අවුරුදු 24 - 34 විවාහයට සුදුසුම වයසයි

මාර්තු 10, 2021

 

අපි දෙන්නා එක වහලක් යටට ඇවිත් දැන් මාස පහකුත් වෙන්න ළඟයි. දරු පැටියෙක් ගැන හිතන්න කාලේ හරි නේද කියලා ඔයාට හිතෙනවද සේමිත” හිරණ්‍යා සේමිත එක්ක එහෙම කිව්වේ හරිම ආදරණීය හැඟුමින්. සේමිතටත් තමාගේ දරු පැටියකුගේ මුහුණ බලන්න ආසාවක් ඇතිවෙලා තිබුණත් ඒ බව නොකියා හිටියේ හිරණ්‍යාගේ සතුට ගැන හිතලා.

“ඔයා කැමති නම් මමත් කැමතියි.”

අදහස් අතින් සේමිතයි හිරණ්‍යයි හොඳින්ම ගැළපෙනවා. එක්කෙනෙකුගේ අදහසට අනිකා ගරු කරන්නට හුරුවෙලා ඉන්න නිසා එහෙනම් තවත් පමා කරන්න හොඳ නැහැ කියලා දෙන්නම හිතුවා.

හිරණ්‍යා අනෙක් යුවතියන්ට වඩා ටිකක් වෙනස් කෙනෙක්. ඇය ඇඳුම් ඇන්දේ බොහොම චාම්ව. රසකාරක දැමූ ක්ෂණික කෑම, කඩ කෑමවලට හුරුවෙලා නොහිටපු නිසා වත්තේ පිටියේ හදා ගත්ත දේශීය කෑම් බීම්වලට මයි වැඩියෙන්ම ආසා කළේ.

හිරණ්‍යාට මේ හුරුව ලැබුණේ එයාගේ අම්මාගෙන්. අම්මා එයාවයි, නංගිලා දෙන්නවයි මල් තුනක් වගේ හරිම ආදරයෙන් රැක බලා ගත්තේ. දූලාම තුන්දෙනෙක් පවුලට එකතු වීම ගැන අම්මා හිටියේ හරිම සතුටෙන්.

“වෙන අම්මලා පුතාලා ලැබෙන්න ප්‍රාර්ථනා කරද්දී අපේ අම්මා හිතුවේ එයාට දුවලම ලැබෙනවා නම් හොඳයි කියලා.”

“මගේ දූලාත් මං වගේම දරුවන් මෙලොවට බිහි කරන්න දායක වේවි නේ. ඒක මට පිනකුත් වේවි.” හිරණ්‍යාගේ අම්මා හිතුවේ එහෙමයි. දරුවෙක් ලැබෙන්න ඉද්දී, දරුවෙක් ගැන හිතද්දී දුවකට තම මවගේ ආදරවදන් සිහිවන්නේ නිතැතින්මයි.

එයාලට පුංචි කාලේ ඉඳලා ම රසවත් ගුණදායක ආහාර වේලක් ලබාදෙන්න අම්මා උනන්දු වුණු අන්දම ඇයට මතක් වුණේ ඔවුන් අතරටත් තුන්වැන්නෙක් එන්න කාලය හරි කියලා හිතුණ නිසා. මේ හින්දා හිරණ්‍යා විවාහ වුණු දවසේ ඉඳලම වගේ පෝලික් ඇසිඩ් පෙති බිව්වා. සහකරු තෝරා ගනිද්දීත් ඇය හැඟීම්වලට පමණක් ම ඉඩ දුන්නේ නැහැ.

ලේ ඥාතීන් වීම දරුවන්ගේ අසාමාන්‍යතාවලට බොහෝ සෙයින් බලපාන කරුණක් බව ඇය දැන හිටියා. මෙය හැමවිටකමත් නොවෙන්න පුළුවන්. ඒත් ඇයි අපි ඒ වගේ හැඟීම්වලට ඉඩදී තීරණ ගන්නේ. ඒ දෙයින් අනාගතයේ අසරණ වෙන්නේ අපිට ලැබෙන දරුවොම වෙන්න පුළුවන්. ජීවිතය ගැන එතරම් අත්දැකීම් නොතිබුණත් ඒ විදිහට පුළුල්ව හිතන්න ඇය හැමවිටම පුරුදු පුහුණු වුණා. ඇවැස්ස මස්සිනා එහෙත් මෙහෙන් ඉඟි බිඟි කරද්දී ඇය මඟහැරියේ නොතේරුම්කමින් ඉන්නව වගේ, බොරු හැසිරීමක් මවා පාලා. එතකොට කාගේවත් ම හිත රිදෙන්නේ නැහැනේ. තැලිසීමියා රෝගියකු සිටින පවුලකින් නම් විවාහයක් කරගන්න හිතන්නේ විවාහයට පෙර අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් කරගත යුතුයි. ඒ සැඟවී තිබෙන ජානයකින් උපදින දරුවා තැලසීමියා දරුවකු වෙන්න පුළුවන් නිසා. ඡ්‍යෝතිෂයේ පොරොන්දම් ගළපනු වෙනුවට තැලිසීමියා පොරොන්දම ගළපා ගැනීම වැදගත් බව හිරණ්‍යා අසා තිබුණා. ඒ කොහොම වුණත් ලේ ඥාතීන් අතර විවාහයන් සඳහා ඇගේ අකැමැත්ත තිබුණේ හිරිමල් යෞවනයේ ඉඳලම යි.

අඩු වයසින් විවාහ වීමත්, විවාහවන වයස ඉක්මවා ගොසින් කෙරෙන විවාහවලින් හැකි තරම් මිදී නිසි වයසේදී විවාහ වීම වැදගත් යැයි හිරණ්‍යාට හිතුණේ නිරෝගී දරුවකු බිහි කරන්න මවගේ වයස එකහෙළාම වගේ බලපාන නිසා. අවුරුදු 24 - 34 අතර කාලය දරු ප්‍රසූතිය සඳහා සුදුසුම වයස. අවුරුදු 16 - 17 වගේ වයස්වලදී ආදරයක් විවාහයකින් අවසන් වුණෝතින් එතැනදී ඒ කාන්තාව ගැබ් ගන්නේ ඒ දෙන්නගෙම උවමනාවට නොවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක දී තුන් හිතින්ම අම්මයි, තත්තයි දෙන්නා දරුවා ප්‍රතික්ෂේප කළොත් නව මාසයක් අවසානයේ දී නිරෝගී දරුවකු මෙලොව එළිය දකී දැයි හිතන්න පුළුවන් ද?

වයස ඉක්මවා ගොස් තිබියදී දරුවකු කුසට පැමිණීමත් යම් අවධානමක් ගෙන දෙන්නක්. මෙවැනි අවස්ථාවක දී අම්මගෙයි, දරුවගෙයි දෙන්නගෙම ජීවිත අවදානමට වැටෙන්න පුළුවන්. නිසි වයසෙදි විවාහ වෙලත් අධ්‍යාපනය, ගෙවල් දොරවල්, යාන වාහන.... මේ වගේ භෞතික දේවල් සම්පූර්ණ කරලම දරුවෙක් හදනවා කියලා සිතීමත් නුවණට හුරු නැහැ.

දරුවා ඉපදුණු පසුවත් දරුවාට අවශ්‍ය පෝෂණය, මනා අධ්‍යාපනයක්, විශේෂයෙන් ම රැකවරණය... මේ දේවල් දෙන්න මව නිරෝගීව ඉන්න ඕන. ඒ සඳහා වන කායික හා මානසික ශක්තියෙන් ඇය පොහොසත් විය යුතුයි.

වයස වැඩිවත්ම ගැබිනියක් සංකූලතා සඳහා මුහුණ දීමට ඇති ඉඩකඩ වැඩියි. අධි රුධිර පීඩනය ඒ අතරින් විශේෂයි. මීට අමතරව දියවැඩියාව, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝග තත්ත්ව මේ ගැබිනියට බාධා කරන්න පුළුවන්.

මේ නිසයි හැකි තරම් අවුරුදු 24 - 34 වයස විවාහය සඳහා යොදා ගන්නට උපදෙස් දෙන්නේ.

 

BMI අගය

නිරෝගී දරු උපතක් අපේක්ෂාවෙන් ඉන්න මවක් BMI අගය (ශරීර ස්කන්ධ දර්ශකය) පිළිබඳ නම් හිතන්නම වේවි. එය 20 - 30 අතර අගයක පවත්වාගෙන යෑම වඩාත් සුදුසුයි. අඩුබර මවක් සේම අධික ස්ථුලතාවෙන් යුතු මවකට නිරෝගී දරු උපතකට තම බරම හරස් වේවි. කිසිම අම්මෙක් රෝගී දරුවවකු මිස, ආබාධිත දරුවකු කුසෙන් එළියට දාන්න හිතන්නේ නැහැනේ. එහෙනම් උසට සරිලන බරක් නිසි ලෙස පවත්වාගෙන යෑමට පොඩි කැපකිරිමක් කරන්නට වේවි.

 

හිරණ්‍යා ගැබිනියක් වේවිද? නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු ගේ උපදෙස් සමඟින් ඒ කතාබහ ලබන සතියේ සිට