ලෝකයේ පැවැත්ම තීරණය කරන සැබෑ ආදරය හඳුනාගන්න.

පෙබරවාරි 28, 2022

ආදරයෙන් මුහුකුරා යන්න..

මොහාන් පල්ලියගුරුගේ ගෙන් විග්‍රහයක්.

 

ආදරය බොහෝ දෙනෙක් ආදරය කරන වදනකි. තරුණ වියේ ආදරය සොඳුරු ය. ඇතැම් විට තමාට ඇති වූ හැඟීම හරියට ම ආදරයක්දැයි වටහා ගැනීමට ද අපහසු වූවෝද සිටිති.

ආකර්ෂණය, කැමැත්ත ආදිය ආදරය යැයි වැරැදි ලෙස වටහා ගන්නා අය ද නැතුවාම නොවේ. එසේ වූ විට ඒ සබඳතාව සාර්ථක එකක් වන්නේ නැත.

ආදරය යනු ආත්මාර්ථකාමී හැඟීමක් යැයි බොහෝ දෙනෙක් සිතා සිටිය ද එලෙස ආත්මාර්ථය සමඟ පවතින්නේ ආසාවක් පමණි. සැබෑවට ම ආදරය කරන අයකුට තමාගේ ආදරය හිමි වුවද නොවූවද ආදරය එසේම ය. සැබෑ ආදරය තමා ආදරය කරන කෙනාගේ සුබසිද්ධිය සතුට ම පතයි. කිසි විටෙක තමා ආදරය කරන පුද්ගලයාට කරදරයක්, හිංසාවක් නොකරයි. වෛර නොකරයි.

එක් තරුණියක් හා තරුණයෙක් අතර ආදර සබඳතාවක් තිබුණා. ඒ තරුණියට ආර්ථික අපහසුතා තිබුණ නිසා ඇයට ඉගෙනීමට වියදම් කළේ එම තරුණයා. ඔහු තම අධ්‍යාපනය මඟින් නතර කොට තම ආදරවන්තියට අධ්‍යාපනය සඳහා වියහියදම් කළා. ඇය හොඳින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාල වරම් ලැබුවා. එම තරුණිය විශ්ව විද්‍යාලයේ දී වෙනත් තරුණයෙක් හා සම්බන්ධයක් ආරම්භ කරනවා.

ඔබට විශ්වාස කළ හැකිද, ඒ තරුණියගේ විවාහය සඳහා වියදම් කරන්නේ ද ඇගේ පළමු පෙම්වතා. ඔහු තම පෙම්වතියගේ සතුට දැක සතුටු වුණා. මෙහිදී වැදගත් වන්නේ වටේ මිනිසුන් සිතන දේ හෝ කියන දේ නොවේ. තමාගේ සිතේ සතුටයි.

එම තරුණයා මහා මුහුකුරා යෑමකින් යුතුයි. එහිදී සැබෑ ආදරය අහිමි වීම වුණේ එම තරුණයාට නොවේ. එවැනි උදාර සිතුවිලි ඇති සැබැවින් ම ආදරය කළ ආදරයක් අහිමි වුණේ එම තරුණියටයි.

අල්ලා ඇද බැඳගෙන, සිරකොට ගෙන, මුරකාවල් දමා දඟලන දැඟලිල්ල ආදරය නොවේ. මෙහිදී පවසන්නේ ආදරයේ දී සොයා බැලීම්, ආරක්ෂා කිරීම් අනවශ්‍ය බව නොවේ. එම ආරක්ෂා කිරීම් සහ ආත්මාර්ථය උදෙසා කොටුකර තබා ගැනීම දෙකකි. අනෙක් පුද්ගලයාගේ සියලු ම දේ තමාට අවශ්‍ය සේ හැසිරවීම ආදරය නොවේ.

ආදරය කරන බොහෝ දෙනෙක් පවසන්නේ 'මට එයා නැතිව ජීවත් වෙන්න බෑ..' යනුවෙනි. නමුත් මෙය එතරම් හොඳ දෙයක් නොවේ. ඇයි අපි අපේ ජීවිත තවත් ජීවිතයක් සමඟ ගැට ගසන්නේ.? කවුරුන් හෝ පුද්ගලයෙක් මත, කිසිවක් මත අපේ ජීවිත යැපීම සුදුසු නොවන්නකි. අපිට බාහිර බලපෑමකින් තොරව අපේ ඉලක්ක කරා යාමට හැකියාව තිබිය යුතුය.

එසේ වෙනත් පුද්ගලයකු මත යැපීමෙන් අපි නැතිකර ගන්නේ අපේ පෞද්ගලික නිදහස හා සිතේ සාමයයි. බුදු දහමට අනුව හැමදේම අනිත්‍යයයි. එය සිතේ තබාගෙන කටයුතු කිරීම ආදරයේ දී ද වැදගත්.

විවාහයක දී, ප්‍රේමයක දී දෙදෙනාගේ ගැළපීමක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. ප්‍රේමයක දී නම් තමාට ගැළපෙන කෙනා තෝරා ගැනීමට හැකියාවක් තිබේ. තමාගේ පෙම්වතා තමාට නොගැළපේ නම් එතැනින් එහාට ජීවිතය පුරා එකට සිටිය හැකිදැයි ඔබම තීරණය කළ යුතුය. ඔහු හෝ ඇය ඔබට නොගැළපේ නම් ගළපා ගැනීමටත් නොහැකි නම් එම පෙම් සබඳතාව අසීරුවෙන් හෝ නවතා දැමීම සුදුසු ය.

විවාහ වී සිටින යුවළක් එකිනෙකා නොගැළපේ යැයි හැඟේ නම් ඔවුන් කෙසේ හෝ කැපවීමකින් තමන් දෙදෙනාගේ නොගැළපීම් ගළපා ගැනීමට හෝ එම නොගැළපීම ම බැඳීමේ පදනම කරගැනීමට තරම් ඥානාන්විත විය යුතුය. කෙසේවත් එසේ කිරීමට නොහැකි නම් ගහමරා ගැනීමකින් තොරව සාමදානයෙන් වෙන්විය හැකියි.

නමුත් මේ තීරණය ගන්නා විට දරුවන් සිටිනවා නම් සිතිය යුත්තේ ගැහැනියකට තවත් පිරිමියකු හෝ පිරිමියකුට තවත් ගැහැනියක සොයා ගත හැකි වුවත් දරුවන්ට තවත් අම්මකු හෝ තාත්තකු සොයා ගත නොහැකි බවයි. එමනිසා අපේ කැමැත්තට, අපේ ඕනෑ එපාකම් අනුව තීරණ ගත නොහැකියි. තීරණ ගැනීමේ දී එම තීරණ දරුවන්ට බලපාන ආකාරය ගැන කිහිපවරක් ම සිතා බැලිය යුතුය. මෙහිදී අපට දරුවන් කෙරෙහි වන වගවීම තිබිය යුතුයි. අපිට කැමැති ආකාරයෙන් එකතු වී දරුවන් සාදා ඔවුන් අසරණ කිරීමට නොහැකියි. එසේ කළත් අවසානයේ දී තමාගේ සිතම තමාට දොස් පවරන නිසා සිතේ සාමය නොපවතී.

අපට ජීවිතයේ දී සතුට, සැනසිල්ල නැතිනම් වෙන කොයිතරම් දේවල් තිබුණත් ඉන් ඵලක් නොවේ. ඒ නිසා සිදු කරන හැම කටයුත්තක් ම කෙදිනක හෝ සිතට වේදනාවක්, පසුතැවිල්ලක් නොවන දේ විය යුතුය. තමාගේ සැඳෑ අවධියේ දී දුකෙන් පසුතැවිල්ලෙන් සිටීමට සිදුවන දේවල් තරුණ අවධියේ දී නොකර සිටිය යුතුය. සාමයෙන් පිරුණු සැඳෑ අවධියක් ගත කළ හැකි වන්නේ එවිටයි.

ආදරය යනු විශ්වීය ලෝක ධර්මයක්. ලෝකයේ පැවැත්ම තීරණය වන්නේ ආදරය මතයි. ආදරය වෙනස් වන්නේ මෙය එක් එක් පුද්ගලයා අර්ථකථනය කරන ආකාරයෙන් හා ආදරයේ දී ක්‍රියා කරන ආකාරයෙනි.

ඔබ ආදරණීය නම් ජීවත් වීම පහසු ය. ඔබ ආදරණීය පුද්ගලයකු වන විට ඔබ අවට සිටින අනෙක් පුද්ගලයන් ඔබට ආදරය කරයි. ආදරණීය පුද්ගලයන්ගෙන් සමාජයේ අනෙක් අය ප්‍රයෝජන ගන්නා බවක් අනෙක් අය පැවසුවහොත් ඔබ සිතිය යුත්තේ එසේ කිරීම ඔවුන්ගේ ගතිය වුවත් ආදරණීය චරිතයක් වීම ඔබේ විදිය බවයි.

කොටින් ම අනෙක් පුද්ගලයන් නිසා ඔබ ඔබේ ආදරණීය බව නැතිකර ගතයුතු නැත.