වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
වන උරුමය රැකි සුවඳැති කුසුමිය

අපේ වන සම්පත ගැන හදාරන අයෙකුට මඟහැර එය කළ නොහැකි තරමට මේ විද්‍යාඥ දෙපළගේ පර්යේෂණ දායකත්වය ප්‍රබලයි. වනාන්තර හා සොබාවික පරිසරය රැකගැනීම වෙනුවෙන් සිය ජීවිත කාලය මුළුල්ලේ කැපවූ ඔවුන් නම් මහාචාර්ය නිමල් ගුණතිලක සහ මහාචාර්ය සාවිත්‍රි ගුණතිලකයි. මහාචාර්ය සාවිත්‍රි ගුණතිලකගේ 80 වැනි ජන්මදිනය ජූලි 30 වැනිදාට යෙදී තිබේ.
සෙලෙස්ටීන් වයලට් සාවිත්‍රි ගුණතිලක 1945 ජූලි 30 වැනිදා උපත ලබන්නේ බණ්ඩාරවෙල දී. ඒ ගැහැනු ළමුන් සය දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමලා ලෙසයි. සාවිත්‍රි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයෙන්. ද්විතීයික අධ්‍යාපනය සඳහා ඇය ඇතුළත් වූයේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයටයි. උසස් පෙළ ඉහළින් සමත්ව 1965 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය,දෙවසරක් ගත වන විට පේරාදෙණිය මණ්ඩපය තෝරාගත්තා. 1969 දී ඇය, උද්භිද විද්‍යා විෂයය සඳහා පළමු පෙළ ගෞරව විශේෂ උපාධිධාරිනියක වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්ව එම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක ලෙස සේවයට එක්වුණු ඇය, 1971 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය බලා පිටත්ව ගියා. එහිදී පශ්චාත් උපාධි අධ්‍යාපනය සපුරන ඇය සාමාන්‍ය පරිසර විද්‍යාව සඳහා විද්‍යාපති (MSc)උපාධියත්, නිවර්තන වනාන්තර පරිසරවිද්‍යාව සඳහා ආචාර්ය උපාධියත් (PhD) ලැබුවා. ආපසු මවුබිමට පැමිණෙන ඇය , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම උද්භිද විද්‍යා අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය ඇරැඹුවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස උසස්වීමක් ලැබ 1988 දී සහාය මහාචාර්යවරියක ලෙස පත්වන ඇය ,1995 දී මහාචාර්යවරියක ලෙස ද 2000 වසරේ දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස ද පත්වීම් ලැබුවා. ඇකඩමික හා ප්‍රායෝගික සුදුසුකම් ද සමඟ ඈ වඩාත් යොමු වූයේ වන සංරක්ෂණය කෙරෙහිය. මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක වනාන්තර පර්යේෂණ සඳහා පිවිසෙන්නේ තෙත් කලාපයට අයත් කන්නෙලිය, ගිලීමලේ, කොට්ටව වැනි රක්ෂිතවලින්. අතරමැදි කලාපයට අයත් දාරගොඩ, බරිගොඩ මෙන්ම වියළි කලාපයේ රිටිගල වැනි වනාන්තර ද ඇයට පර්යේෂණාගාර වූවා. ඒවා සංරක්ෂණය සඳහා ද ඇයගේ කැපවීම විශාලයි. සිරිපා අඩවිය, හිනිදුම, නකල්ස් වැනි වනාන්තර වෙත ද ඇයගේ පර්යේෂණ යොමු වුණා. සිය සැමියා වූ මහාචාර්ය නිමල් ගුණතිලක ද සමඟ ඇය සිංහරාජ වනාන්තරයේ ක්ෂේත්‍ර පරීක්ෂණ ඇරැඹුවේ 1970 දශකය අග දී. සිංහරාජ වනාන්තරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ දී ඔවුන්ගේ පර්යේෂණ විශාල පිටුබලයක් වුණා. මෙම වනාන්තර සියල්ලෙහිම ජෛව විද්‍යාත්මක හා පාරිසරික වටිනාකම ඉතා ඉහළයි. ඒවා අපේ රට සතු අමිල ස්වාභාවික සම්පත් ද වනවා. එවැනි සම්පත් සංරක්ෂණය අරමුණු කරමින් ඇය, සිය ශිෂ්‍ය පරම්පරා ද ඒවායේ ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා දායක කරගත්තා පමණක්ම නොව ඔවුන්ව ද ඊට මෙහෙයවූවා.
ඇයගේ මූලිකත්වයෙන් සිදු වූ පර්යේෂණ මෙම වනාන්තර "සංරක්ෂිත වනාන්තර " ලෙස ප්‍රකාශයට පත්වීමට මෙන්ම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වීමට ද හේතු වූවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා සාමාන්‍ය උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා මහනුවර ආශ්‍රිතව ඇති හන්තාන, ගන්නොරුව වැනි වනාන්තර එම ක්ෂේත්‍ර අධ්‍යයන සඳහා යොදා ගැනීමට ද ඇය ක්‍රියාකළා පමණක් නොව එම වනාන්තර සංරක්ෂණය වෙනුවෙන් ද කැපවුණා.
පරිසර හා වන සම්පත් ක්ෂේත්‍රයේ ජාතික කමිටු ගණනාවකම සාමාජිකාවක ලෙස ඇය සිය විශේෂඥ දැනුම හා උපදෙස් ලබා දුන්නා. Encyclopedia Britannica ඉන්දීය සංස්කරණය සඳහා " ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය " සම්පාදනය කරමින් විශේෂඥවරියක ලෙස ඊට දායක වූවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය යටතේ සිංහරාජ වනාන්තරයේ ඇති වෘක්ෂලතාදියෙන් සමන්විතව දක්නට ලැබෙන ආදර්ශ වන වගාව හා එම අධ්‍යයන අංශයේ ශාකාගාරය ඇතිකිරීම වෙනුවෙන් මූලික වූයේ ද ඇයයි. එය එම අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින්ට මෙන්ම පර්යේෂකයන්ට මහඟු සම්පතක්. පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා අන්තර්ගතය සම්පාදනයේ දී ද ඇයගේ දායකත්වය විශාලයි.
මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක මහත්මිය පර්යේෂණ පත්‍රිකා 50 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර ඒවා ලොව පිළිගත් ජර්නලවල පළවී තිබෙනවා. ඇය සම්පාදනය කර ඇති කෘති සංඛ්‍යාව 5 ක්. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පළවූ ප්‍රකාශනවල ඇය සම්පාදනය කර ඇති පරිච්ඡේද ගණන 30 ඉක්මවනවා.
පරිසර, උද්භිද විද්‍යා හා වන සංරක්ෂණ ක්ෂේත්‍ර වෙනුවෙන් ඇය කළ මෙහෙවර අවස්ථා ගණනාවක දී දෙස් - විදෙස් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ අතරට, ජනාධිපති පර්යේෂණ සම්මාන ඇතුළු සම්මාන ගණනාවක්ම අයත්.
එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය වැනි කීර්තිමත් විදේශ විශ්වවිද්‍යාල යටතේ ද ඇය සිය පර්යේෂණ සිදු කළා. දෙස් - විදෙස් සිසුන් රැසකට පශ්චාත් උපාධි සඳහා අධීක්ෂක වෙමින් ඔවුන්ට මඟපෙන්වීමට ද ඇයට හැකිවුණා.
සිය ක්ෂේත්‍රයේ කොපමණ විශිෂ්ටත්වයට පත්වුව ද
මෙරට ජීවත්වෙමින් මවුබිම වෙනුවෙන් කැපවීමට ගුණතිලක යුවළ කටයුතු කළා. සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය බලා යන ඇය ඇරලවීමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි පියාණන් දුන් උපදෙස මෙන්ම ආපසු ලංකාවට එන විට ඇයගේ අධීක්ෂක මහාචාර්යවරයා වූ පීටර් ඇෂ්ටන් දුන් උපදෙස ඇය "ඩේලිමිරර්" පුවත්පත සමඟ කළ සාකච්ජාවක දී සිහිපත් කර තිබුණේ මෙලෙසින්.
" මාව ඇරලවන්න ආව තාත්තා කටුනායක දි මට කිවුවා, සවී ඔයා PhD එක හොඳින්ම කරන බව මට විශ්වාසයි. ඒක සම්පූර්ණ කරලා ආපසු ඇවිත් ලංකාවට සේවය කරන්න..." කියලා.
අධ්‍යයන කටයුතු අවසන් කරලා ක්ෂේත්‍ර පර්යේෂණ ලංකාවෙ දි කරන්න ආපසු එන්න හදද්දි ඇබර්ඩීන් එයාපෝට් එකට මාව ගෙනැත් ඇරලවලා මගේ අධීක්ෂක, මහාචාර්ය පීටර් ඇෂ්ටන් මෙහෙම කිව්වා."සවී , මතක තියාගන්න ඔයා තමයි මගේ පළමු PhD පර්යේෂක ශිෂ්‍යාව.
පිටරටක ෆීල්ඩ් රිසර්ච් කරන්න යන ඔයා අසාර්ථක වුණොත් ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය අනාගතයේ දී කාටවත්ම ඒ අවසරය දෙන එකක් නෑ.."
හැබැයි, මට හොඳ විශ්වාසයක් තිබුණා වගේම මං එය හොඳින්ම කළා..."
ඇය, තමන්ට සපුරාගත හැකිවූ ඉහළම කාර්යය ගැන පවසන්නේ මෙලෙසින්. " ශාක පරිසර විද්‍යාව (Plant Ecology) මං උපාධිය හදාරන කාලයේ ක්ෂේත්‍ර අධ්‍යයනවලට තිබුණෙ නෑ. මේ රට වර්ග කි.මී. 432 × 224 තරම් වුණාට ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත්. සමුද්‍රීය, වෙරළබඩ, ලවණ, වගුරු, වැලි පර, තෘණබිම්, ස්වභාවික වනාන්තර වගේ විවිධ පරිසර පද්ධති 33 ක් අපට තියෙනවා. ඉතින්, පාරිසරික විද්‍යා (Ecology) පාඨමාලාවට ක්ෂේත්‍ර අධ්‍යයන (Field Studies) ඇතුළත් කරගන්න ලැබීම තමයි මම ලබපු ඉහළම ජයග්‍රහණය ..."
2010 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය සේවා කාලය නිමවා විශ්‍රාම ලැබූ ඇය එතෙක් සිදුකළ මෙහෙවර අගයමින් සේවාර්ජිත මහාචාර්ය පදවියක් ඇය වෙත පිරිනැමුණා.
මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක මහත්මියට හරසර පුදමින් "ජීවවිද්‍යා ආයතනය" පැවැත්වූ ප්‍රණාම උළෙලේ දී මෙලෙස ද සඳහන් කෙරුණා.
"ගුරුවරු අපට නිසි මඟ පෙන්වති. හොඳ ගුරුවරු හොඳ අධ්‍යාපනයක් ලබාදෙති. ශ්‍රේෂ්ඨ ගුරුවරු සිය සිසුන්ට නායකයන් වීමට හා තමන්ගේ මඟක යාමට දිරිගන්වති..."
විද්‍යාඥවරියක මෙන්ම ශ්‍රේෂ්ඨ ගුරුවරියක ද වන ඇයට අපි දිගාසිරි පතමු.