‘මයෙ මැණික’ ලිව්වෙ අපේ රටේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාධිත ප්‍රජාව ගැන කියන්න

එඩ්වඩ් මල්ලවආරච්චි
ජූලි 21, 2025

 

ප්‍රවීණ නවකතා රචක එඩ්වඩ් මල්ලවආරච්චි තරුණී පාඨක ඔබට නුහුරු නුපුරුදු නමක් නම් නොවේ. වසර විස්සකට වැඩි කාල වකවානුවක් තුළ නවකතා බොහෝ ප්‍රමාණයක් තරුණී පිටු අතරට එකතු කළ හෙතෙම මේ වනවිට නවකතා 145කට වැඩි සංඛ්‍යාවක් තම සහෘද පාඨකයන් වෙත තිළිණ කර තිබේ. නවකතා රචකයකු, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට තිර පිටපත් රචකයකු ලෙසින් අතිශය ජනාදරයට පාත්‍රව සිටින ඔහුගේ අලුත්ම නවකතාව ‘මයෙ මැණික‘ පසුගිය දා එළි දැක්විණි.

 

මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි.

 

කෙළිලොල් තාරුණ්‍යය වාගේම යොවුන් ආදරය ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කරන නවකතාකරුවකු වූ ඔබ ‘මයෙ මැණික‘ ලියන්නෙ ඊට තරමක් වෙනස් ආකාරයකටයි.

 

“ඔව්, මයෙ මැණික කියන නමේම ඒ ගැන පුංචි සඳහනක් තියෙනවා. මේ නවකතාව මූලික කරගෙන තියෙන්නෙ වටිනා මැණික් ඉල්ලමක් සහිත ඉඩමක් හිමි යුවතියක් පිළිබඳ. මේ මැණික් සහිත දේපළ නිසා ඇයගේ මවුපියන් ඇයට අහිමි වෙනවා. මවුපියන්ගේ මරණය ඇසින් දුටුව එකම සාක්ෂිකාරිය ඇය වුණත් සාක්ෂියක් ලබාදෙන්නටවත් නොහැකි වන්නේ මවුපියන්ගේ වියෝවේ කම්පනය නිසා මේ යුවතියට කතා කරන්නට බැරි වෙනවා. ඇත්තටම කිව්වොත් එදා ඉඳන් ඇය ගොළු යුවතියක් බවට පත් වෙනවා. එතැනින් එහාට ගලායන ඇයගේ කතාව තමයි මේ ‘මයෙ මැණික‘.

 

ඒ සමඟම අපේ රටේ ශ්‍රව්‍ය ආබාධ සහිත ප්‍රජාව ගැනත් ඔබ කතාබහට ලක් කරනවා.

 

“ඇත්තටම මේ රටේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාධ සහිත බොහෝ පිරිසක් ජීවත් වෙනවා. ඇතැම් විට මේ වාගේ දරුවෝ ලැබුණහම මහමඟ දාලා ගිය අවස්ථා අනන්තයි. ඒ වාගේ දරුවෝ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතෙයි හැදී වැඩී ලොකු මහත් වෙන්නෙත්. කතා කරන්න බැරි වුණාට, දෑස් නොපෙනුණාට මේ දරුවෝ දෑතේ රැකියා හොඳට ඉගෙන ගන්නවා.

 

ලස්සනට මහන්න, ගොතන්න, අත්කම් නිර්මාණ කරන්න විතරක් නෙවෙයි රූපලාවණ්‍ය, ඉවුම් පිහුුම්, කේක් හදනවා වාගේ වැඩ, ප්‍රින්ටින් කටයුතු, තාක්ෂණික වැඩ මේ හැමදේම හොඳ හැදෑරීමකින් යුතුව කරන්න ඔවුනට හැකියාව තිබෙනවා.

 

ඒ ඒ අංශවලින් හොඳ රැකියා කරන අය වාගේම සමාජයේ ඉහළට ගිය පුද්ගලයින් පිළිබඳත් මම අහලා තියෙනවා. ඉතින් මේ නවකතාව හරහා ඔවුන් පිළිබඳ මම සාකච්ඡාවට ලක්කරනවා.

 

 

ඊට අමතරව ඔබේ පෞද්ගලික ජීවිතයේ යම් සිදුවීමකුත් මේ සඳහා පාදක වුණා නේද?

 

“මම ලියපු මුල්ම නවකතාව ‘සුබා’ ගේ ඉඳන් මේ මෑතක් දක්වා සියලුම කතාවල අත් පිටපත මුලින්ම කියවන්නෙ මගේ ආදරණීය බිරිය ලලිතා. දැන් වසරකට වැඩි කාලයක සිට ඇය ස්නායු ආබාධයකට ලක්වෙලා කතා කිරීමට නොහැකි වුණා.

ඒ අවස්ථාවේ දී ඇයව කථන තෙරපි සඳහා යොමු කළ නිසා මම ඒ පිළිබඳ කරුණු බොහෝමයක් දැනගත්තා. ඒ විතරක් නෙවෙයි ඇයව ඒ සඳහා රැගෙන ගිය අවස්ථාවල ප්‍රාෙයා්ගික අත්දැකීම් ලැබුවා. වෛද්‍යවරුන්ගෙන් විවිධ කරුණු දැනගත්තා. ඒ තැන්වලදී විවිධ කථන ආබාධ සහිත පුද්ගලයන් මට හමුවුණා. ඉතින් ගොළු තරුණියකගේ චරිතය ගොඩනඟා ගන්න මේ සිදුවීම් මට හොඳටෝම ඉවහල් වුණා.‘

 

ඊට අමතරව මගේ බිරියට කතා කරන්න බැරි වුණාහම අපි දෙන්නගෙ සන්නිවේදන මාධ්‍යය බවට පත්වුණේ පුංචි පුංචි ලියුම් කෑලි. ඒ හරහා ඇයට දැනෙන හැඟෙන දේ මට කිව්වා. මේ සිදුවීම් නිසාමයි මෙවැනි යුවතියකගේ චරිතයක් මා නිර්මාණය කළේ.“

 

මේ කාර්යය සඳහා ඔබට පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අයත් සහයෝගය ලබාදුන්නා නේද?

 

“පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකෝ දර්ශනි වගේම ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනි නිර්මලී පෙරේරා මේ කටයුත්්තේ දී මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මේ අත් පිටපත කියවලා හරි වැරදි සකසා දුන්නෙ ඔවුන්. ඉතින් ඒ දෙදෙනාට බොහෝම ස්තූතියි කියන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.

 

මේ දවස්වල තවත් අලුත් පොතකට සූදානම් වෙනවා කියලත් අපට ආරංචියි.

 

‘ඔව්, මම මේ දවස්වල තවත් පොත් කිහිපයක්ම ලියාගෙන යනවා. මේ වසර අවසන් වෙන්න කලින් එයින් එකක්, දෙකක් මගේ පාඨකයන්ට කියවන්න හැකියාව ලැබේවි.“