සැෂේ පැකට් තහනම් බව දන්නවාද?

පෙබරවාරි 24, 2021

ඔබත් දෛනික පරිභෝජනයට සැෂේ පැකට් ගන්නවාද?

එහෙනම් විකල්පයක් කරා යන්නට වේවි

 

මිහිමත ජීවය ලද අප සැබැවින්ම මේ මහී කාන්තාවගේ දරුවෝ වෙමු. අම්මකු දරුවන්ට තම පණටත් වඩා ආදරය කරද්දී දරුවන් ඒ කෙරෙහි කිසිදු කෙළෙහි ගුණයක් නොදක්වන්නේ නම් නිසැකවම අපි මිහිමවගේ අකීකරු දරුවන් වෙමු.

නාගරීකරණය සහ කාර්මිකකරණයත් සමඟින් වෙසෙස් විපත් සඳහා ගොදුරුවන්නට සිදුව ඇත්තේ පරිසර මාතාවටයි. දයාර්දයෙන් යුතුව මිහිමව සුරකින්නට ඔළු නොසෑදුණු පිරිස් ප්ලාස්ටික් සහ පොලිතින්වලින් මිහිමව ඔතන්නට සිතයි. ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළේ ඕනෑතරම් ය. එහෙත් භාවිතයෙන් පසු ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් නැවත එකතු කිරීමේ වැඩපිළිවෙළක් මෙම නිෂ්පාදන ආයතන ක්‍රියාත්මක කරන්නේ නැත. එහි ප්‍රතිවිපාකයක් ලෙස දෛනිකව පරිසරයට මුදාහරින ප්ලාස්ටික් සහ පොලිතින් ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකි තරම්ය. සියයට දහයක්, දොළහක් වැනි ප්‍රමාණයක් නැවත එකතු කරද්දී ඉතිරි සියල්ල පරිසරයට මුදා හරින්නේ සිත්පිත් නැති අන්දමිනි.

කාණ්ඩ 5 ක් තහනමට

ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදනයට යම් යම් සීමා තහංචි පැනවිය යුතු බවට කාලෙන් කාලෙට විවිධ යෝජනා ඉදිරිපත් වද්දී එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යංශය මේ දිනවල යුහුසුළුව ක්‍රියා කරයි. ඒ අනුව මේ වසරේ මාර්තු 31 දා පටන් එක් වරක් පමණක් භාවිතයට ගෙන (Single use) පරිසරයට බැහැර කරන පොලිතින් හා ප්ලාස්ටික් කාණ්ඩ 5 ක් ගැසට් නිවේදනයකින් තහනමට ලක්කර ඇත. මාර්තු 31 දා පටන් එම නිෂ්පාදන වෙළෙඳපොළට මුදා හැරීමට නිෂ්පාදකයින්ට අවසර නැත.

මෙම තහනම මේ වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරිමට පියවරගෙන තිබුණත් නිෂ්පාදකයින්ට යම් සහන කාලයක් ලබාදීම උදෙසා මාර්තු 31 දා දක්වා දීර්ඝ කෙරුණි.

මෙම නිෂ්පාදනවල නියැළෙන සමාගම් බොහොමයක් එම ඇසුරුම් ආනයනය කරයි. මෙතෙක් ආනයනය කළ ඇසුරුම් වෙළෙඳපොළට දැමීමටයි මාර්තු 31 දක්වා වූ සහන කාලයක් ක්‍රියාත්මක වූයේ. එසේම එක්වරක් පමණක් භාවිත කොට ඉවතලන මෙවැනි නිෂ්පාදන පරිභෝජනය සඳහාම හුරුපුරුදුව සිටි පිරිසක් වෙති. ෂැම්පු, ජෙල්, ඩයි වර්ග - සැෂේ පැකට් ලෙසම භාවිත කරන අඩු ආදායම්ලාභි කොටසක් සිටියි. ඔවුන් තම ආර්ථිකයට සරිලන පරිදි මෙසේ පරිභෝජනය කළත් ඉන් වන පරිසර හානිය පිළිබඳ මෙතෙක් කාවැදුණු අවබෝධයක් නොතිබුණා විය හැකියි.

නොදිරන ප්ලාස්ටික් සහ පොලිතීන් පරිසරයට මුදා හැරීම පිළිබද ගැඹුරෙන්ම සිතිය යුතු කාලයයි මේ. මෙවැනි නිෂ්පාදන භාවිතය සඳහා හුරුවූවන්ට අපහසුවෙන් වුවත් විකල්ප ක්‍රම අනුගමනය කිරීමට නුදුරේදීම සිදුවේවි.

ඇසුරුම සඳහා විකල්ප ක්‍රම

එසේම නිෂ්පාදකයින්ට ඒ සඳහා වූ ඇසුරුම වෙනුවෙන් විකල්ප ක්‍රම අනුගමනය කරන්නට සිදුවේවි. ඉහත තහනමට ලක්වන කාණ්ඩ අතරේ වන ර්‍ථඡ්ඊ බෝතලය ගැන සිතා බලමු. මෙවැනි බෝතලයක්් සම්පූර්ණයෙන් ම දිරාපත්වීමට වසර 500 කට අධික කාලයක් ගතවේ.

ප්‍රධාන ගංගා ආශ්‍රිතව පානීය ජලය ලබාගනිද්දී ඒ සඳහා වූ බට පැය 6 - 7 කට වරක් අක්‍රිය වන්නේ සැෂේ පැකට් ලක්ෂ ගණනින් ඇවිත් සිරවන නිසායි. ගඟක මතුපිට සුන්දරත්වය එහි පතුලේ කොහෙත්ම නැත. පතුළේ ඇත්තේම ප්ලාස්ටික් සහ පොලිතීන් ය. ප්ලාස්ටික් වසර බොහෝ ගණනකින් දිරාපත් වුවත් මයික්‍රො ප්ලාස්ටික් දිරාපත්වන්නේම නැත. එය ජලයට එකතු වී වක්‍රාකාරව ජලය ආශ්‍රිත ජීවීන්, පානීය ජලය ගන්නා මිනිසුන් දරුණු ලෙඩ රෝගවලට ගොදුරු කරවයි. ඇතැම් සිල්ලර කඩ එහෙම පිටින්ම වැසී ඇත්තේ තැන් තැන්වල එල්ලා ඇති සැෂේ පැකට් වලිනි.

දෙවැනි අදියරේ නිෂ්පාදන 340 ක් තහනමට

පළමු අදියර යටතේ ඉහත කී කාණ්ඩ පහට අයත් දෑ තහනමට ලක්වද්දී දෙවැනි අදියරේ (මේ වසරේ මැද භාගයේ ක්‍රියාත්මක වේ) තහනමට හෝ පාලනය ලක්කිරීමට තවත් පොලිතින් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 340 කට ආසන්න ගණනක් ලැයිස්තුගත කර තිබේ. මාර්තු 31 දා තහනමට ලක්කෙරන කාණ්ඩවල ඇසුරුම වෙනුවෙන් විවිධ විකල්ප ක්‍රම කරා යෑමට නිෂ්පාදකයින්ට අවස්ථාව ලැබේ. එහිදී ජපානය වැනි රටක් ඉටි ආලේපිත (වැක්ස් කෝටඩ්) කඩදාසිවලින් තැනූ ඇසුරුම් විවිධ නිෂ්පාදන සඳහා යොදා ගනියි. මෙය දිරාපත්වන දෙයකි.

SLINTE හා එක්වන පරිසර අමාත්‍යංශය

පරිසර අමාත්‍යංශය ද නැනෝ තාක්ෂණික ආයතනය SLINTE සමඟින් එක්ව ප්ලාස්ටික් සහ පොලිතින් සඳහා වූ විකල්ප මොනවාද යන්න කෙරෙහි මූලික අවධානය යොමු කර තිබේ.

මෙහිදී ඉක්මනින් දිරාපත්වන පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග වලින් තැනූ ඇසුරුම් කෙරෙහි ද අවධානය යොමු වේ.

දිරාපත් වීමට වසර දහස් ගණනක් වැය කරන ප්ලාස්ටික් සහ පොලිතීන්, මාරයා බවට පත්කර ගන්නේ ඔබේ ඉදිරි පරම්පරාවන් නොවේද? ගෘහණියනි, ඔබටයි මේ ළබැඳි ආමන්ත්‍රණය. ඔබ පවුලේ උදවියත් සමඟින් සෘජුවම පරිසරයේ මතු පැවැත්ම උදෙසා ක්‍රියා කරන්න.

එසේ නම් ඔබ පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගන්නා හැම විටමත්, ඒවා බැහැර කරලන හැම විටකමත් සිතට ගන්න “මම මේ මිහිමවට ණය නොවෙමි. විනයෙන් යුතුව කටයුතු කරන්නෙමි.” ඔබේ පූර්වාදර්ශය පසුපස සැමියා, දූ දරුවන් නිරන්තර අත්වැලක් සේ පැමිණේවි. පවුලේ අය ඔබව තනි නොකරාවි. සොබාදම් මාතාව ඔබ පසුපසම සිටීවි.

 

 

උපදෙස් - පරිසර අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ

ඩබ්ලිව්. එම්. ඩී. වන්නිනායක