ඔයා මගෙ ඇස්වල දැක්කෙ නුරාව විතර ද?

ජූලි 28, 2025

අනවරතව යෙදී සිටි ගමනක් අතරමඟ නතර කර ඉසිඹුලන සෙයක් නිගූට දැනෙයි. එය බොහෝ දෙනා යුහුසුළුව යමින් සිටින මාර්ගයකින් මඳක් ඉවත් වී නතරව සිටීමක් වැනිය. හිස පුපුරු ගසන කැක්කුමක් ඇතත් මේ වේදනාව ඔහුට එක්තරා සනීපයකි. අලස සුවයකි. කිසිවක් නොසිතා ඉන්නට පොලඹවන අස්වැසිල්ලකි. ඔළුව උස්සා ගැනීමට කොතරම් අපහසු වුවද නිගූ කිහිපවිටක්ම නාන කාමරයට ගොස් වමනය කරයි. වතුර මල යට වාඩි වී බොහෝ වේලා ඇස් පියා සිටියි. ඔහුට වේදනාත්මක සනීපයක් දැනෙයි. ආපසු තුවාය පිටින්ම ඇඳට වැටෙයි. මොනවා හෝ උණුසුම් දෙයක් බීමට ඇත්නම් හොඳ යැයි සිතෙයි. කේතලය සොයාගෙන වතුර පුරවා උණු කර ගතයුතු යැයි සිතුණද නැගිට යාමට කම්මැළියි. පොඩි බඩගින්නක් ද දැනෙයි.

 

මෙවැනි දවස්වල ගෙදරදී අම්මා සාදාදෙන තැම්බුම් හොද්දෙන් හෝ කරවල දමා සාදන වැටකොළු හොදිත්, සම්බෝලත් සමඟ දෙන උණු බත් චුට්ටෙන් අමුතු පණක් ලැබෙන හැටි මතක් වෙයි. අම්මා දෙන කෑම වේලෙන් බඩත් හිතත් පිරෙනවා පමණක් නොව සියලු ලෙඩ රෝග ද නැති වී යන බව නිගූ දනියි. අම්මා සොයා පියාඹා යන්නට තරම් වුවමනාවක් ඔහුට ඇති වෙයි. කිසිවක් කල්පනා නොකර සිටිය යුතු යැයි සිතෙයි. කෙහෙරැලි තවම තෙතයි. හිස බරයි. නින්ද එයි.

 

අසෙනි ගෙදර සිටම කැබ් එකක් දා ගනියි. ඈ අද ඇන්දේ කැමැතිම සැහැල්ලුම ගවුමයි. එය වළලුකර තෙක් දිගු රැලි සහිත ගවුමකි. දිගට දැමූ බෝරිච්චි අත්වල සැහැල්ලුවත් සමඟ කාගේ වුවද ඇස් ඇගේ ළැම හසුන් තුරුලෙහි රැඳෙයි. එය ඇගේ උපන් දිනය දා නිගූගෙන්ම ලැබුණකි.

 

" මං ඔයාගේ ඇඟේ හැඩයත්, තරමත්, ඔයාගේ ඩ්‍රෙස් සෙන්ස් එකත් හරියටම ගෙස් කරන්න දන්නව නම් ඔයාට මේක සෙට් වෙන්නෝන."

 

උපන් දිනය දා ඇය වෙත වැස්සූ උමතු හාදු වරුසාවෙන් අනතුරුව ඈ මවිත කරමින් නිගූ මේ ගවුම ඇය වෙත දිගු කරයි. ඔවුන් ඒ මොහොතෙහි සිටියේ සිනමන් නුගගම පරිශ්‍රය තුළයි. ගවුම දමා තිබූ අමුතු අසුරණයේ එල්ලා ඇති අමු දුඹුරු කඩදාසියේ ලියූ කවිය ඈ කියවයි.

 

"නුරා පිරි නුවන් බඳුනින්
පුරා ස්නේහ දිය බිඳුවක්
ලබා ගත නොහී දුකකින්
සමු නොදී බලා හිඳිනෙම්"

 

ඈ මඳ වේලාවක් ඒ දෙස බලා හිඳ නිගූගේ දෑස් වෙත එබෙයි. ඇගේ දෑස් දිලිසෙයි. "ඇයි මගෙ ඇස්වල ඔයා දැක්කෙ නුරාව විතර ද? ඔයා දකින්න ආසා විදිහට තමා පේනවා ඇත්තෙ" ඈ ඇස් හීන් කරමින් සිනාසෙයි.

 

ඈ අතරමඟ කැබ් රථය නතර කරවාගෙන තැඹිලි ගෙඩියක් කප්පවා බෝතලයකට දම්මවා ගනියි. අනතුරුව ඈ කෙළින්ම නතර වන්නේ නිගූගේ එපාර්ට්මන්ටයේ දොරකඩයි. අංක දහසය දරන නි‍ෙවස. පළමු දවසේ අසෙනිට මෙම නි‍ෙවසේ උළුවස්ස උඩ ගසා තිබෙන රන් පැහැ දහසය ඉලක්කම දකින විට, සිංහල පන්තියේදී ඉගෙන ගත් සොළොස් හැවිරිදි විය සිහිවෙයි. සොළොස් හැවිරිදි වියේදී තම අනුරාගී සිතුම් සේනා අබියස වල්මත් වූ කුණ්ඩලකේසී, පටාචාරා, චුල්ලසෙට්ඨි ජාතකයෙහි මහ ධන සිටුවරයාගේ දූ පමණක් නොව සුප්පාදේවිය ද සිහිපත් වෙයි. උසස් පෙළ සිංහල පන්තියට ගිය මුල්ම දවසේ බොහෝ පරිණත පෙනුමෙන් යුත් පැරණිම ගුරුවරයකු වූ සමරජීව සර් ඒ ගැන කියූ අයුරු ද කන්පෙති අස ඇසෙයි. දහසය ඉලක්කම ඇගේ මතකයේ රැඳෙන්නේ එහෙමයි. ඈ කිහිපවරක් දොරකඩ බිත්තියේ ඇති ස්විචය ඔබා බෙල් එක නාද කරන නමුත් ප්‍රතිචාර නොලැබෙයි. නිගූ ඇතුළත නැද්දැයි ඇයට සිතෙයි. තමා වැරදි නිෙවසකට පැමිණ ඇද්දැයි බියක් උපදියි. එහෙත් අංක දහසය අමතක නොවෙයි. ඈ දිගින් දිගටම ස්විචය ඔබයි. නිගූට ඇමතුම් කිහිපයක් ද ගනියි. එහෙත් ප්‍රතිචාර නොලැබෙයි.

නිගූ සිහිනයක සැරිසරයි. ඉස්සර මහගෙදර මිදුල ඔහුට පෙනෙයි. තාත්තා මොනවා හෝ දෙයක් කරමින් වත්තේ සැරිසරනු පෙනෙයි. උඩට මොකුත් නොඇඳි ඔහුගේ පපු පෙදෙස දහඩියට දිලිසෙයි. නිගූට තාත්තාගේ දහඩිය සුවඳ මතක් වෙයි. මල් ගස්, ක්‍රෝටන් ගස්, ලේන්තැරි ගස් අතර දඬුමුවා යහනක මල්වැල් අතර සුදු පැහැ අමු රෙදිකඩක එතූ යුවතියක් වැතිර සිටියි. ඈ තමාගේ කවුරුන්දැයි නිගූ නොදනියි. ඈ මගේම නොවන, එහෙත් මගේම යැයි හැඟෙන නංගියෙකැයි ඔහුට සිහිනය තුළ සිතෙයි. ඈ කුමක් හෝ වේදනාවකින් පෙළෙමින් මරණාසන්නව සිටියි.

නිගූට දරාගත නොහැකි තරම් දුකක් ඈ ගැන සිතෙන අතර, මහා හයියෙන් කෑගසා හඬන්නට වුවමනා වෙයි. එහෙත් හඬ පිට නොවෙයි. ඉකිය හිර වෙයි. ඒ අතර අම්මා කුස්සියේ පොල් ගාන හඬ ඇසෙයි. මේ විකාර සිහිනයේ අවසන සැබෑ ලොව ඔහුට ඇසෙමින් තිබෙන්නේ නි‍ෙවසක බෙල් එක නාද වන හඬයි. තමා ඉන්නේ කොහේද යන්න සිහිඑළවා ගැනීමට නිගූට තත්ත්පර කිහිපයක් ගත වෙයි. පැමිණ ඇත්තේ කවුද යන්න ගැන අතීරණයක් ද ඇති වෙයි. ඉවසිල්ලක් නැතිව දිගින් දිගටම බෙල් එක වදින විට තරහක් ද එයි. එහෙත් ඔහු ඇඳෙන් බැස තුවාය ද ඉණ වට දවටා ගනිමින් දොර වෙත යයි.

 

දොර අරින්නට පෙර දොරෙහි සවිකර ඇති කුරුබිලි සිදුරෙන් පිටත රැඳී ඉන්නේ කවුරුදැයි විපරම් කරයි. අවතල කුරුබිලි සිදුරින් ගැහැනු රුවක් පෙනෙයි. ඒ අසෙනි බව ඔහු නිසැකව හඳුනා ගනියි. මෙතෙක් පදවාගෙන ආ යාත්‍රා අපාර සයුර මැද බිඳී සුන්බුන්ව, අනාථව සිටියදී තමා බේරාගන්නට පැමිණි ගැලවුම්කාරියක ලෙස නිගූට අසෙනිව දැනෙයි. ඔහු වහා දොර හැර අසෙනිව නි‍ෙවස තුළට ඇදගනිමින් තදින් වැලඳ ගනියි.

 

" ඔයා මගෙ බුදුවරිය"

 

නිගූ, ඇගේ කන් පෙතිවල සුසුම් තවරමින් කොඳුරයි. ඒ කෙඳිරුම අසෙනිගේ සිතත්, කයත් පුරා විදුලි සැරයක් සේ පැතිර යයි. ඇගේත්, ඔහුගේත් දෑස් බඳුන්වලින් කඳුළු උතුරා යන අද්දරට පිරෙයි. එකිනෙකා වෙත වත්තම්ව කාමරයට ඇදෙති. ඈ ඇඳ මත හිඳුවා ඇගේ ළය මඩළෙහි සුසුම් තවරනු රිසිව ඇගේ ගෙලත්, ළැමත් අතර මුහුණ හොවයි. අසෙනි නිගූගේ තෙත් කැරලි කෙහෙ රැලි අතර තම දිගු ඇඟිලි යවමින් භක්තිය ද, විස්මය ද, කුතුහලය ද මුසු සිතුම් දැහැනක නිමග්න වෙයි. ඊළඟ නිමේෂයේදී ප්‍රේමය ද, ස්නේහය ද, අනුරතිය දැයි නිශ්චිතව කිව නොහැකි අනිර්වචනීය හැඟුම් සරණියක කිමිදෙමින් ඔවුහු ස්වර්ගීය සයනයක පාවෙති.

 

තවත් කොටසකින් හමුවෙමු