කොවිඩ් හමුවේ ඔබේ රැකියාවත් අස්ථාවර ද?

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඔබේ අවධානය පිණිසයි
මැයි 27, 2020

ඇසට නොපෙනෙන ජීව උණ්ඩයක් මුළු ලොවක්ම දණ ගස්වා තිබියදී කෙනෙකුගේ රැකියාව අහිමි වුවහොත් ... දරාගත නොහැකි වේදනාවකට මුහුණ දෙන්නට වේවි. ඇතැම් සේවායෝජකයින් තම සේවකයින්ගේ රැකියාවට නැවතීමේ තිත තබනුයේ හිතක් පපුවක් නොමැති අයවලුන් සේය.

අනපේක්ෂිත මොහොතක රැකියාව අහිමි වීමෙන් අසීරුතාවට පත්වූ මොවුන් කබලෙන් ළිපට වැටුණා සේය.

මේ හදිසියේ නැවත රැකියාවක් සොයා ගන්නේ කොහොමද? ආර්ථිකය බොහෝසෙයින් කඩාවැටුණු මොහොතක, බොහොමයක් ආයතන පාඩු ලබමින් සිටියදී කෙතරම් සුදුසුකම් සපුරා තිබුණත් අලුතින් රැකියාවක් සොයා ගැනීම ලෙහෙසි පහසු නැත.

ඔබත් පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුව සිට නොසිතූ මොහොතක රැකියාව අහිමි වූයෙක් ද?

එසේ නම් අහිමි වූ රැකියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා අයුරු පිළිබඳ ඔබ සතු දැනුවත් වීම කෙසේද? මේ ඒ වෙනුවෙන් කරන මඟපෙන්වීමකි.

සේවකයාට වාසිවන අන්දමින්

ඔබ දන්නවාද බොහොමයක් කම්කරු නීති සැකසී ඇත්තේ සේවකයාට වාසිදායක වන අන්දමිනි. රැකියා සම්බන්ධ කම්කරු නීති විවිධ සංශෝධනයන්ට ලක්වෙමින් ක්‍රියාත්මක වෙයි.රැකියා ලාභියෙක් රැකියා සම්බන්ධ මූලීක නීති පිළිබඳ හෝ දැන සිටීම වැදගත්.

කම්කරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම රටක් සංවර්ධනය කරා යෑමේ නිර්ණායකයකි.

විදෙස් රටවල් යම්යම් ආයෝජනයන් කරන්නේ ද එවැනි රටවල් සමඟයි.

සේවය අවසන් කිරීමේ (විශේෂ විධි විධාන) පනත  Termination of Employment  of workmen

පෞද්ගලික අංශයේ නියුතු රැකියාලාභීන් මේ දිනවල ඉහත සඳහන් විධිවිධාන පනත පිළිබඳ දැන සිටීම වැදගත්.

සේවය අවසන් කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට නම් එම ආයතනය හෝ ව්‍යාපාරය පහත සඳහන් කොන්දේසි තුන සපුරා තිබිය යුතුවේ. එනම් එම ආයතනය හෝ වෙළෙඳසැල අනිවාර්යයයෙන් ම පෞද්ගලික අංශයේ එකක් විය යුතුයි. මෙය රජය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා අදාළ වන්නේ නැත. දෙවැන්න එහි සේවකයින් අවමය 15 ක් දක්වා විය යුතුයි. සේවකයින් ඊට වඩා අඩු සංඛ්‍යාවක් සිටියදී මෙම පනත ක්‍රියාත්මක කළ නොහැකි වේ. තෙවැන්න එම සේවකයින් අඩුම දින 180 ට වඩා සේවයේ යෙදී සිටි අයවලුන් විය යුතුවේ.

සේවය අවසන් කිරීමේ පනත අවස්ථා දෙකකදී ක්‍රියා කරයි.

ඉන් පළමුවැන්න විනය කඩ කිරීම (disiplinary termination) පිළිබඳ නීතීමය තත්ත්වයයි. මෙහිදී සේවකයාට පළමුව දැඩි ලෙස අවවාද කරයි. බරපතළ විනය කඩකිරීමක් කොට ඇත්නම්, බරපතළ වැරැද්දක් කර ඇත්නම් සේවය අත්හිටුවයි.

විනය කඩ නොකළ අවස්ථාවකදී (non disiplinary termination) සේවය අත් හිටුවීම දෙවැන්නයි. මෙය අවස්ථා තුනකදී ක්‍රියාත්මක වෙයි.

ඉන් පළමුවැන්න නම් ආයතනය මුළුමනින් ම වසා දැමීමයි.

 

තවත් කොටසක් ලබන සතියේ...

 

උපදෙස්: කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය

නීතීඥ සර්වේස්වරන් අරුලනාන්තම්

 

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.