වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
හිමිදිරිය

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.
අද හිමිදිරියට කවි තෝරන ඔහු ජයන්ත කහටපිටිය
දීර්ඝ කාලයක් පුරාවට පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙසින් මෙන්ම සාහිත්‍ය හා සිනමා විචාරකයකු වශයෙන් ද කටයුතු කරන හෙතෙම දක්ෂ කවියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය”යි.
දෙවැන්න ‘ශේෂ වන සේ සිනහව මකා දැමිය හැකිද රේඛාව”. ඊට අමතරව යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද රචනා කර ඇති ජයන්ත මහතාගේ නවතම යොවුන් නවකතාව
“සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්” කෘතියයි.
----------------
හොඳම කවිය
දුක් මුක්ත කලාපය
හිතවත
ඔබට තිබුණේ
ඒ ඒ තැන්වලම
තියෙන්නට දෙන්නයි
හඳට
මුහුදට
මලට - මට....
ඔබ ඇවිත් පටලවන්නට පෙර
පාඩුවේ උන්නා මිසක්
කොහොමත් තිබුණෙ නැහැ
නැතිව බැරිකමක්
අපි - අපට...
හවසට ලොවි පාටට
ඉර ගිහින් නිවෙන හැටි
ඈත මුහුදට....
කලින්දා වැහි බිංදුවක්
නොවැටී ඉන්න හැටි
රෝස පෙත්තක
ප්‍රේමයක් යට....
තට්ට තනිකම
තනියම දරාගෙන
කනස්සල්ලක වෙහෙසට
හඳ ඇවිත් ඇලවෙන හැටි අහසට
පායනවා කියන
මායාව වෙනුවට....
ඔබයි මුණගැස්සුවේ මට....!
දවසක හදිස්සියේම ඔබට
"ඇති" කියලා හිතෙනකොට
හඳ , මුහුදු , මල් දිගේ
මං ඇවිත් තිබුණා
අතහැරෙන බව
අමතක වෙන තරම් දුරකට....
හිතවත,
ඇවිත් එකම එක වරකට,
ඇරලවා යන්න මා,
යමෙක් බොරු නොකළත්
නොරැවටී සිටිය හැකි
තැනකට....
රසිකා ප්‍රනාන්දු
විෙටක ප්‍රේමය ජීවිතයට කඩාවදින්නේ අකල් වැස්සක් ලෙසම නොවේ. දින ගණන් අහස විළිරුදා දරා, මෝසම් සුළං ඇවිළී, විදුලි අකුණු මවාගෙන එන වැස්ස මෙනි.
ප්‍රේමය නම් මනස්සෘෂ්ටිය හිතේ පැලපදියම් වෙන්නේත් සොබාදහමේ දකින දෛනික සිදුවීම්වලට පවා නව ප්‍රේමණීය අරුත් දෙමින්ය. කවියද ප්‍රේමය මෙන්ම සෞන්දර්ය වස්තුවකි. කවි සිතක් ඇත්තෙකුට ප්‍රේමය මහත් කොට හැඟේ; දැනේ. පෙම්වතා මේ පෙම්වතියව කාව්‍යමය සෞන්දර්යාත්මක මාවතක බොහෝ දුරක් රැගෙන යයි. ඇය ප්‍රේමයෙන් ඇලළී සිටින සමයක ප්රතික්ෂේපය එන්නේත් ඔහුගෙනි. එහි රිදවුමත් ඇයටය.
එය "ෆේක් ප්‍රේමයක්" බව ඇය හඟවන්නේ "හදිසියේ ඔබට ඇති කියලා හිතෙන කොට"
යන අපූරු යෙදුම මඟිනි.
"ඇරලවා යන්න මා,
යමෙක් බොරු නොකළත්
නොරැවටී සිටිය හැකි තැනකට...." යන කවියේ අවසාන කොටස තවදුරටත් සංස්කරණය කිරීමක් ඉල්ලා සිටින බව මට සිතේ. රසිකා ප්‍රනාන්දු නිර්මාණකරණයෙහිදී සැලකියුතු සුවිශේෂතාවයක්, විභවයක් හා ධාරිතාවක් පෙන්නන කිවිඳියක් බව පෙනේ. ඇයට සුබ පතමි.
---------------
ප්‍රේමයෙන් නික්ම යමි
දොර කවුළු හැරිය බව
ඔබ දැනුම් දුන් පසුව
කළ යුතුව තිබේ මම
ඉක්මනින් නික්මීම
දම්පාට හවස්වල
ඇස්වලින් හිනැහීම
තේ එකක් බොන ගමන්
හීතලට ගුළිවීම
අරන් යමි ඒ මතක
ඕනෙ වෙන්නෑ නේද?
අඳුරු වැස්සට පස්සෙ
ඉර එළිය දිලිසීම
දුඹුරු පැහැ තණ පියලි
කොළ පැහෙන් සැරසීම
අහම්බෙන් වෙනවාද
වාදයක පැටලීම
ආයේ එන්නැති දවස්
ලෝබ හිතුණේම නෑද?
ගෑනු ආසයි ගණන් උස්සන්න
ඉල්ලුමක් නැති තැනදි
ඒ ගණන් බස්සන්න
අන්න ඒ අවසාන
බැරියරේ බිඳුණාම
ඉතින් මා කළ යුත්තේ
ඉක්මනින් නික්මීම
නුවන් හේමන්ත
-----------------
නටුව
බොහෝ සුසුම් අවසන
කඳු දෙබෑ කරගෙන ඇසෙන
ආදරය වස්සවා මිහි මත
නුඹ රත්තරනේ යැයි කියන හඬ
මට නොමැති මුත්
කොහේ හරි මලක හයියට
නුඹ හිටියොතින් ඇති
පිපෙනකොට නටුවට
ලෝකය ප්‍රේමයෙන්
ලස්සන වෙන්නෙ එතකොට
එච්.එම්. කුසුම් ස්වර්ණමාලි
-----------------
ජීවිතය
අමාරුම සරත් ඍතුවකට පසුව
ඉතිරිවුණ පත් ටිකත්
ගිම්හානයක අතහැරෙන
සිසිර ඉපිලට සැඟව,
නොමළ ගුණයට හිනැහෙන
වසන්තය වුව මනහර වන
සුළඟ පෙති ගෙනියන කොට
කාලයට මල් පල දරන
විහඟ බිඟු සිත් පිනවන
චෙරි ගසක් මෙනි ජීවිතය
ප්‍රමෝදා බුද්ධිනී බාලසූරිය
----------------
උපුටා ගැනුම
මුහුද ඔබට ලියයි
මේ කුඩා සහ විශාල සෙලවීම්
ඔබගේය මෙහි පිරී ඇති
නොගිණිය හැකි ජල ධාරාව මත අධික ලවණ මුසු තිත්ත පැතිරුණේ ඔබේ රහසිගත වැලපීමෙනි.
ගැඹුරේ ඇති
සීතද අඳුරද
ආගාධයන්ද
කඳු වැටිද
භූ තැටිද
නිර්මාණය කළේ ඔබමය
ඒවා ඔබේ සුවිශාල බවෙහි මෙන්ම මෘදු මෝඩකම්වල සංකේතාත්මක පිළිබිඹුවයි
එවිට,මුහුද යනු මම නොවේ
මුහුද යනු ඔබයි
අවසාන වශයෙන් මුහුද
ඔබෙන් මෙසේ විමසයි.
ඔබේ උණුසුම් ජලජ හදවත
සඟවා ඇත්තේ
කුමන දූපතක කුමන බෙලි කටුවේද?
දිනූ රාජගුරු
(අඬගසයි මට රාත්‍රිය කාව්‍ය සංග්‍රහයෙන්)
-------------------
කෝ ඉතින් පිළිතුරක්
දොර කවුළුවෙන් බලා තදින්
හුස්මක් ඇද්ද
ඒත් නොකියා හිතේ දුකම තවරා ගත්ත
මට අහන්නම ඕෙන එක
දෙයක් වත් නැද්ද
ඉතින් ඒ ඔහුගෙ නම සිංහබා වෙන්ටැද්ද..?
ලියපු ලියමන කඩදාසි,
අල්මාරියේ යටට
සුසුම් එක්කම පෙමත් මට නොදී
විසි කෙරුව
ගම්පෙරළියේ නන්ද, ඔබට ඈ මතකයිද
එතකොට ඒ ඔබේ..
ප්‍රථම ප්‍රේමය නොවෙද?
ඉතින් ඒ ජිනදාස බයිසිකලයක් පැද්ද
නන්දාව කරකාර බැඳ ආවෙ ගම් රටට
ඉතින් ඒ මඟුල් දා උඹට රිදුණද නැද්ද
ඉතින් දැන්වත් ඇත්ත කීවොතින් නරකයිද?
අකුරු ටික ඉගෙන ගත්
මනමේ කුමරුන් එක්ක
ගී ගයා නටන කොට
කොතෙක් දුක හිතුණාද
මනමෙ කුමරිය ප්‍රථම ප්‍රේමයේ අනුහසට
ඉතින් ඒ කඩුව ගෙන වැද්දාට දුන්නාද ?
කුමරියගෙ හිත ඉතින්
කිසිවෙකුත් දන්නවද
ඉතින් ගී ගැයුවාට
ප්‍රේමයම ඒකමද?
කෝ ඉතින් පිළිතුරක්
ඉක්මනින් දෙනවාද ?
අමායා මැණික්