පළමුව ගමේ සායනයට දෙවැනුව පුසූතිය සිදු කරන රෝහලට

මාර්තු 31, 2021

 

ආදරණීය යුවළක් අතරට පුංචිම පුංචි කිරිකැටියෙක්. එකින් එක පෙළ ගැසුණු හරිම සුන්දර හීනයක්. හිරණ්‍යයි සේමිතයි දෙන්නට මැදි වුණු පුංචි දුව දෙන්නම ආදරයෙන් තුරුළු කරගනිමින් ඇගේ රෝස පාට කම්මුල් දෙක දෙන්නා දෙපැත්තේ ඉඳන් සිප ගන්නවා.

 

එක්වරම හිරණ්‍යාගේ ඇස් විවර වුණා. සේමිතත් ඒ එක්කම වගේ ඇහැරුණා.

“මම ලස්සන හීනයක් දැක්කා. රෝසපාට කම්මුල් තියෙන පුංචි දුවක් අපි අතරට ඇවිල්ලා අපි දෙන්නම එයාව කිස් කරනවා.”

“අනේ ෂෝක් නේ. අපි අතරට දුවෙක් එනවා නම් ඔයා වගේම ලස්සන දුවෙක්.”

හිරණ්‍යාගේ කුසේ පුංචිම පුංචි කලලයක් වැඩෙනවා. සේමිත හරිම ආදරයෙන් ඇගේ කුස මතට අත තියාන ඉන්නවා.

හිරණ්‍යාගේ ගැබට සති කීයදැයි හරියටම දන්නේ නැහැ. උදේට උදේට ඔක්කාර ගතිය එන්න පටන් අරන්. කිරි බොන්න කලින් දත් මදින්නේ කිරිටික වමනෙට එන නිසා.

ගිය සතියේ දවසක හිරණ්‍යා එයා පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියව හම්බවෙන්නත් අමතක කළේ නෑ. එහිදී ඇයව ලියාපදිංචි කර ගැනීමක් සිදු වූවා. ගමේ සායනයේ කරන මූලික පරීක්ෂණ කිහිපයකුත් එහිදී සිදු කෙරුණා.

FBC - Full Blood Count

(මෙහිදී හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලීමයි මූලිකවම සිදු වන්නේ. මීට අමතර රුධිර පට්ටිකා මැන බැලීමකුත් සිදුවනවා.)

UFR - Urine full Report

VDRL/HIV - සමාජ රෝග වැළඳී ඇත්දැයි සොයා බැලීමට.

Blood Group and Rhesus - රුධිර ඝණය සෙවීමට සහ රීසස් සාධකය මැන බැලීම.

ගමේ සායනයේ ලියාපදිංචි වූ පසු දරු ප්‍රසූතිය සඳහා යොමුවීමට බලාපොරොත්තුවන රජයේ රෝහල වෙත යොමු කිරීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වෙතින් සිදු කෙරෙනවා.

මීට අමතරව රුධිර පීඩන මට්ටම මැන බැලීම, උසට සරිලන බරක් ඇත්දැයි බැලෙන BMI අගය මැන බැලීම ආදියත් සිදුවනවා.

ගමේ සායනයේ යොමු කිරීමට අනුව හිරණ්‍යා ඊළඟට යොමු වුණේ ද සොයිසා කාන්තා රෝහලේ පැවැත්වෙන සායනයට. කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මාතෘ රෝහල් දෙකින් එකක් වන නිසාත් පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයක් සිටින නිසාත් හිරණ්‍යාත් සේමිතත් දෙවරක් නොසිතාම දරු ප්‍රසූතිය සඳහා තෝරාගත්තේ ද සොයිසා කාන්තා රෝ්හල.

ඒ අනුව පළමුවරට හිරණ්‍යා රෝහලේ තිබුණු සායනයට සහභාගි වූවා. මේ දිනවල කෝවිඩ් වසංගතය නිසා ගැබිනි මවට පමණයි රෝහල් පරිශ්‍රය වෙත යා හැක්කේ. සේමිතට ගේට්ටුව අසල රැඳී සිටින්නට වුණා.

ගමේ සායනයේ දී කළ මූලික පරීක්ෂාවන් සියල්ල කෙරුණු නිසා Dating Scan එකක් සඳහා ඇයව යොමු කෙරුණා. නමේ අර්ථයෙන් ම මෙහිදී සිදුවන්නේ දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනය නිශ්චිතව හඳුනා ගැනීම. ඔසප් චක්‍රය නියමිත දිනයට සිදු නොවන මව්වරුන්ගේ දරු ප්‍රසූතිය සඳහා වූ දිනය නිවැරැදිව හඳුනාගත හැකි වන්නේ Dating Scan එකකින්. හිරණ්‍යාගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවන්නක්. මේ නිසා අවසන් වරට ඔසප් වූ දිනය ඇයට නිවැරැදිව පවසන්නට පුළුවන් වුණා.

දෙසැම්බර් 07 දා හිරණ්‍යා වෙත වෛද්‍යවරයා ලබාදුන් දිනයයි.

රෝහලෙන් පිටතට විත් සේමිතට ඔවුන්ගේ පුංචි කිරිකැටියා පැමිණෙන දවස කියාගන්නාතුරු ඇය සිටියේ නොඉවසිල්ලෙන්.

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ