තමන්ගේකම

කෙටිකතාව
ජූලි 21, 2025

ස්වර්ණා ළා නිල්පාට තට්ටු ගවුමක් ඇඳලා, දිග රත්තරන් මාලයක් දාලා, අලුත් කරාබු දාලා හිටිය කුමාරිව බදාගෙන කම්මුල් දෙපැත්තට හාදු දුන්නා. ගෙට වෙලා සතියට කෙල්ල පාට වෙලා. මූණ කට පිරිලා.

 

රතු පාට පෙට්ටියෙන් රත්තරන් වළලු දෙක අරන් දකුණු අතට දැම්මේ ඊට පස්සේ.

“ටිකක් ලොකුවට ගත්තේ” ස්වර්ණා කිවුවේ කාමරේ හිටපු කුමාරිගේ අම්මා රත්නාවලීට.

“ඒකට මොකද‍? පස්සෙනෙ ඔව්ව ඕනෙ වෙන්නෙ. ඔන්න මාමණ්ඩි තමයි ලොකුම තෑග්ග දුන්නෙ නේද දෝණි?”

 

රත්නාවලී කිවුවේ ස්වර්ණාගේ ස්වාමියා, නන්දසේන ගැන.

 

රත්නාවලී තමයි ස්වර්ණාගේ ලොකු නෑනණ්ඩි. නන්දසේනගෙ අක්කණ්ඩි.

“ඔන්න දෝණි පොත්වලට ආස නිසා” ස්වර්ණා බර පාර්සලයක් අරන් දුන්නම තමයි වළලු දානකොටත් වඩා කෙල්ල‌ගෙ ඇස් දෙකෙන් ඉඳන් හිනාව පැන්නෙ. “අනේ නැන්දම්මා” කියල පැනපු ගමන් බදාගත්තේ පොත් ටික අතට අරන් “අනේ මේ වදරිං හයිට්ස් මං හොය හොය හිටියේ, ටේල් ඔෆ් ටූ සිටීස් කොච්චර අපූරුද?

“කන්න බොන්න ඕනැත් නෑ පොතක් දුන්නොත්, යං නංගි තේ ටිකක් බොමු”

 

තමන්ගේ ස්වාමියාගේ අක්කගෙ දූ වුණාට ස්වර්ණා කෙල්ලට පණ ඇරලා. ඇයි ඉතින් දීග එනකොට වැටි වැටී ඇවිදින කෙල්ලනෙ. පුදුම හුරතලයක් තිබ්බේ නැන්දම්මා එක්ක. පස්සෙන් පසු ස්වර්ණාට පුතාලම දෙන්නෙක් හම්බුණ හින්ද තමන්ගේ දුවෙක්ට දෙන්න තිබ්බ ආදරේත් ලැබුණේ කුමාරිට. කුමාරිත් එහෙමයි. නැන්දම්මට පණ ඇරලා. රත්නාවලී නීතිකාරි හින්දා ඔක්කොම කියන්නේ ස්වර්ණා එක්ක තමයි.

 

තේ දෙන වෙලාවෙත් රත්නාවලීගේ මූණ එළියයි. දොළොස් අවුරුද්දක් නෑනා එක්ක ඉහගහගෙන හිටිය ස්වර්ණා දන්නවා ඒ අර රත්තරන් වළලු දෙක හින්දා කියල.

 

නන්දසේන පණිවිඩේ ආරංචි වුණු වෙලේ කිවුවේ ගවුම් රෙදි දෙකක් ගෙනියමු නේද කියලා. හනේ මේ පිරිමින්ට තේරෙන තරම තමයි. ලොකු මාමණ්ඩි, රජයේ කන්තෝරුවක වැඩ කරන්නේ, ස්වර්ණා පුහුණු ගුරු. එකම අක්කගෙ දූ ගෙට වුණු වෙලේ රත්තරන් බඩුවකින් මෙහා දෙයක් දුන්න නම් ආයෙ පණ තියෙනකම් නෑකම් නැති‌ වෙන බව ස්වර්ණා දන්නවා.

 

ඒක හින්ද තමයි තේරුම් කරලා, එන ගමන් නාගලිංගම්ස් එකෙන් ඔය වළලු අරන් ආවෙ. කලින් නොකිවුවට තමන් හංගගෙන පරිස්සම් කරන රත්තරන් පවුමකුත් ගෙනත් ඒකත් දීලා තමයි ඔය වළලු දෙකම ගත්තේ.

 

“මොකෝ නංගිගෙ මූණ කළුතලා වැටිලා” රත්නාවලී ඇහුවේ ස්වර්ණා උඳුවැලක් අතට ගද්දිමයි.

 

“ඉස්කෝ‌ලෙ ක්‍රීඩා උත්සවේ පෙරේදනෙ ඉවර වුණේ අක්කණ්ඩි. මං තමා එක නිවාසයක් භාර. ගිනි කූටක අව්වෙනෙ මාස දෙකක්ම”

ඇත්තටම ස්වර්ණා උදේ අඳිද්දිත් බැලුවේ හැට්ටෙ කරයි අත් කටවලුයි හරියට ඉරි ගහලා වගේ තියෙන හැටි.

 

“ආ, හැබැයි මං අර ජනවාරියෙ පොල් මුරේට ආවෙලෙත් අහන්න හිටියේ නිකම් සුද අඩුවෙලා වගේ මොකද කියලා”

 

ජනවාරියෙ නම් දෙසැම්බර් නිවාඩුවෙත් හීල් හෙවණෙ ඉඳලා කළු වෙන්න කිසිම හේතුවක් නෑ.

 

එතකොටමයි නැන්දම්මා එතැනට ආවෙ. කොටහළුව ගැන පණිවිඩේ ආ දවසේ හවසමයි නන්දසේන අම්මව ගෙනත් ඇරලියේ.

 

“අප්පේ ස්වර්ණා තවත් කළු වෙලා නෙ මං නැති සතියට. කාර් එකෙන් බහිද්දි මට අඳුරගන්නත් බැරි වුණා.”

 

ඔන්න එතැනින් පටන් ගත්තු චූර්ණිකාව හවස ආපහු යන්න කාර් එකට නගිනකම්ම. නැන්දම්මද, නෑනද, නෑනගෙ නැන්දම්මයි නෑනලයිද, මහ වසංගතයක් වගේ ස්වර්ණගෙ කළුව ගැන තමයි කතාව.

 

“උඹල වගේ හීල් හෙවණට වෙලා බත් තම්බ තම්බ ඉන්නෑ බොල මට, මඟට බැහැලා රස්සාවට යනකොට අව්වට කළු වෙනවා තමා” කියන්න හිතුණේ එක පාරක් නම් නෙවෙයි. ඒ වුණාට ඉතින් ඔය වගේ දෙයක් කියන්න තියා හිතන්නවත් කැප නෑ.

 

පුතාගෙ බාරි ගුරුවරියක් කියලා නැන්දම්මා තමන් නැති තැන පම්පෝරි ගැහුවට තමන් ඉන්න තැන පාත් කරලමයි කතා කරන්නේ කියලා ස්වර්ණා දන්නවා. අනිත් උන්දැලටත් තියන ඊරිසියා පිට කරන්න වෙලාව. ස්වර්ණගෙ රස්සාව, පඩියෙන් මාස්පතා ගන්න සාරි, නන්දසේනගෙ අලුත් කාර් එක, පුතාල ට්‍රිනිටි කොලේජ් යන එක, කොච්චර දේවල්ද.

 

අන්තිමට කාර් එකට නැගලා පිටත් වෙද්දි “අප්පේ කනක් ඇහෙන්න නෑනෙ, මගේ කළුවනෙ අර උත්සවේ ප්‍රධාන මාතෘකාව වුණේ” ස්වර්ණා කිවුවේ ඉවසලා බැරිම තැන.

‘ආ ඒකද ගිය වෙලේ ඉඳන් මූණ කුණ්ඩ හට්ටිය කරගෙන හිටියෙ”

නන්දසේනට නම් තමන්ගේ මූණ ගලවලා හට්ටියක් හයි කරන් හිටියත් පේන මිනිහෙක් නෙවෙයි. අනික ඔය කුණ්ඩ හට්ටි කතා පිරිමි කියන එව්වා නෙවෙයිනෙ. නැන්දම්මා කසුකුසුවෙන් කියපු එකක් බව ස්වර්ණට නොතේරෙනවයැ.

 

“තමන්ගේකමට ඔය අහන්නේ.” ඊට පස්සේ ටික සැර වැඩී නන්දසේනගෙ කට. ඔන්න තමන්ගේ රත්තරන් පවුමකුත් දීලා අන්තිමට අහගත්තු එක. ස්වර්ණගෙ ඇස්වලට කඳුළු පිරුණා ඒ ගුණමකුකමට.

 

ස්වර්ණ කතා නැතුව වීදුරුවෙන් අහක බලන් ආවා පිළිමතලාවෙ තමන්ගෙ මහගෙදර මිදුලට එනකම්. පුතාලව එහෙ බස්සලයි ගියේ. වාහනෙන් බහින්න කලින් හිනා කටක් එක්ක වෙස් මූණක් දාගත්ත හනිමූන් ගිහින් එන මනමාලියෙක් වගේ. නිකම් අම්ම අප්පච්චිගෙ හිත් නරක් කරන්නෙ මොකටද?

 

කොල්ලො දෙන්න සාදික්කා මල්ලක් උස්සගෙන දුවගෙන ආවෙ පිං මල්ලිත් එක්ක. පිං මල්ලි ස්වර්ණගේ බාලම සහෝදරයා. අම්මට හතළිහකට කිට්ටු වෙලා හම්බුණ නිසා පිං මල්ලිගේ මොළේ වැඩීම මදි. පොඩි දරුවෙක් ගාණයි තිහ පැන්නත් වැඩ. හැබැයි රත්තරන් අත් දෙක, කාන්තාරෙ වුණත් ගස් වවයි ඒ අත් දෙකෙන්.

 

“කොහොමෙයි අක්කණ්ඩි, සරුවට තිබුණැයි මඟුල් ගේ?”

 

‘තිබුණ... තිබුණ.” ස්වර්ණ ගෙට ගොඩවෙන්න කලින් වටපිට බැලුව. නන්දසේන පත්තරේ බලනවා.

 

මැතිනිගේ රූපයක් පත්තරේ මුල් පිටේ. අර ගෑණු කතන්දර කිවුවට ඉස්කෝලෙ නෝනලා ස්වර්ණට කියන්නේ මැතිනි වගේමයි කියලා.

 

“සරුවට තිබුණා. නන්දයියට හිතට හරි නෑ. ඉහ පිටිපස්සෙ කෙස් අඩුවෙලා තට්ටෙ පෑදිලා, නෑයො ගොන්නක් හිටියා, එකෙක්වත් ඇහුවෙවත් නෑ කියලා තරහෙන් ඉන්නේ.”

නන්දසේන හරි හිතේ අමාරුවෙන් ඉන්නේ කෙස් අඩු වුණාට. වලස් තෙල් ගෙන්නගෙන ගානවා, කෙස් පීර පීර බලනවා. එක සෙල්ලමයි. ඕක තමා රිදෙනම තැන කියලා ස්වර්ණ දන්නවා.

 

“ඇත්තෙන් අක්කණ්ඩි?” පිං මල්ලි හැරිච්ච ගමන් නැවතුණේ නන්දසේන‌ගෙ පුටුව පිටිපස්සේ.

 

“ නන්දයියගෙ තට්ටෙ පෑදිලා නේද?”

 

“නන්දයියෙ මෙන්න මේ රවුමේ කොණ්ඩෙ ඇත්තෙම නෑ නේද? මේ අපුච්චි... දැක්කයි නන්දයිය‌ගෙ තට්ටෙ පෑදිලා.”

 

පිටත් වෙනකම් පිං මල්ලිගෙ කටට ඉවරයක් නෑ.

 

“අර හාදයගෙ කටට නිවනක් නෑනෙ අද මගේ තට්ටෙ ගැන අහලා”

නන්දසේන පුපුර පුපුර කිවුවෙ මහපාරට කාරෙක දාන ගමන්.

“ අනේ තමන්ගේකමට අහන ඒවනෙ ඔය”

 

ස්වර්ණා හිනාව වහගෙන කියලා ආයෙමත් වීදුරුවෙන් එළිය බලා ගත්තා.

 

නිමි