වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
කියන්ඩ තරම් වරදකුත් නෑ එහෙනම්

2016 අගෝස්තු 03 අඟහරුවාදා
තිස්සට කට ගෙවෙනකම් කෑගහලා යාන්තම් ඊයේ හවස තමයි ලෝන් එකට ඕනෙ ලියවිලි ටික ගෙන්නව ගත්තෙ. ලොක්කට කන් කෙඳිරිගාලා හාෆ්ඩේ එකකුත් ඉල්ලගත්තා. මං යද්දි මැනේජර් සීට් එකේ ඉන්නවා දැක්කම මට පුදුම සතුටුයි. වෙන දේකට නෙමෙයි, මැනේජර් ළඟින් වැඩ ටික කර ගත්තම ණය බඩ්ඩගේ විච්චූර්ණ බලන්ඩ යන්ඩ ඕන්නෑනෙ. "ඉල්ලපු ඩොකියුමන්ට්ස් නම් හරි. මිස් ශ්‍යාමා ණය අංශෙට මේ ටික භාර දෙන්ඩ. එතැනදි හරියටම චෙක් කරලා තව අඩුපාඩු තියෙනව නම් කියයි. එතකොට මිස්ට ආයෙ එන්ඩ වෙන්නෙ ණය ගන්න දවසට විතරයි." මැනේජර්ට භාර දීලා යන්ඩ පුළුවන් වෙයි කියලා හිතුවට අන්තිමට ණය අංශෙ බඩ්ඩගෙ උජාරුව බලන්ඩම වුණානෙ. කරුමෙ තමයි ඉතින්.
" මේ එස්ටිමේට් එක හරිද මිස්?" මැනේජරුත් චෙක් කළාට පස්සෙ එස්ටිමේට් එක හරිද කියල ණය බඩ්ඩ ඇහුවෙ එයා මැනේජර්ටත් වඩා ලොක්කෙක් කියලා හිතාගෙනද දන්නෑ.
" ඔව් ඇයි ? "
"මිස් කලින් අපෙන් ලෝන් අරන් හදපු ගෙදර ඉතුරු වැඩවලට නේද ලෝන් එක ගන්නෙ? "
"ඔව් ඇයි ? " මාත් එක ප්‍රශ්නයක්වත් ලේසියෙන් අතෑරියෙ නෑ. කැත්තට පොල්ල වගේ ඉන්නැතුව බෑ මෙහෙම තැන්වලට ආහම.
"ඒත් මිස් මේ එස්ටිමේට් එකේ තියෙන්නෙ අලුත් ගෙයක් හදනවා කියලනෙ. සයිට් ක්ලියර් කරන්න, ෆවුන්ඩේෂන් දාන්න, ග්‍රවුන්ඩ් ෆ්ලෝ බිත්තිවලට එහෙමනෙ මේකෙ වියදම් දාලා තියෙන්නේ. ඒවට නෙමෙයි නේද ලෝන් එක ඉල්ලුවෙ ? "
" නෑ.. නෑ… ඒවට ආයි මොකටද ලෝන් ? අපි යට තට්ටුව හදලා ඒකෙ පදිංචිත් වෙලානෙ ඉන්නෙ. උඩ තට්ටුව හදන්ඩ තමයි ලෝන් එක ඉල්ලන්නෙ. ඇයි දැන් ලෝන් එක දෙන්ඩ බැරිද ? "
"නෑ.. නෑ.. මිස් කලබල වෙන්ඩ එපා. මේ එස්ටිමේට් එක වැරදියි. මිස් කරන්ඩ බලාපොරොත්තු වෙන වැඩවලට අදාළව තමයි එස්ටිමේට් එක දෙන්ඩ ඕනෑ. මිස් මේක කියවලා බැලුවෙ නැද්ද ? "
මට තිස්තුන් කෝටියක් යක්කු ටික ආවේශ වුණේ ණය බඩ්ඩ එක්ක නෙමේ. අපේ ගොන් වාහෙ තිස්සත් එක්ක. මේ මිනිහ වැඩක් කළොත් ඔහොම්මයි. ණය අංශෙ බඩ්ඩ හිතුවද දන්නෑ එස්ටිමේට් එක ඉංග්‍රීසීයෙන් තියෙන හින්ද මට කියවන්ඩ බෑ කියලවත්.
"ආනේ… මං හිතන්නෙ අපේ වෙන ගෙයක් හදන එහෙක එස්ටිමේට් එකක් පැටලිලා ගෙනත් වෙන්ඩැති. හරි එක ගෙදර ඇති. මම හෙට ගෙනැත් දෙන්නම්. හෙට ආයි එන එක තමයි වැඩේ." වෙන ගෙවල් තියා ඉන්න ගෙදරවත් හදලා ඉවර නැතුවට හැඳිමිට කරකෝල ජාමේ බේර ගත්තෙ එහෙමයි ඉතින් මං.
“ නෑ මිස්ම එන්ඩ ඕන් නෑ. මේ ඩොකියුමන්ට්ස් අද භාරදීලා යන්ඩ. පස්සේ පෝස්ට් එකේ හරි වෙන කෙනෙක් අතේ හරි එස්ටිමේට් එක එවන්ඩ."
මහ රැජිනගෙ දෝණියැන්ද වගේ උජාරුවට සාරි අඳිනෙක නෙමෙයි නම් ණය බඩ්ඩගෙ වෙන කියන්ඩ තරම් වරදකුත් නෑ.