හැකර්ස්ලට මාට්ටු නොවෙන පාස්වර්ඩ් එකක් දාමු

සැප්තැම්බර් 30, 2024

 

ඔබේ ඊමේල් ගිණුම, සමාජජාලා ගිණුම් වෙන කෙනෙකුගේ අතට පත් වුණොත් ඔබට මොනවා හිතේවිද? ඔබේ ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය ආදියට ඔබට හොරෙන් කවුරුන් හෝ ඇතුළු වුණොත් ඔබ මොකද කරන්නේ? ඔබගේ පෞද්ගලික කරුණු බොහෝමයක් පිටතට අනාවරණය වෙන්නට එයින් මඟ පෑදේවි. මේ ප්‍රශ්නයට තියෙන හොඳම විසඳුම තමයි ශක්තිමත් මුරපදයක් යෙදීම. හරි විදිහේ පාස්වර්ඩ් එකක් යොදුවොත් බය වෙන්න දෙයක් නැහැ.

 

දිග මුරපදයක් යොදන්න

 

එහිදී ඔබේ මුරපදයේ උපරිම ස්ථාන ගණන අටකට වඩා වැඩි වෙන්න ඕනේ. ඔබ දැකලා ඇති gmail ගිණුම් වගේ පිළිගත් ගිණුමක් සකසන්න උත්සාහ කරද්දී ඔබට ඔවුන් ස්ථාන 8කට වඩා වැඩි මුරපදයක් ඉල්ලනා ආකාරය. 

 

අනුමාන කළ හැකි මුරපද එපා

 

ගොඩ දෙනෙක් මුරපදයක් යොදද්දී උත්සාහ කරන්නේ තමන්ට පහසුවෙන් මතක තියා ගන්න පුළුවන් මුරපදයක් යොදාගන්න. තමන්ගේ නම, උපන්දිනය, ජංගම දුරකතන අංකය වගේ දේවල් මුරපදයකට යොදන එක භයානකයි. එය ඔබට මතක තියා ගන්න පහසු වුණත්, පිටස්තරයෙක්ට පහසුවෙන් අනුමාන කරන්න පුළුවන්.

 

විවිධ ගිණුම්වලට විවිධ මුරපද යොදන්න

 

ඔබ ඔබේ ඊමේල් ගිණුමට යොදන මුරපදයම ෆේස්බුක් ගිණුමට යොදන්න එපා. ඔබේ එක මුරපදයක් වැරදීමකින් හෝ පිටස්තරයෙක් දැන ගත්තොත් ඔහුට ඔබේ හැම ගිණුමකටම ඇතුල් වෙන්න හැකි වීමයි එයට හේතුව.

මුරපදය සකසද්දී අකුරුවලින් විතරක් මුරපදය සකසන්න එපා. මුරපදයට ඉලක්කම් සහ සළකුණුත් එකතු කරන්න. මුරපදය හැකි තරම් සංකීර්ණ කරන්න. එතකොට එය කාටවත් අනුමාන කරන්න බැහැ. 

මුරපදයේ මැද සමහර අකුරු කැපිටල්වලින් තබන්න. එවිට යමෙකුට ඔබේ මුරපදය අනුමාන කළත්, සිම්පල් අකුරු මොනවාද, කැපිටල් අකුරු මොනවාද යන්න අනුමාන කළ නොහැකි වෙනවා ඇත. 

 

සිද්ධියක් මතක් කරගෙන මුරපදය සකස් කරන්න 

ඔබේ පෞද්ගලික තොරතුරුවලින් මුරපදය සකස් කළොත් තමයි පිටස්තරයන්ට එය අනුමාන කළ හැකි වෙන්නේ. හිතන්න, ඔබ දිය ඇල්ලක් බලන්න යනවා. ඒ යන අතරමග ඔබට අමුතුම විදිහේ ගස් වර්ග කීපයක් දක්නට ලැබෙනවා. ඔබ ඒ පැත්තේ ඉන්න ගැමියෙක්ගෙන් විමසනවා මේ ගස් ජාතිය මොකද්ද කියලා. එතකොට ඔහු ඔබට ඔබ කළින් අහලවත් නැති නමක් කියනවා. අන්න ඒ නම ඔබ ඔබේ මුරපදය විදිහට දැමුවොත් ඔබ සාර්ථකයි. මොකද ඒ සිදුවීම දන්නේ ඔබ පමණයි. කිසිම පුද්ගලයෙක්ට ඔබ යෙදූ මුරපදය කොහොමටවත්ම අනුමාන කරන්න බැහැ.

 

උපක්‍රම අනුගමනය කරන්න 

 

ඔබට අවශ්‍යයි ඔබේ මුරපදය විදිහට “turpentine” butterfly කියන වචනය යොදන්න. ඔබ තීරණය කරනවා b අකුර වෙනුවට d අකුර යොදන්න. tt වෙනුවට ff යොදන්න. l අකුර වෙනුවට 7 ඉලක්කම යොදන්න. හොඳයි අපි දැන් බලමු ඔබේ අලුත්ම මුරපදය මොකද්ද කියලා. 

butterfly - dufferf7y

එය කිසිම කෙනෙකුට අනුමාන කරන්න බැරි බව ඔබට පෙනෙනවා ඇති.      

 

මුරපදය තැන් තැන්වල ලියන්න එපා 

 

සමහරු තමන්ට තමන්ගේ මුරපදය අමතක වෙයි කියලා තියෙන බයට එය තැන් තැන් වල ලියලා තියා ගන්නවා. හැබැයි ඔබ එහෙම ලියපු කොළයක්, දිනපොතක් වෙන අයෙකුගේ අතට පත් වුණොත් ඔබ මොකද කරන්නේ? මේ නිසා ඔබේ මුරපදය ඔබම මතක තබා ගන්න.