හිඟන්නගෙ පාත්තරේටම හෙනහුරත්

දහඅට වැනි දින සටහන
මැයි 5, 2025

 

2016 ජුනි 15 අඟහරුවාදා

 

ඔෆීස් ගිහින් එන ගමන් ළමයි දෙන්න ගන්ඩ මහ ගෙදෙට්ට ගියාම නෑනණ්ඩි කිව්ව කතාව නම් අහක දාන්ඩ පුළුවන් එකක් නෙමෙයි.

“අදත් ජෝඩුවක් ආව නංගි ඇනෙක්සියක් හොයාගෙන. මහත්තයා ලොකු රස්සාවක් කරන්නෙ. නෝනව දවල්ට තනියෙන් ගෙදර දාල යන්ඩ පුළුවන් තැනක් තමයි හොයන්නෙ. ඉල්ලන ගාණට වැඩියෙන් වුණත් දෙන්නම් කියලා අපේ ගෙදර ඇහැව්වා. මට ඉතින් බෝඩිම කරනෙක ලාබයිනෙ නංගි ඇනෙක්ස් දෙනවට වඩා. අපරාදෙ නංගිලෑ ගෙදර පුංචි හරි කෑල්ලක් තිබුණ නම් අපූරුවට දෙන්ඩ තිබුණා.”

රෑ නිදාගන්ඩ ලෑස්ති වෙලා මං තිස්සත් එක්ක ඕක කිව්වම එයත් කිව්වෙ ටවුමට කිට්ටු හින්ද මේ පැත්තෙ ගෙවල් කුලියට දෙවිල්ලයි, බෝඩිම් වැඩෙයි තමයි දැන් නැඟල යන මරේ මරු බිස්නස් එක කියලා. ඇත්ත තමයි. කුකුළු කූඩු සයිස් කාමර කෑල්ලක් අටෝගත්ත නම් සල්ලි උල්පත.

මහගෙදරත් ඔය එක කාමරේකට බෝඩිංකාරියො හතර පස්දෙනා යසට ගාල් කරල ඉන්නෙ. නෑනණ්ඩි ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙලා අපේ ළමයි දෙන්නගෙ දවල් කෑම ටික එහෙන් දෙන්නෙ ඔය ලාබෙ හින්දා තමයි. මොකද අපිට ඉඩම් කෑල්ලක් විතරක් දුන්නට එයාටනෙ මහගෙදර හම්බුණේ. හරි විදිහට නම් බෝඩිං ගාස්තුවලින් කොටසකුත් අපිට එන්ඩෝනැ. ඕව ඔක්කෝම සැලකිල්ලට ඇරන් තමා මම ළමයි දෙන්නට දවල් කෑම එහෙම්ම දෙන්ඩ පුරුදු කරගත්තෙ. මාත් ඉතින් මොන දහං ගැටයක් දාලා හරි මගෙ කසාද අයිතිවාසිකම් දිනා ගන්ඩෙපෑ.

උඩ තට්ටුව එක පාර හැදිල්ලෙ අදහස පැත්තකින් තියලා කාමර කෑලි දෙකක් අටවල කුලියට දෙන්ඩ විදිහක් කල්පනා කරන්ඩෝනැ.

 

2016 ජුනි 17 බ්‍රහස්පතින්දා

 

හිඟන්නගෙ පාත්තරේටම හෙනහුරා කියලා සමන්තිගෙ දුව ලොකු වෙලාලු. ලොකු වුණ එක නෙමේ වැඩේ ඔෆිස් එකටම පාටියක් දෙනවා කියලා තෑග්ගට රත්තරං බඩුවක් ඇරන් දෙන්ඩ ලොක්කො සොක්කො ඔක්කෝම ඒකමතිකව සම්මත කරගෙන. මේ මාසෙ පඩියෙන් එක්කෙනෙක්ගෙන් එක්දාස් පන්සීයක් එකතු කරනවා කිව්වෙ. එක්දාස් පන්සීයක් කියන්නෙ ඉතින් සුමානයක් කන සල්ලිනෙ.

බැංකු ණය, ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්, අර බිල් මේ බිල් ඔක්කෝම ගෙවලා, දොස්තරලටත් පූජ කළාම අපි හුඟ දෙනෙක් මාසෙ කනවා නෙවෙයි ලෙවකනවා. එහෙව් එකේ තව අහක යන මඟුලක් දෙකක් ආවම කන බොන විදිහ නෙමේ නොමැරී ජීවත් වෙන විදිහයි කල්පනා කරන්ඩ ඉතුරු. ඇයි ඉතින් කෑම ඇරුණාම අනික් මොකක්වත් කපන්ඩ පුළුවන් වියදම් නෙමේනෙ. අපේ බඩ විතරයිනෙ මෙහෙමවත් අපට කීකරු.