වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මම හැමවේලේම මිනිසුන්ගේ හදවතටයි කතා කළේ
කොවිඩ් වසංගතය අප රට තුළට පැමිණි අවස්ථාවේ සිට රජය විසින් එය මර්ධනය කිරීමට ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත්තේය. ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග ලහිලහියේ ක්‍රියාත්මක වෙද්දී මහජනතාව අතර මෙය බෝවීම වැළැක්වීම සඳහා නීරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.
සැබැවින්ම ඇඳිරිනීතිය අපට නුහුරු දෙයක් නොවුණත් මෙවැනි තත්ත්වයක් හමුවේ නීරෝධායන ඇඳිරිනීතිය පිළිබඳව ගැටලු බොහෝ දෙනකුට තිබිණි. ඔහුගේ රුව, ඔහුගේ කතාව ඔහුගේ පැහැදිලි කරදීම වැදගත්වූයේ මෙතැනදීය. පසුගිය වසංගත සමයේ අපේ රටේ ජනතාව අතරට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්විමට අවශ්‍ය පැහැදිලි කිරීම් කිරීමට, ඒ පිළිබඳව ඇති නීතිමය පැතිකඩ ගැන දැනුවත් කිරීමට ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය සෑම එකකම පාහේ ඔහු පෙනී සිටියේය. විශේෂයෙන් දිවා රෑ වෙනසක් නැතිව ඇතැම් විට මධ්‍යම රාත්‍රිය පසුවන තුරු පවා ඔහු රූපවාහිනී වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කරන්නට කටයුතු කළේය. සැබැවින්ම කොරෝනා මර්ධන සටන ඉතිහාසයට එක්වෙද්දී ඔහුගේ නමද ඒ අතර ඉදිරියෙන්ම සනිටුහන් වන බව නිසැකය. ඒ වෙනින් කවුරුත් නොව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාය. කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර දරමින් ජනප්‍රිය තරුවක් වූ ඔහු අද තරුණී තුළින් ඔබ දැනුවත් කරන්නට මෙලෙස එක්විය.
ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වෛරසය ඇති කළ මාරාන්තික රෝගය මැඬ පැවැත්වීම කිසියම් ආකාරයක සතුටුදායක තත්වයකට තිබුණත් සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපැදීමේදී කාන්තාව සතු කාර්යභාරය කුමක්ද?
ගෙදරක බොහෝ දුරට කාන්තාව ප්‍රධානියා වෙනවා. තවමත් නිසි ලෙස සෞඛ්‍ය නීති පිලිපැදීමේ ක්‍රියාවලියේදී ඇයට ලොකු කාර්යභාරයක් තිබෙන බව කිව යුතුයි. තමන්ගේ ස්වාමියා දරුවන් එළියට ගොස් නැවත නිවසට පැමිණිමේදී අත් සබන් ගා සෝදා පිරිසුදු වීමත,් මුඛ ආවරණ පැළඳ යාමට සැලැස්වීමත් සමාජ දුරස්ථභාවය හැම තැනදීම නිසිලෙස පවත්වාගෙන යාමත් අවදානම් කාලය ඒ ලෙසටම ගත කිරීමට වග බලා ගැනීම කාන්තාව සතු වගකීමක් වෙනවා. එවැනිම වැදගත් කාරයභාරයක් වන්නේ කිසියම් රෝග ලක්ෂණයක් ස්වාමියාට හෝ දරුවන්ට ඇතිවුවහොත් එය සැඟවීමක් නැතිව දැනුම් දීම. ඒ ලෙසම අත්‍යාවශ්‍ය කාරණයකදී මිස ගෙදරින් පිටට යාමට පවුලේ සාමාජිකයන්ට ඉඩ දෙන්න එපා.
පසුගිය කාලයේ කොවිඩ් වසංගතය වැඩි වී තිබුණු අවස්ථාවේදී යහළුවො දෙදෙනෙක් ජර්මනියේ සිට අප රටට පැමිණියා. එක් අයකු රෝග තත්ත්වය පිළිබඳව දැන කෙලින්ම රෝහල් ගතවුණා දෙදෙනාටම රෝගය ඇතිබව දැනගෙන සිට තිබුණත් අනෙකා ගෙදර සිටියා. මේ පුද්ගලයාටද රෝග ලක්ෂණ තිබු බව බිරිය දැන සිටියා. නමුත් මේ පිළිබඳව කිසවකුට නොකියා සඟවා සිටියා. බලන්න එහි ප්‍රතිපලයක් හැටියට තව කිහිප දෙනෙක්ම මේ රෝගයට ගොදුරුවෙලා පොකුරක් ඇතිවුණා. එය රත්නපුරේටත් ගියා බිරිඳ රෝගී තත්ත්වය සඟවාගෙන සිටි පුද්ගලයා නියමිත වෙලාවට ප්‍රතිකාර නොකළ නිසා මිය ගියා. එය අප කාන්තාවනට හොඳ පාඩමක්. ඒ නිසා මේ රෝග ලක්ෂණ ඇතිවුවහොත් නොසඟවා ප්‍රතිකාර ඇරැඹීම තමන්ටත් සමාජයටත් කරන ලොකු යුතුකමක්.
රූපලාවණ්‍යාගාර විවෘත වන්නේ කුමන නිතී රාමුවක් යටතේද?
රූපලාවණ්‍යාගාර පැවැත්වීමට නිර්නායක නීති රෙගුලාසි නිකුත් කර තිබෙනවා. තම ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමාගේ අධීක්ෂණය යටතේ එතුමාගේ උපදෙස් පරිදි ඒවා පවත්වාගෙන යා යුතුයි. එහි නීති උපදෙස් මාලාව එතුමා විසින් සපයනු ඇති. එහි නීති කඩ කරන්නන්ට දඬුුවම් ලැබෙන බවද සිහිපත් කරන්න ඕනෑ.
මංගල උත්සවයක් පැවැත්වීමට කටයුතු සැකසීමේදී කුමන නීති අනුගත විය යුතුද?
නොපවත්වා නොසිටිය හැකි තත්ත්වයේ උත්සයවයක් නම් පමණ පමණක් අත්‍යාවශ්‍ය නෑදෑයින් පමණක් සහභාගී වන අයුරින් සීමිත පිරිසකට පමණක් ආරාධනා කර ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමාගේ උපදෙස් හා නීති මාලාවේ සඳහන් පරිදි එය කළ හැකියි. එම නීති කඩා නීතියේ රැහැනට අසුවන්න එපා.
විදු දැනුම කොතෙක් තිබුණත් කිසිම රටකට මේ රෝගය නැති කරලීමට තවමත් පැහැදිලි පිළිතුරක් හෝ එන්නතක් සොයාගන්නට නොහැකිවෙලා. නමුත් අප එයින් ගැලවෙමින් සාර්ථකව මුහුණ දී තිබෙනවා. මේ සටනේදී ලත් අත්දැකීම් ඇසුරෙන් කිවහැක්කේ මොනවාද?
මේ රෝගය බෝවීම සිදුවුණේ පොකුරු ක්‍රමයට. ඒ බව අපගේ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයන් අවබෝධ කරගත් නිසා අපට ඒ පොකුර තුළ සිටි පිරිස නිරෝධායනයට ලක් කිරීමෙන් සෑම අවස්ථාවකදීම මේ රෝගය මැඬ පැවැත්වීමට හැකිවූවා. ඒ පොකුරු වලින් පිටස්තර රෝගියෙක් හමුවු විටදී බරපතල ප්‍රශ්න වලට මුහුණ දුන් අවස්ථා එමටයි. සෞඛ්‍ය නීති රීති අකුරටම පිලිපැදීමට උපදෙස් සෑම මාධ්‍යයකින්ම ලබා දෙන්නේ ඒ නිසයි. ජා ඇල පොකුර, සුදු වැල්ලේ පොකුර සහ එයින් ඇතිවුණු නාගලගම් වීදියේ පොකුර ඔබට මතක ඇති. එවන් පොකුරු නිර්මාණයට ඉදිරියේදී ඉඩ නොදී මේ සමාජය කොවිඩ් වලින් තොර කරන්න කාන්තාවටද හොඳ හැකියාවක් තිබෙනවා. දැන් රට යහපත් අතට හැරී තිබෙනවා නමුත් හොඳ අතට හැරුණු බොහෝ රටවල් නැවත නරක අතට හැරෙන බවද සිහියේ තබාගෙන සෞඛ්‍ය නීති පිළිපදින්න.
අපේ රටේ වාණිජ අග නගරය වන්නේ කොළඹයි. කොළඹ නගරයේ රැකියා සඳහා පැමිණෙන බොහෝ පිරිසක් පිටස්තර ප්‍රදේශවල ජනතාව. සාමාන්‍ය ජනතාවට කොළඹට එන්නට පුළුවන්ද?
කැලණි පාලමෙන් එහාට ගම්පහ දිස්ත්‍රික්කය. මොරටුව පාලමෙන් එහාට කළුතර දිස්ත්‍රික්කය. කොළඹ එන වැඩි පිරිසක් එන්නේ මේ ප්‍රදේශවල සිටයි. දැනටමත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කොළඹට ඒමට අවස්ථාව සලසා දී තිබෙනවා.
තවමත් සියයට සියයක් තත්ත්වය සාමාන්‍ය අතට හැරිලා නැති නමුත් ක්‍රමාණුකූලව නීති නොකඩා යාමට හැකිවේවි. අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සේවයට කැඳවා ඇති අයට දිස්ත්‍රික් මායිම්වලින් යම් ක්‍රමවේදයක් අනුව පැමිණීමට ඉඩ සලස්වා දී තිබෙනවා. මෙවැනි අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවලට පැමිණිමේදී නිරෝධායන නීති යටතේ ඒවාට අනුගත වී පැමිණිය යුතුයි. එයින් අදහස් කරන්නේ වැඩට පැමිණෙන ජනතාව අධෛර්යමත් කරන්න හිරිහැර කරන්න නීති පනවා නැහැ කියන එකයි. ඔබ කළ යුත්තේ රෝගය වැලැක්වීමේ කාර්යය සඳහා ඒ රෙගුලාසි වලට අනුව ක්‍රියා කිරිමයි්.
මේ රෝගය අප රටේ ව්‍යාප්තවීමට පටන් ගත් මොහොතේ සිට ජනතාවගේ බිය සැකදුරුකර මනසට සහනයක් දීමට වටිනා උපදෙස් ලබා දෙමින් සිටියදී රෝගී තත්ත්වයට පවා පත් වූ ඔබතුමාගේ චරිතය ජනතාවට සදාදරණීය චරිතයක් වූවා.
මා හැම වෙලේම මිනිසුන්ගේ හදවතටයි කතා කළේ. ඒ හැකියාව මට තිබෙනවා. එය තුළින් මේ රෝගය පාලනය කරන්න මා දැඩි වෙහෙසක් දැරුවා කියා මා විස්වාස කරනවා. මේ රෝගය රටපුරා ව්යාගප්ත කරලීම නතර කිරීමට මට දායකත්වයක් ලැබුණා. එය මා ජිවීතයේ ලැබූ ලොකු සතුටක්.
ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයෙන් බිඳක් තරුණී පාඨකයින්ට කියන්න?
මාගේ ජීවිතය මෙතෙක් ආපු ගමන ගැන කතා කරනවා නම් ගොඩක් කම්කටොලු මැද ඒමට සිදුවුණා. මාගේ ගම කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම, කනම්පැල්ල. අධ්‍යාපනය ලැබුවේ වෛද්‍යවරයෙක් වීමේ අදහසින්. නමුත් ඒ අදහස අතහැරලා පොලීසියට බැඳුණා.
එහිදී නීතිය හදාරා නීතිවේදී උපාධිය සමත් වී නීතිඥයෙක්ද වුණා. ඊට පසුව නීතිය පිළිබඳ පශ්චාද් උපාධියත් සමත් වූවා. ලෝකයේ රටවල් ගණනක සංචාරය කර අධ්‍යාපනය ලබලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ අවුරුදු 3කට ආසන්න කාලයක් රටවල් කිහිපයක රාජකාරී කළා. ඒ අතර සුඩානය සහ ඊශ්‍රායලය යන රටවලද සේවය කළා. මෙහිදී මා ලද දැනුම හා අත්දැකීම් තුළින් පොලීසියද කිසියම් ප්‍රමාණයකට ඉස්සරහට ගෙන ඒමට හැකිවුණා. මගේ බිරිය සුනේත්‍රා. දුව තුරුනී. පුතා අචින්. මාගේ පියා ජීවතුන් අතර නැහැ. අම්මා සිටිනවා. මා සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටින පවුලක වැඩි මහල් පුතා. මට බාල මල්ලිලා තුන්දෙනයි. නංගිලා දෙදෙනෙක් සිටිනවා. මාගේ රටේ ජනතාවට හොඳසේවයක් ලබාදීම පරම පැතුමයි.