දුෂ්කරයි කියා අත්හළ යුතු නොවේ ජීවිතේ

අපි හැමෝම එක්වී මේ අභියෝගය ජයගනිමු
ජුනි 27, 2022

 

 

රම්පෙ, කරපිංචා පවා මිලදී ගන්නා අයට මල් පෝච්චියක හෝ රම්පෙ පැළයක්, කරපිංචා පැළයක් සිටුවා ගත හැකිය.

දුෂ්කර කාල සීමා විටින් විට ජීවිතවලට පැමිණේ. අද අප ගෙවන්නේ පොදුවේ සියල්ලන්ට ම දුෂ්කර වූ කාල සීමාවකි. එය රටට ද දුෂ්කර වූවකි. වසංගත බියෙන් වසර දෙකකට අධික කාලයක් දිවි ගෙවූ අපට දැන් පැමිණ ඇත්තේ උග්‍ර ආර්ථික අර්බුදයකි.

 

ඇතැම් අයට රැකියා පවා අහිමි වී ඇති අතර රැකියා කරන පිරිසට වුවද ලබා ගන්නා වේතනයෙන් මාසයේ වියහියදම් පියවා ගැනීමට නොහැකි ය. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇති අතර ඇතැම් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමටවත් වෙළෙඳපොළේ නැත. ප්‍රවාහන වියදම් පවා හතර පස් ගුණයකින් ඉහළ ගොස් ඇති නිසා ගමන් බිමන් යාම වුවද දෙවරක් නොව, හතර පස් වරක් සිතා තීරණය කළ යුතුව තිබේ.

මේ ආර්ථික අපහසුතා නිසාම සොර සතුරු උවදුරු ද වෙනදාට වඩා වැඩි වී ඇත. වෙනදාටත් වැඩියෙන් අපේ දේ රැක ගැනීමට ද උනන්දු විය යුතුය.

 

වියදම් පිරිමසාගන්න

මේ තත්ත්වය හමුවේ කෙසේ හෝ ජීවිතය පවත්වාගෙන යාමට අපට සිදුවේ. කොතරම් බාධක, අපහසුතා පැමිණියත් ජීවිතය අතහැරිය නොහැකි ය. අපේ ජීවිතය හා බැඳී ඇති තවත් ජීවිත ගණනාවක් ජීවත් කරවීමට අපට සිදු වී ඇත. ඒ නිසා දිරියෙන් හා බුද්ධිමත්ව ඒ වෙනුවෙන් මුහුණ දිය යුතුය.

වියදම් පිරිමසා ගැනීමට අපේ ඇතැම් පුරුදු අපට වෙනස් කරගැනීමට පවා සිදුවිය හැකියි. ආහාර පාන ගැනීමේ දී වෙනදා මෙන් සුපිරි වෙළෙඳසැළේ ඇති අපට සිතෙන බොහෝ දෑ මිලදී ගැනීම නොකළ යුත්තකි. දකින දකින දේ ගන්නවා වෙනුවට නිවෙසේදී ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් ලියා එය මිල දී ගත යුතුය. හැම දේම මිල දී ගන්නවා වෙනුවට සුළු සුළු වියදම් යන දේ අපට නිවෙසෙන් හෝ ගෙවත්තෙන් සපයා ගත හැකි නම් ඒ වෙනුවෙන් යන වියදම් ඉතිරි වේ.

රම්පෙ, කරපිංචා පවා මිලදී ගන්නා අයට මල් පෝච්චියක හෝ රම්පෙ පැළයක්, කරපිංචා පැළයක් සිටුවා ගත හැකිය. බිස්කට් ටින්, ඉවත දමන පිටිකවර වැනි දේවල වුවද මිරිස් පැළයක් හෝ සිටුවා ගත හැකිය. තමාට හැකි පමණින් පළා කොළ ටිකක් හෝ සිටුවා ගැනීම මඟින් ආර්ථිකයට සුළු හෝ සහනයක් ලබා ගත හැකියි.

 

ආහාර කල්තබා ගන්න

කල් තබාගෙන ප්‍රයෝජනයට ගත හැකි ආහාර වර්ග කල් තබා ගැනීමට උනන්දු වන්න. අටුකොස්, දෙල් අටුකොස්, වේලාගත් බිලිං, ලුණු දෙහි, ලුණු දැමූ අඹ, ජෑම් වර්ග ලෙසින් කල් තබා ගැනීමට හැකි ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීමෙන් අපට ඉදිරියේ දී ඒවා ප්‍රයෝජනයට ගත හැකියි.

එයට අමතරව විදුලිය, ගෑස් පිරිමසා ගැනීමට වේල් කිහිපයක් හෝ දින කිහිපයක් තබාගෙන ආහාරයට ගත හැකි මෝජු වර්ග, බැදුම් වර්ග ආදිය සකසා ගන්න.

මේ තත්ත්වය යම් දුරකට හෝ සමනය වන තෙක් අත්‍යවශ්‍ය ගමන් බිමන් පමණක් යාමටත් බොහෝ විට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමත් සුදුසු ය. ඇතැම් අය කුඩා දුරකට පවා මෝටර් රථයෙන් යාමට පුරුදු වී ඇත. එසේ නැතිව කුඩා දුරකට යාමේදී පා ගමනින් හෝ බස් රථයකින් එසේත් නැතිනම් පාපැදියක් භාවිත කිරීමෙන් වියදම් යම් පමණකට අඩුකර ගත හැකිය.

 

දේශීය දේට මුල්තැන

අපට ඇති ඇඳුම් කැඩුම්, නිවෙසේ ඇති බඩු භාණ්ඩ පවා ඉතාමත් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. එසේ කිරීමෙන් අලුත් ඒවා ගැනීමට යන වියදම ඉතිරි කරගත හැකියි. එමෙන්ම හැකි සෑම විටෙකම දේශීය ආහාර ද්‍රව්‍ය මෙන්ම දේශීය නිෂ්පාදන සඳහා මුල් තැනක් ලබා දෙන්න. ඉන් ඔබේ මුදල් මෙන්ම රටේ මුදල් ද නාස්තිවීම අවම කරගත හැකියි.

හැකි සෑම විටෙකම ඔබේ අසල්වාසීන්ට හිත මිතුරන්ට පමණක් නොව, නන්නාඳුනනා අයට පවා උදවු උපකාර කරන්න. මේ අප ගෙවන්නේ ඉතාමත් අසීරු කාලයක් බැවින් අප හැම කෙනකුට ම අන්‍යයන්ගේ උදවු උපකාර අවශ්‍ය වේ.

 

අපතේ නොයවන්න

ඔබේ වත්තේ හැදෙන ඵලදාවෙන් වේලකට සෑහෙන ප්‍රමාණයක් හෝ තවත් අයකුට ලබා දෙන්න. වත්තේ හැදෙන කොස් ගෙඩියෙන් කොටසක් අහළ පහළ අයටත් දෙන්න. ආහාර සෑදීමේ දී නිවෙසේ සිටින සාමාජිකයන්ට සෑහෙන සේ අපතේ නොයන පරිදි සකසන්න.

ආහාර සැකසීමේ දී බත් වේලක් සඳහා සෑම විටෙකම සලාදයක්, සම්බෝලයක්, මැල්ලුමක් ආදිය එකතු කරගැනීමෙන් සිරුරට පෝෂණයක් ලැබෙන අතර ම ඔබේ ඉවීමට යොදා ගන්නා බලශක්තිය ඉතිරිකර ගැනීමට ද හැකියාව ලැබේ.

සොර සතුරන්ගෙන් බේරා ගත යුත්තේ ඔබේ කනකර, නිවෙසේ බඩු භාණ්ඩ පමණක් නොවේ. මේ වන විට වාහන, වාහන අමතර කොටස් පවා සොරකම් කරන තත්ත්වයක් පවතින බැවින් හැකි හැම විටෙකම ඔබේ වාහන ද පරෙස්සම් කරගන්න.

 

මනස සංසුන් කරගන්න

මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මක මෙන්ම අයහපත් ලෙස ජීවිතයට බලපෑම් කළ හැකි අවස්ථාවකි. එමනිසා ආවේගශීලී නොවී, බුද්ධියෙන් සිතා බලා කටයුතු කළ යුතුය. සිහියෙන් සිටිය යුතුය.

හැකි හැම විටෙකම භාවයන් සංසිඳුවන සංගීතයකට හෝ ගීතයකට සවන් දෙන්න. එය ඔබේ ආවේග පාලනය කිරීමට ඔබට පිටිවහලක් වේවි. මනස සැහැල්ලුවෙන් තබා ගැනීමට උනන්දු වන්න. හැකිනම් දිනකට විනාඩි කිහිපයක් භාවනා කරන්න. ඉන් මනස සන්සුන් කරගැනීමට හැකියාව ලැබේ. මේ අමාරු කාලයේ දී අපේ යුතුකම ඉටු කරමින් කෙසේ හෝ ජීවිතය ජයගන්න. මේ අසීරු කාලය ජය ගතහොත් අනාගතය සුබදායක වනු ඇති. ජීවිතය අන් සියල්ලට වඩා වැදගත් බව සිතන්න. ජපානය දෙවැනි ලෝක යුද සමයේ දී පරමාණු බෝම්බයක් නිසා ඉතාමත් දුක්ඛිත තත්ත්වයට වැටුණද ඉන් වසර කිහිපයක් ඉක්ම ගිය තැන සංවර්ධිත රටක් ලෙස ඉදිරියට පැමිණියේය. ඒ ජපන් ජනතාවගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි. අලසකමින් තොරව එකාමෙන් වැඩ කිරීමෙන් ඔවුන් තම රට ගොඩනැගූහ.

අපට ද එලෙසින් එකාමෙන් වැඩ කිරීමෙන් හා අපේ දේ පරිභෝජනය කිරීමෙන් අපේ රට නැවතත් යථා තත්ත්වයට පත් කළ හැකිය. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම එක්වෙමු.