිතුණේ දඟ වැඩ කරන විට කෝටු පාර වැදුණේ තාත්තාගෙන් යැයි මගේ යහළුවන් පැවසූ බැවිනි. මගේ අම්මා කිසි දිනෙක මට නියපිටින් පහරක් ගසා නැත.
අපේ ගෙදර උන්නේ මාත් අම්මාත් පමණි. අහළ පහළ ගෙවල්වල නැන්දලා, මාමලා, අක්කලා, මල්ලිලා කොතෙක් උන්නද මා දන්නා පරිදි අපට සිටි එකම නෑදෑයා වූයේ ලොකු තාත්තයි. මා ශිෂ්‍යත්ව පන්තියේ උගන්නා අවදියේ නෑදෑකම් ගොඩනැගෙන අන්දම කියා දුන් අතර ලොකු තාත්තා තාත්තාගේ අයියා හෝ අම්මාගේ අක්කාගේ සැමියා බව මම උගත්තෙමි. අපේ අම්මාට අක්කෙකු සිටියේ නැත. එසේ නම් ඔහු තාත්තාගේ අයියා විය යුතුය. අම්මාගෙන් අසා මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මට කිසිදිෙනක සිත් දුන්නේ නැත. ගෙදරකට තාත්තෙක් සිටිය යුතුම යැයි මට කවරදාවත් නොසිතුණේ පන්තියේ යහළුවන්ට මෙන්ම මටද උවමනාකම් සියල්ල නොඅඩුව සපිරුණු බැවිනි. මාසයේ අන්තිම සතියේ නොවරදවාම අප නිෙවසට ලොකු තාත්තා පැමිණෙන්නේ ස්කූටි බයිසිකලයකිනි. බයිසිකලේ මිදුලේ නවතා ඉන් බසින ලොකු තාත්තා, නළාව හඬවන්නේ මා කැඳවීමටය. බයිසිකල් හැඬලයේ එල්ලා ඇති වේවැල් බෑගය මා අතට දෙන ඔහු පිටුපස ලැගේජය ගැට ගසාගෙන ආ කාඩ්බෝඩ් පෙට්ටිය සීරුවට ලිහා නිෙවස තුළට ගෙන එයි. උයන පිහන දෑ ඇතුළු නිෙවසට අවැසි කළමනා එතුළ ඇත. වේවැල් බෑගය මා වෙනුවෙනි. සුදු පාට අයිසින් සීනි දැවටූ අඩසඳ හැඩැති රෝසපාට නාරං ලොසින්ජර, සූදුරු ඇටයක් මැදිකර සකසා ඇති රතු, කහ, සුදු, තැඹිලි පාට මීබෙටි සීනිබෝල, ඇඟිලි තරම් දිග දුඹුරු පාට ඉඟුරු විස්කෝතු කූරු, පාට පාට අයිසිං මල් තවරපු මල් පැරල් විස්කෝතු සමඟ නානාවිධ කඩචෝරු වර්ග සමඟම ගියවර පැමිණි පසු මගෙන්ම අසා දැනගත් අඩුපාඩුව පැවති පාසල් උපකරණ ද එතුළ විය. තේ කෝප්පයක් තොල ගාන ලොකු තාත්තා අම්මා දවල් බත සකසන තෙක්ම මා සමඟ කාලය ගත කරයි. පාසලේ පොත්පත් බලමින් “මයෙ දූ” හොඳට ඉගෙන ගන්න ඕනි යැයි හිස අතගා කියයි. එදාට අම්මාගේ දවල් බතට කළුවට පිසින ලද ගං කුකුළු මස් කරියත්, අල කිරිහොද්දත්, බටු බැදුමත් වරදින්නේ නැත. අම්මාත්, ලොකු තාත්තා සමඟ කෑම මේසයට හිඳගන්නා අතර මා කෑම ගන්නේ මගේ කුඩා ලී පුටුවේ හිඳගෙනය.
'ශ්‍රියා ඉතින් හැමදාම මං ආසම මාළු ටික හදනවනේ' ලොකු තාත්තා අම්මා දෙස බලා සිනාසෙනු මට පෙනේ.
'මාත් ආසම මේවට තමා' කියන්නට මගේ කට විවර වූ නමුත් වැඩිහිටියන්ගේ කතා මැද්දට පැන කතා කිරීම ළමයින් නොකළ යුතු වරදක් බව අම්මා දවසක් කියා දුන් බව එසැණින් මට සිහිපත් විය.
තවත් කොටසක් ලබන සතියට