වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
විස්ම විශ්වය
පාට හතේ විනිකුන්කා
විනිකුන්කා හෙවත් දේදුනු කඳුවැටිය පේරු රටේ තිබෙන තවත් මනස්කාන්ත ස්ථානයක්. වසර දහස් ගණනක් පුරාවට හිමෙන් වැසී ගොස් තිබුණු මෙම කඳුවැටියේ අපූරු භූවිෂමතා ලක්ෂණ පිළිබඳ අනාවරණය වුණේ මීට වසර 6කට පමණ පෙරයි.
මෙයට දේදුනු කඳුවැටිය යන නම ලැබී ඇත්තේ එහි අඩංගු වන ඛනිජ සංයුතිය නිසා අපූරු වර්ණ රටා මැවී තිබීමයි. කඳුවැටියට මේ වර්ණ ලැබීමට හේතුව විවිධ වර්ණ ඛනිජ වර්ගයි. රෝස වර්ණය නිර්මාණය වීමට රතු මැටි, මඩ සහ වැලිත්, සුදු වර්ණය නිර්මාණය වීමට වැලි ගල් සහ හුනුගල් ද බලපා ඇත. දම් වර්ණය නිර්මාණය වී ඇත්තේ මාල්ස්ටෝන් නම් ඛණිජලවණ විශේෂය හේතුවෙන්. රතු වර්ණය සඳහා යකඩ අඩංගු මැටි බලපා ඇති අතර කොළ වර්ණයට ෆෙරෝ මැග්නීසියන් බහුල ෆයිලයිට් සහ මැටි හේතු වී ඇත. දුඹුරු වර්ණය ලැබී ඇත්තේ ෆැන්ග්ලෝමරේට් නිසාය. කහ වර්ණය ලැබී ඇත්තේ සල්ෆරස් බහුලව අඩංගු කැල්සියස් වැලිගල් සහ හුනුගල් නිසයි.
මේ කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ කාලගුණය ඉතාමත් ඉක්මනින් වෙනස් වෙනවා. එනිසා මේ කඳුවැටිය නැරඹීමට යන සංචාරකයන්ට හිමපතනය, වර්ෂාව, අධික හිරු එළිය වැනි කාලගුණික වෙනස්වීම්වලට මුහුණදීමට සිදුවේ. විනිකුන්කා කන්ද තරණය කිරීමට යෝග්‍ය වන්නේ මාර්තු සිට නොවැම්බර් දක්වා ගෙවෙන කාලයයි.
------------------------
මුහුදු වෘකයෝ
කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ මුහුදු වෘකයින් ලෙස හැඳින්වෙන වෙනස්ම ආකාරයේ වෘකයින් විශේෂයක් වාසය කරනු ලබයි.
මෙම වෘකයින් ලොව අනෙකුත් මහද්වීපවල වෙසෙන වෘකයින්ට වඩා වෙනස්ම ජාන උරුවක් ඇති වෘක විශේෂයක් ලෙසයි පර්යේෂකයින් විසින් සොයාගෙන ඇත්තේ. ඔවුහු බ්‍රිටිෂ් කොලොම්බියාව අසළ පිහිටි කුඩා දූපත්වලට පිහිනා යමින් මුහුදු ජීවීන් ගොදුරු කරගනිමින් ජීවත් වෙති. මොවුන් අනෙකුත් වෘක විශේෂවලට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වන අතර, අති දක්ෂ පිහිනුම්කරුවන් වෙයි. ඔවුන්ට එක එල්ලයේ සැතපුම් 7.5ක් පමණ දුර ප්‍රමාණයක් පිහිනා යා හැකිය.
ඔවුන්ගේ ආහාරවලින් සියයට 90ක් පිරිමසා ගන්නේ මාළුන් සහ අනෙකුත් මුහුදු ජීවීන් දඩයම් කර ගනිමින්ය. විශේෂයෙන් සැමන් මසුන් ආහාරයට ගැනීමට ඔවුහු ප්‍රියතාවක් දක්වති.
-------------------
කළු මිනී පෙට්ටියේ ශාපය
මානව ශිෂ්ටාචාරයේ තොටිල්ලක් ලෙස ද සැලකෙන ඊජිප්තු භූමිය පුරා විසිරුණු ඓතිහාසික වස්තූන් රාශියක් සැඟව පවතියි. එවැනි ගුප්ත වූ වස්තුවක් හමුවූ පුවතක් වාර්තා වුණේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ Sidi Gaber නම් පළාතෙන්ය.
නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා කැණීම් සිදු කරන විට හමුවූ මෙම ගුප්ත වස්තුව ග්‍රැනයිට් පාෂාණවලින් නිමවූ දැවැන්ත කළු පැහැති මිනී පෙට්ටියකි.
මීට වසර 2,000කට පමණ පෙර මිහිදන් කරන්නට ඇතැයි සැලකෙන මෙය පොළොව මට්ටමේ සිට අඩි 16ක ගැඹුරකින් මිහිදන් කර තිබී ඇත.
කිරිගරුඩෙන් නිම කළ ශීර්ෂයක් ද මෙම මිනී පෙට්ටිය අසල තිබී හමු වී ඇත.
මෙම මිනී පෙට්ටිය හමුවීමෙන් පසු එය විවෘත කිරීමට පර්යේෂකයන් මඳක් පැකිළුණේ එහි පැරණි අක්ෂරයන්ගෙන් “මෙය විවෘත කරන්න එපා” යනුවෙන් සඳහන් වූ නිසාවෙනි. එමෙන්ම මෙම මිනී පෙට්ටිය විවෘත කිරීමෙන් පසු රුදුරු ශාපයක් මුදා හැරෙන බවට කටකතාවක් ද පැතිරී ගොස් තිබිණි.
නමුත් අවසානයේ ශාපය කටකතාව පුස්සක් කරමින් පර්යේෂකයින් විසින් මෙම දැවැන්ත මිනී පෙට්ටිය විවෘත කරනු ලැබුවා. එහිදී ඔවුන්ට දැක ගැනීමට ලැබුණේ ලේ පැහැති ජලයේ පාවෙමින් තිබෙන ඇටසැකිලි තුනකි.
පැරණි අපවහන නළයකින් ගෙන යන අපිරිසුදු ජලය මිනී පෙට්ටියේ පියනේ කොනකින් ඇතුළට කාන්දු වූ නිසා මිනී පෙට්ටියේ සුරක්ෂිතව බහා තිබූ මමී කුණු වී අවසානයේ ඇටසැකිලි පමණක් ඉතිරි වී තිබෙනවා.
මෙම ඇටසැකිලි කිසිදු රාජකීය පවුලකට අයත් නොවන බව සනාථ කෙරුණේ ඒවා සමඟ ආභරණ හමුවූ නැති නිසාවෙනි. ඉතා තියුණු ආයුධයකින් හිල් වී ගිය හිස් කබලකින් සමන්විත මෙම ඇටසැකිලි යුද භටයින්ගේ සිරුරු බව පර්යේෂකයන් විශ්වාස කරනු ලබනවා.
--------------------
පිටසක්වළ ප්‍රහාරයක්
පිටසක්වළ ප්‍රහාරයකට ලක්වුණු වාහනයක් වගේ පෙනෙන මේ අරුම පුදුම දර්ශනය දකින්න ලැබිලා තියෙන්නේ එක්සත් ජනපදයේ ඔරෙගන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදීයි. 101 නමින් හැඳින්වෙන එම අධිවේගයේ ගමන් කරපු ට්‍රක් රථයක් අනතුරකට ලක් වෙලා ඒ ට්‍රක් රථයේ ප්‍රවාහනය කරමින් තිබූ hagfish නමින් හැඳින්වෙන අමුතුම වර්ගයේ මාළුන් විශේෂයක් නිසා තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ.
hagfish නැත්නම් slime eel කියලත් කියන මේ මසුන්ගේ පෙනුම අාඳා මාළුන් වගේම තමයි. රෝස පැහැති දිගැටි මේ මසුන්ගේ තියෙන විශේෂත්වය තමයි තත්ත්පර ගණනකදී අධික සෙවල ප්‍රමාණයක් නිකුත් කිරීමට තියෙන හැකියාව. විශේෂයෙන් මුහුදු ජලයේදී ඔවුන් නිකුත් කරන සෙවල ප්‍රමාණය මිරිදිය ජලයේදී වගේ නෙවෙයි ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වෙනවා. ඇත්තටම මේ සෙවල විලෝපිකයින්ගෙන් ආරක්ෂා වෙන්න ආයුධයක් විදිහට තමයි මේ මසුන් පාවිච්චි කරන්නේ.
අනතුරක ඉව වැටුණු ගමන් මෙම මාළුන් කරන්නේ ඔවුන්ගේ සිරුරෙන් ඉතා අධික ලෙස සෙවල පිට කිරීමයි. ඔවුන්ගේ බඩ දෙපැත්තේ ඇති විශේෂ ඉන්ද්‍රියවලින් තමයි මේ සෙවල පිට කරන්නේ. ඉතා උකු බවින් යුතු මේ සෙවලවල අඩංගු වෙන්නේ ශ්ලේෂ්මල සහ ප්‍රෝටීන් තන්තුයි. ඒවා අනෙකුත් මසුන්ට මාරාන්තික වෙන්නේ මෙම සෙවල ඔවුන්ගේ කරමල්වල ගෑවීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතා ඇති වෙන නිසයි. එයයි hagfish මසුන් ස්වයං ආරක්ෂාව සඳහා යොදා ගන්නා උපක්‍රමය වන්නේ.
එක්සත් ජනපදයේ ඔරෙගන් ප්‍රාන්තයේ සිදුවූ ට්‍රක් රථ අනතුරේදී එළියට විසිවුණෙත් ඒ වගේ දකුණු කොරියාවේ සිට එක්සත් ජනපදයට ආනයනය ලද hagfish මසුන්. අනතුරේදී තැතිගැන්වුණු hagfish මසුන් විසින් මුදාහල සෙවලවලින් තමයි මාර්ගය සහ අනතුරට භාජනය වුණු වාහන නැහැවී ගියේ.