වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
අප්පච්චී

ආදරණීය පුතා.,
අපේ අනාගතය තීරණය කරන්නේ අපගේ සිත තුළ උපදින බලාපොරොත්තුවලින් කියලයි මම නම් හිතන්නේ. මොකද හිස් මනසකින් අපි කොහේ හරි පාරක යනවා කියන්න, ඒකට අරමුණක් බලාපොරොත්තුවක් නැත්නම් ඉබාගාතේ යනවා කියලා නෙ කියන්නේ. ඒ කියන්නේ තැනක් වෙලාවක් මොනවත් නැතිව යද්දි වෙන්නේ විනාශයක් විතරයි. සමහර විට එහෙම ගිහින් හොඳට වාහන යන පාරක් හරහා යන්න හදනවා. මොකද වෙන්නේ. වේගයෙන් එන වාහන දන්නෙ නෑ මේ මනුස්සයා කොහෙද යන්නෙ ෙබ්‍ර්රේක් කරලා බලන්න ඕනේ කියලා. කුඩුපට්ටම් වෙනවානෙ.
අන්න ඒ නිසා තමා අපි මල් ගහක් වවන්න ඕනේ. හැබැයි ගහක් හිටවපු ගමන් මල් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒකට කාලයක් යනවා. අපි එතෙක් මොනවද කරන්නේ ගහට ජලය, පොහොර දානවා. අපි දන්නවා කවදා හරි මේ ගහේ මල් පිපෙනවා කියලා. ඒ වගේ තමා බලාපොරොත්තුව තියෙන අරමුණට යන්න ජලය, පොහොර දාන්න ඕනේ. අරමුණට යන්න පුළුවන් දේවල් ටික පරිස්සමින් කරන්න ඕනේ. අපි කුඩා කාලෙම හිතනවා මම වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා, ගායකයෙක් වෙනවා, ගණකාධිකාරිවරයෙක් වෙනවා ආදි වශයෙන්. මම දැක්කා එක්තරා වැඩසටහනකදි පුංචි දරුවෙක්ගෙන් අහනවා ලොකු වුණාම මොකක්ද කරන්නේ කියලා. ළමයා කියනවා කසාද බඳිනවා කියලා. ඒකෙ වරදකුත් නෑ. මොකද ඉගෙන ගෙන රස්සාවක් කරන කාලෙදි විවාහයක් වෙන්න ඕනේ. ඒ විවාහයෙන් තමා අපිට අලුත් නෑ පරපුරක් හම්බ වෙන්නේ. බිරියක් සැමියෙක් වගේම හොඳ ශක්තිමත් දැන උගත් සමාජයේ කැපී පෙනෙන නෑදෑයින් හම්බ වෙන එකත් පවුලක ශක්තියක් වෙනවා නේද. මුදල් නෙවෙයි මම කියන්නේ සමාජ බලය ගැන.
සමහර අය නම් අලි දෙන්නම්, කොටි දෙන්නම් කියලා පොරොන්දු වෙනවා කෙල්ල බන්දලා දෙනකම්. සමහරු හදනවා ඉක්මනට බන්දලා දීලා සැමියාගේ වියදමින් වැඩිදුර උගන්වන්න. රට යවන්න වගේ දේවල්වලට. එහෙම කපටි මිනිස්සුත් නෑදෑයො කියලා හමුවෙනවා. කොහොම නමුත් ගහක් හිටවූ ගමන්ම මල් පිපෙන්නේ නෑ. ඒත් අපි දන්නවා ඒ ගහේ කවදා හරි මල් පිපෙනවා කියලා. ඒ බලාපොරොත්තුව තමා ජීවිතයකට වටින්නේ. අපි බලාපොරොත්තුවක් වෙන දේවල් ඒ සැණින් ඉටු නොවුණත් අපිට පුළුවන් යම් දවසක ජයගන්න.
ඒ වගේම තමා පුතේ අපි ළං කරගන්න යාළුවො හෝ නෑදෑයො හෝ අපිට වචනයකින් හරි ආශීර්වාදයක් වෙන අයයි තෝරා ගන්න ඕනේ. නිකම් මූණිච්චාවට ඉඩම් දෙන්නම්, සල්ලි දෙන්නම් කියන අය නම් නෙවෙයි. මට මේක කියද්දි මතක් වුණේ අපි තලවතුගොඩ ඉද්දි මට හමු වුණා කුමාරගේ කියලා යාළුවෙක්. කුමාරගේ හමු වුණේ තර්සටන් ද සිල්වා මල්ලි නිසා. එහෙම වුණත් මේ කුමාරගේ මල්ලිට ඉඩම්, පුද්ගලික බස් එහෙම තිබුණා. ‘අයියේ අයියට ඉඩමක් නෑනේ...හැමදාම කුලියට ඉන්නත් බෑනේ..මගේ තියෙනවා තලවතුගොඩ පාර කිට්ටුව ඉඩම් ටිකක්..අයියා ගිහින් කෑල්ලක් වට කරලා මායිම් පෙන්නලා දෙන්න මම ඒ ටික ඔයාට ප්‍රකාශන ඔප්පුවකින් ලියලා දෙනවා, ටික කාලෙකින් හරි ඔප්පුව හදලා දෙනවා මට සතපහක්වත් එපා..’ කුමාරගේ මල්ලි කිහිප සැරයක් මතක් කළා ඒ වැඩේ කරන්නෙ නැද්ද කියලා. කොහොම නමුත් පස්සෙ අයි. සරත් මල්ලි එයාගේ ඉඩම් කෑල්ලක් මට ලබා දුන්නා. අන්න එහෙම යාළුවොත් ඉන්නවා. කියන දේ කරන, කරන දේ කියන යාළුවො, නෑයෝ සංසාරයෙන් සංසාරෙට එන හොඳ මිනිස්සු නේද. ඉතින් අපි එහෙම නම් අපේ ජීවන ගමනට තෝරා ගන්න ඕනේ අපිට වචනයෙන් හරි යහපත පතන අය මිස පිට අතගාලා පිටට පිහියෙන් අනින අය නෙවේ කියලා ඔයා දන්නවා. නෑයොත් එහෙමයි. එහෙම අපිට හොඳක් නොකරන අය අපි අතේ දුරින් තියා ගන්න ඕනේ. අත් ඇරලාම දාන්න හොඳ නෑ. සමහරු වෛර බැඳගන්නත් පුළුවන්. ඒ වගේ අය අපිට හිංසා කරන්න පුළුවන් තේරුණාද.
පුතා දන්නවද ඔරු යන්නේ ගංගාවල. ඒ ගංගාවල හොඳට ජලය තියෙනවා නම් ලස්සනට යනවා. ජලය හොඳට නැතිව ඔරුවකට යන්න බෑනේ. ඔයා දන්නවද ජලය මත ඔරුව යනවා වගේම ඔරුවක් ගිලෙන්නෙ ජලය ඔරුවට පිරුණාම. ඒ කියන්නේ ඔරු ගිලෙන්නේ පාවෙන ජලයෙන් නෙවේ ඔරුව ඇතුළට පිරෙන ජලයෙන්.
අපි මේ සමාජය කියන්නේ ජල කඳක් නම් අපේ ගමනට අනවශ්‍ය ජලය එකතු කරගන්න හොඳ නෑ. අපිට සමාජයේ ගිලෙන්න වෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කරන යාළුවන් නෑයන්, ගණිකා ඇසුර ලබන්නන්, සූදුවට යන්නන්, වංචා කරන්නන්, දූෂිතයන්, අන් අය ඉදිරියේ ඔබව අපහසුතාවට පත් කරන වචන කියන්නන්, නැති වැරදි කියන අයවලුන්, ඉන්නා තැන එකක් නැති තැන එකක් කියන අයවලුන් වගේ සමාජයට නොගැළපෙන අය ඔබ යන ඔරුවට ගොඩ කරගන්න එපා. එහෙම වුණොත් සමාජය කියන ජල කඳේ ඔබව ගිලෙන්න පුළුවන්.
ඔබගේ විවාහ ජීවිතයට මේ විදිහේ දේවල් බලපෑම් කරද්දි ඔබ අර වගේ යාළුවො හරියි කියලා ඒ අයගේ පැත්ත ගත්තොත් ඔබ බිරියට ගරු කරන එක නොකරන්න පටන් ගන්නවා. එදායින් පස්සේ පවුල් ආරාවුල්, සතුට සොම්නස නැතිව යනවා. අන්න ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ ගමන යන්න ඕනේ.