දෙවැනි හරස් වීදියේ කුස්සි බඩු

ජූලි 28, 2025

වෛවර්ණ විසිතුරු ඇඳුම් ආයිත්තම්, පාවහන්, අත් බෑග්, ආභරණ එකතුවන විලාසිතා ලෝකය දවසින් දවස අලුත් වේ. ඒ නිසාමදෝ අපේ කාන්තාවන් සාප්පු සවාරියේ යෙදෙන්නට දක්වන රුචිකත්වයත් දිනෙන් දින ඉහළ යයි.


මේ සමඟින් ඔබ වෙ‍ෙළඳපොළ වෙත පිය නැඟිය යුත්තේ අත රැඳි මුදල නිකරුණේ වැය කරන්නේ නැතැයි යන අදිටනිණි. අඩු මුදලකට උසස් ප්‍රමිතියකින් යුත් නව විලාසිතා සහිත ඇඳුම් පැලඳුම් වගේම මුළුතැන්ගේ උපකරණ, විදුලි උපකරණ වගේ සියලුම දේ ඇති පුරවරයක් හඳුන්වා දෙන්නයි මේ සූදානම.

තරුණී කොටුව විශේෂාංගයෙන් අප ඔබට සැමවිටම කියාදෙන්නේ දහසකුත් වැඩ රාජකාරි අතරතුර කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ඉතා සකසුරුවමට කළමනාකරණය කරමින් වෙ‍ෙළඳ සවාරියක් යෙදෙන්නටයි. නිවැරදි මං සලකුණු කියාදුන් නිසාම මෙය බොහෝ ගෘහිණියන්ගේ වැඩි අවධානයට පාත්‍රවීම සැබැවින්ම සතුටුය.

ඔන්න ඉතින් අද අපි ඔබව පිටකොටුවේ දෙවැනි හරස් වීදියට අරන් යනවා. මේ කොළොම්පුරේ ඔබේ ගෙදර දොරේ අවශ්‍යතා අනුව ලාභයට, පහසුවට මෙන්ම විශ්වාසවන්තවත් බඩු ගත හැකි පුරවරයක් තමයි මේ.

පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ තෑගි භාණ්ඩ, විසිතුරු නිර්මාණ, ප්ලාස්ටික් වීදුරු භාණ්ඩ මෙන්ම රෙදිපිළි අලෙවිසල්, ජංගම දුරකතන අලෙවිපුරයක්ද ඇතුළත්. ඒ අනුව අපේ මේ උත්සාහය අද දවසේ එහි වැඩිම ඉල්ලුමකට ලක්වන්නේ මොනවාදැයි සොයා බැලීමටයි.

වීදුරු, ඇලුමිනියම්, ප්ලාස්ටික් ආදී විවිධ අමුද්‍රව්‍යවලින් සැකසූ භාජන අතරට එක් වූ සුප් භාජන කට්ටල නිමවා ඇත්තේ පිඟන් මැටිවලිනි. ගැමි පෙනුමට, දේශීයත්වයට ඇලුම් කරන කාන්තා ඔබ වෙනුවෙන් නිෂ්පාදිත මේවා කෑලි 21කින් සමන්විත වෙයි. ඒ තරමක් විශාල මැටි හට්ටියක් වැනි සුප් භාජනයක්, සුප් පානය කිරීමට භාවිත කරන පීරිසි සහ කෝප්ප හයක්, හැඳි හයක් වශයෙනි.

පීරිසි, කෝප්ප, හැඳි ආදී මේ සියලුම කොටස් පිඟන් මැටියෙන් නිර්මාණය කර තිබුණද එහි රඳවනය නිපදවා ඇත්තේ ස්ටේන්ලස් ස්ටීල්වලිනි. විවිධ හැඩතල සහිතව අලංකාර වර්ණයෙන් තෝරා ගත හැකි මේ භාජන කට්ටලයකට ඔබ ගෙවිය යුත්තේ රුපියල් 1800ක් වැනි මිලකි.

තමාගේ ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්මිරිස් ආදිය එකතුකර ගැනීමට කෑම මේසයේ පසෙකින් තබන ලුණු බහාලනය වර්තමානයේ බොහෝ විට දකින්නට ලැබේ. ඔබ දකින මේ බඳුන් කට්ටලද එවැන්නකි.

ස්ටේන්්ලස් ස්ටීල් රාමුව සහිත වීදුරු බඳුන් තුනක් එක් කට්ටලයකට ඇතුළත් වන අතර මෙය ලොකු, කුඩා, උස්, මිටි වශයෙන් විවිධ ප්‍රමාණ සහිතය. රුපියල් 600 සිට ඉහළට මෙහි මිල ගණන් දැකිය හැකිවෙයි.

මෙයට අමතරව රීචාර්ජබල් විදුලි පහන් ද මේ වීදියේ අලෙවි කෙරේ. රාත්‍රී කාලයේ හිටි හැටියේම විදුලිය අක්‍රිය වීම බොහෝ දෙනකුගේ සිත තුළ හටගන්නේ අප්‍රසන්නකාරී සිතුවිල්ලකි. එවැනි මොහොතක ඔබේ පිහිටට එන අපූරු හිත මිතුරෙකි මේ rechargeble විදුලි පහන.

ඔබට මෙවැනි වටිනාකමක් ඇති බඩු භාණ්ඩ රැසක්ම මේ වීදියේ සංචාරයෙන් ගත හැකිය. පිටකොටුවේ දෙවැනි හරස් වීදිය බොහෝ විට එක් භාණ්ඩ වර්ගයක් අලෙවියට වෙන් වූ වීදියක් නොවන බව දැන් ඔබට වැටහෙනවා නේද?

එසේ නම් හැමදාම අලුත් වන මුළුතැන්ගෙය හැඩවන මේ බඩු භාණ්ඩ ගන්න ඔබත් පියනගන්න දෙවැනි හරස් වීදියට.