වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
දිවදෙකේ අය එක්ක ජීවිතේ ගෙවන්න

මේ සමාජය විවිධාකාරයි. විවිධාකර වූ සමාජයේ ඉන්නෙත් විවිධාකාර වූ මිනිස්සු. වැඩි හරියක්ම ඉන්නේ දිව දෙකේ මිනිස්සු. එහෙම හිතලා බලද්දි අපි දන්න හඳුනන ගොඩාක් මිනිස්සු ඇත්තටම දිව දෙකේ මිනිස්සු තමයි. අපි හිතනවා දේශපාලනික වශයෙන් විතරයි මේ තත්ත්වයේ මිනිසුන් ඉන්නේ කියලා. ඇත්තටම එහෙම නැහැ. අපිට මුණගැහෙන ගොඩාක් මිනිස්සු එහෙමයි. ගොඩක් අය අදහස් ප්‍රකාශ කරන්නේ වෙන දෙයක් හිතේ තියාගෙන. සෘජුව අදහස් ප්‍රකාශ කරන්න පිට කොන්දක් නැහැ.
"ඔයා ඇඳන් ඉන්න ඔය ගවුම ඔයාට ගැළපෙන්නේ නැහැ" කියන්න, එහෙම නැත්නම් "ඔයා ඔය කරපු ක්‍රියාව ගැළපෙන්නේ නැහැ" කියන්න තරම් කොන්දක් නැහැ. හැබැයි සමහරු එහෙම කියනවට කැමැතිත් නැහැ. ඒ නිසා ගොඩක් අය අනිත් කෙනාව සනසවන්න තමන්ගේ වාසියට දිව දෙකක් තියාගෙන කතා කරනවා.
"ඒ මඟුල නම් එයාට ගැළපෙන්නේ නැහැ" කියලා වෙන කෙනෙක් එක්ක කියනවා. හැබැයි එයාට කියනවා "ඔයාට හම්බෙලා තියෙන්නේ ගැළපෙනම කෙනා" කියලා. මම හිතනවා මනෝ උපදේශකවරියක් විදිහට මම වෘත්තියේදී දකින හොඳම දේ තමයි කෙළින් කතා කරන්න පුළුවන් වෙන එක. එහෙම නැත්නම් අපිට සේවාදායකයත් එක්ක ගනුදෙනු කරන්න බැහැ. ඉතින් ඒ වගේම මම ඔයාලටත් යෝජනා කරනවා කිසිම වෙලාවක තමන්ගේ අදහස් කියන්නේ නැතුව ඉන්න එපා.
හැබැයි මෙතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන දෙයින් සමහර වෙලාවට අනෙක් කෙනාගේ හිත රිදෙන්න පුළුවන්. ඒ නිසා ඒක කියනකොට ඔයාලට පුළුවන් ඒක ලස්සනට කියන්න. කියන දේ ආවේගශීලී වෙන්නේ නැතුව හිමින් කියන්න පුළුවන්නේ. "මොකක්ද ඔය මල ඉලව්ව. ඕක කොච්චර කැත ද?" කියලා කියන්නේ නැතුව අපිට පුළුවන් කියන්න "අනේ ඔයා අද ඇඳලා ඉන්න ගවුම නම් ඔයාට ඒ තරම් ගැළපෙන්නේ නැහැ. ඔයාගේ වයසත් එක්ක ඔයා වෙන විදිහක ගවුමක් ඇන්දොත් හොඳයි වගේ" නේද කියලා.
ඒ වගේම මේ සමාජයේ ජීවත් වෙනකොට වචන ගැන හරි සැලකිලිමත් වෙන්න ඕනේ. තව කෙනෙක් එක්ක කතා කරන්නේ මොනවද? තව කෙනෙක්ට කියන්න ඕනේ මොනවද? කියන්න ඕනේ නැත්තේ මොනවද? කියන එක අපේ ඔළුවේ තියෙන්න ඕනේ.
මේ සමාජයේ ඕනෑවට වඩා පැණි විදිහට කතා කරන අය තමයි අපි නැති තැන අපිව විවේචනය කරන්නේ. අපි නැති තැන එයාලට අපිව මාතෘකා. හැබැයි අපිව මාතෘකාවක් වෙන එක ගැන අකැමැත්තක් පෙන්නන්න එපා. එහෙම මාතෘකාවක් වෙලා තියෙන්නේ අපි මොනවා හරි කරලා තියෙන නිසානේ. ඒක නිසා ඒ ගැන ගොඩක් ලොකුවට හිතන්න ඕනේ නැහැ.
මම ඔයාලට යෝජනා කරන්නේ දිව දෙකේ මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවට වඩා හොඳම දේ තමයි තේරුම් අරගෙන ජීවත් වීම. අපි දන්නවා එයාලා අපිට රිදවනවා කියලා. අපි දන්නවා අපි නැති තැන අපිව විවේචනය කරනවා කියලා. හැබැයි එහෙම අය තේරුම් අරගෙන ජීවත් වුණහම ලේසියි.
ඒ මිනිස්සු ඔයා ගැන තව කෙනෙක් එක්ක කියන දේවල් දැනගත්තාම ඔයාට පුළුවන් එයාව විශ්ලේෂණය කරන්න. ඒකෙන් ඔයාටම ඒ කෙනා ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම්සහගත වෙන්න සහ අනවශ්‍ය වචන කටින් පිටවෙන්න දෙන්න එපා. අපි කරන වැරද්දක් තමයි, එයාලා කියන ඒවට අපි හූමිටි තියන ගමන්, අපි කැමැතියි අපේ අදහසකුත් කියන්න. හැබැයි එහෙම නොකියා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද අපේ අදහස් වැරදි විදිහට එයාලා තැන තැන කියන්න පුළුවන්.
එක ගැහැනු කෙනෙක්ගේ දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වෙලා තිබුණා. ඉතින් එයාගේ දරුවගේ ප්‍රතිඵල කිව්වම අනෙක් කෙනා තව කෙනෙක් එක්ක කියනවා "ඔය බොරු ඔය ගෑනි කියන්නේ ඇත්ත නෙවෙයි" කියලා. තත්පර ගාණකට කලින් හොඳට කතා කරපු කෙනා තව කෙනෙක් එක්ක අර විදිහට කතා කරනවා.
හයියෙන්ම සාදු කියන්නේ වැඩියෙන්ම පව් කරන මිනිස්සු කියලයි මම නම් කියන්නේ. ගොඩාක් ආගමික භක්තිය ඕනෑවට වැඩියෙන් පෙන්නන්නේ එහෙම මිනිස්සු. මිනිහෙක් මැරුණම එතැනට ඇවිල්ලා වැඩියෙන්ම වැළපෙන්නේ ඒ මිනිය මරපු කෙනා. එහෙම බලද්දී අපි මේ ජීවිතය ගෙනියන්නේ දෙබිඩි මිනිස්සු එක්ක. දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියන්නේ ඒකට. උදේට මල් වට්ටියක් අරගෙන යන අය රෑට මිනීමරන විදිහ අපි දන්නවා.
මම ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යවල දකිනවා කවුරු හරි නිළියකගේ නමත් එක්ක කෝටිපති පෙම්වතා, කෝටිපති සැමියා කියලා දාලා තියෙනවා. මම හිතනවා අවුරුදු 26ක් වගේ මේ තරම් තරුණ වයසෙදි කෝටි ගණන් හම්බ කරන්න එයාලා මොනවද කරලා තියෙන්නේ කියලා. උගත්කමක් සමහර අයට ඇත්තෙම නැහැ. ඇත්තටම එහෙම හම්බ කරන්න බැහැ. අනිවාර්යයෙන් දේශපාලනඥයින්ගේ කළු සල්ලි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාලගේ කළු සල්ලි තියෙනවා. එයාලා හම්බ කරන්නේ නීති විරෝධි විදිහට. මම හිතන්නේ නැහැ උපතින් දේපළක් නැත්නම් කෝටි ගණන් හම්බකරන්න පුළුවන් කියලා අවුරුදු 30ක් වෙද්දී. සමහර වෙලාවට ඊර්ෂ්‍යසහගත මිනිස්සු පොලීසියට නැති දේවල් කියනවා. "මෙයාලා හම්බ කරන විදිහ සැකයි" කියලා. ඇත්තටම බලද්දි එයාලා නීත්‍යානුකූලව හම්බකරලා තියෙන්නේ.
අපි හිතන්නේ මේ විදිහට දිව දෙකෙන් කතා කරන්නේ ගැහැනු විතරයි කියලා. අපෝ නැහැ පිරිමිත් එහෙම කතා කරනවා. සමහර පිරිමි එළියට කලිසම්, ෂර්ට් ඇන්දට ඇතුළතින් චීත්ත ඇඳලා ඉන්නේ. චීත්ත අඳිනවා කියන්නෙ අනුන්ගේ දේවල් හොයන එක, අනුන් ගැන කතා කරන එක, ඊර්ෂ්‍යා කරන එකට.
එහෙම මිනිස්සු අඳුරගන්නත් ලේසියි. එහෙම අය ඕනෑවට වැඩිය අතගානවා. ඕනෑවට වඩා ඇගෑලුම් පානවා. ඒ නිසා හරි මනුස්සයව අඳුරගන්න. වැරදි මනුස්සයට ඔයාගේ වැරදි, ගෙදර වැරදි, සැමියාගේ වැරදි, ලිංගික සම්බන්ධකම් ගැන ඔය ඔක්කොම විශ්වාස කරලා කියනවා. අන්තිමට ඒවා පාරාවළල්ලක් වෙලා තමයි එන්නේ.
මේ ළඟදී දවසක මගේ මිතුරියකගේ සැමියා නැති වුණා. එයාට දරුවන් නැහැ. එයාලා ළඟදි බැඳපු යුවළක්. ඒ කාන්තාව දවස් ගාණක් තිස්සේ සුදු පාට ඇඳුම්ම ඇඳලා අඳින්න තවත් සුදු ඇඳුමක් නැති නිසා මළ ගෙදරින් දවස් දෙක තුනකට පස්සේ තද රතු පාට ගවුමක් ඇඳගෙන හිටියා. ඒක බලන් හිටපු ගැහැනු කෙනෙක් කියනවා "මේ ගෑනිගේ මිනිහා මැරිලා දවස් තුනක්වත් නැහැ. තද රතු ඇඳගෙන ඉන්නවා" කියලා වෙන කෙනෙක් එක්ක. හැබැයි ඇය මියගිය සැමියාගේ බිරිය එක්ක හරි ආදරයෙන් කතා කරනවා. ඒ වගේ මිනිස්සු තමයි හැම තැනකම ඉන්නේ. ඊයේ පෙරේදා අම්මා කෙනෙක් පෙර පාසල් ගිය දරුවා අරගෙන යන ගමන් හිටියා. ඒ දරුවා අඬනවා අයිස් ක්‍රීම් ඕනේ කියලා. ඒ අම්මා දරුවාට හයියෙන් බැණ බැණ ගියා. හැබැයි මම එනවා දකලා "අනේ මගේ රෝස මලේ, දැන් අයිස් ක්‍රීම් කන්න බැහැනේ. දැන් කෑවොත් මගේ මැණික අසනීප වෙයිනේ" කියලා මට ඇහෙන්න කියනවා. ඉතින් මං දන්නවා මේක රඟපෑමක් කියලා. ඒ වගේ දිව දෙකේ මිනිස්සු අඳුරගන්න අපිට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා දිව දෙකේ මිනිස්සුන්ට රැවටෙන්නත් එපා. දිව දෙකේ මනුස්සයෙක් වෙන්නත් එපා.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව