ඇය පුංචි සෙලවීමකට පවා හැකිළෙන නිදිකුම්බාවක් නොවේ..

ඔක්තෝබර් 31, 2022

පුංචිම පුංචි ආධුනික ස්පර්ශයකට, සෙලවීමකට පවා කැලඹීමකට ලක්වෙමින් ක්ෂණිකයෙන් හැකිළෙන, අධි සංවේදීතාවෙන් යුතු වූ නිදිකුම්බා ශාකය සොබාදහම විසින් නිර්මාණය කළ අපූරුතම නිමැවුමකි.

 

එමෙන්ම හැඬුම් හඬ අතරින් හිනාවෙන පුංචි බිලිඳියකව ලොව එළිය දකිමින් එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ අවධීන් කිහිපයක් පසු කරමින් යන කාන්තාව මිනිස් ලෝකය තුළ සොබාදහම නිර්මාණය කළ අපූරුම නිමැවුමකි.

නමුත් සොබාදහමට මැදි වූ තලයන් දෙකක පවතින්නා වූ මේ අපූර්වතම නිමැවුම් ද්විත්වය වටා ගොඩනැඟී තිබෙන්නා වූ පරිසරය හාත්පසින්ම වෙනස්ය.

නිදිකුම්බාවෙහි දරාගැනීම ශුන්‍ය අගයකින් සටහන් වන විට කාන්තාව සතු වූ දරාගැනීමේ හැකියාව උපරිම අගයක් සටහන් කළ නොහැකිව අනන්තයේ පවතින බැවින් කාන්තාව දරාගැනීමේ ප්‍රතිමූර්තිය ලෙස ද හඳුන්වන්නට හැකියි.

පුංචිම පුංචි බිලිඳියක් විලසට අත් පා නඟන අවධියේ සිට ඇය ළදැරියක්ව කාලය පසු කරන්නට ද විවිධ වූ ශාරීරික මානසික වෙනස්කම්වලට ලක්වෙමින් නව යොවුන් විය තුළ සැරිසරන්නට ද එය ක්‍රමයෙන් විවාහය දක්වා ගොස් ඇය බිරියක් මවක් ලෙස අභිෂේක ලබන්නට ද අවසානයේ ඇය මිත්තණියගේ භූමිකාව තුළ ඇගේ කාර්යය නිමා කරන්නට ද දක්ෂකම් දක්වයි. මේ සියලු අවධීන් පසුකරමින් යන ඇගේ ජීවන ගමනේ ඇය ජයගත යුතු බාධාවන්, අභියෝග සේම ඇය දරාගත යුතු ප්‍රමාණය ද අතිමහත් ය.

 

ළදරු විය

ඇය ඇගේ පළමු දරාගැනීමේ පරීක්ෂණයට මුහුණ දෙන්නේ උප්පත්තියේ සිට මාස හතර පහ වැනි කාලය අතරතුරදීය. ඒ ඇයගේ සියුමැලි කන් පෙත්ත අලංකාරවත් කරන්නට තෝඩු පලඳින දිනයේදීය. ඝනකම් ස්තරයක් පසාරු කරගෙන ගිලා බසින තෝඩුව එතැන් පටන් ඇයට දිස්නයක් ගෙන දුන්න ද ඇයට ඇයගේ අනන්‍යතාව විදහා දක්වන්නට අවස්ථාවක් ගෙන දුන්න ද එහිදී ඇයට දරා ගන්නට සිදුවෙන වේදනාව නම් ප්‍රබලය. එහෙයින් ඇය එම වේදනාව පුංචි හැඬීමකට කැටි කර දරාගැනීමට අත්පොත් තබන්නේ ද දරාගැනීමේ හෝඩිය පරිශීලනය කරන්නට පටන් ගන්නේ ද එතැන් පටන් ය.

 

නව යොවුන් විය

ළදරු විය ඉක්මවා යත්ම කායික හා මානසික වෙනස්කම් රාශියකට මුහුණදෙමින් නව යොවුන් වියට පිවිසෙන්නේ ඇගේ දරා ගැනීමේ රාමුවේ ධාරිතාව හා ප්‍රබලත්වය වැඩි කරමින් සමාජයෙන් එල්ල වන ප්‍රහාරයන්ට මුහුණ දීමට සූදානමින්ය. ආධුනිකයකු ලෙස නව යොවුන් විය නම් වූ සමාජ තලයට පිවිසෙන ඇය එම අවධිය පසුකරන කාල රාමුවේදී මනස තුළ මෙන්ම ස්වභාවයෙන් කායිකව උරුම වෙන්නා වූ ක්‍රියාවලීන් තුළ ස්ථාපිත වීමට ගන්නා උත්සාහය වෙනුවෙන් උපකාරයක් කරන්නට ඇය සතු දරාගැනීමේ හැකියාව ඉදිරිපත් වන්නේ කල්‍යාණ මිත්‍රයකු සේය. එයින් ජවය ලබන ඇය සමාජය සමඟ ගැටෙමින්, විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින්, වගකීම් දරන්නට හුරු වෙමින් දරාගැනීමේ හැකියාව තවත් පියවරක් ඉදිරියට තබන්නට දක්ෂකම් දක්වයි.

 

විවාහය

කාලයේ කටු ඉලක්කම් වටා භ්‍රමණය වත්ම කාන්තාවක් පසු කළ යුතු අවධීන් තුළින් තවත් එක් පියවරක් ඉදිරියට තබමින් විවාහය නම් වූ වගකීම් සමුදායකින් සැදුම්ලත් තැල්ල පලඳින්නට සුදුසුකම් ලබයි. එහෙයින් කාන්තාවකගේ දරාගැනීම උපරිමයට ළං වන එක් සන්ධිස්ථානයක් ලෙස විවාහය දක්වන්නට හැකියි. ඇය පතිනියක නමින් දිවුරුම් දෙන්නා වූ ඒ සොඳුරුතම දිනයේ ඇයට උරුමවෙන වේදනාවන් සුන්දරව ඉවසීමෙන් දරාගැනීමට තරම් ශක්තිමත් කාන්තාවක් බවට පරිවර්තනය වන ඇය එතැන් පටන් බොහෝ අභියෝගයන් බාධාවන් සාර්ථකව දරාගනිමින් ඇගේ ජීවන ගමනට පියසටහන් තබයි.

මවුපියන් ඇසුරේ හැදී වැඩෙන ඇයට නුහුරු පරිසරයකට හුරු වෙන්නට සිදු වෙයි. නුහුරු පුද්ගලයන්ගේ විවිධ ස්වරූපයන් තේරුම් ගෙන එවන් වූ භූමිකාවන් තුළ ගැටලු පැන නොනඟින සේ එම අවස්ථාවන්ට අනුගත වී වැඩ කටයුතු කරගෙන යාමට තරම් දක්ෂ වෙයි. තමා වෘත්තියක නියැළෙන්නේ නම් ඒ සියලු වගකීම් නිසියාකාරව කළමනාකරණය කර ගනිමින් නිවෙසේ සමාජයේ සහ බාහිර වැඩකටයුතු දරාගනිමින් නිවැරැදිව කළමනාකරණය කරගනිමින් තමා වටා ඇති සියලු වගකීම් නිසියාකාරව තේරුම් ගනිමින් විශාල වැඩ පරාසයක් දරාගෙන ඉදිරියට යාමට තරම් බොහොමයක් කාන්තාවන් දක්ෂ වෙයි.

 

මවු පදවිය

වගකීම් රාශියක් දරාගෙන විවාහ භූමිකාව තුළ ඇය මවක් ලෙස අභිෂේක ලබන්නේ සියලු දරාගැනීමේ පරීක්ෂණයන් සාර්ථකව ජය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය. කිරි සිහින දකිමින් මවක් වෙන්නට පෙරුම් පුරන ඇය දරා ගැනීම තුළින් පරිණත කාන්තාවක් බවට පත්වෙයි. ඇගේ කුස දරු පැටියකු පිළිසිඳ ගත් දා පටන් විඳින්නට දරාගන්නට සිදුවෙන අපහසුතා අප්‍රමාණය. ශාරීරිකව මෙන්ම මානසිකව විඳින්නට සිදු වන අපහසුතාවන් සතුටින් දරාගන්නා ඇය මානසිකව ද බොහෝ ශක්තිමත්ය.

 

සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ඇය සිරුරේ අස්ථි 50 කට ආසන්න ප්‍රමාණයක් හිරිවැටීමකින් තොරවම බිඳහෙළීමට ලක්වන සහ කැපුම් පහරවල් යොදන අප්‍රමාණ වේදනාවක් අත්විඳියි. සිසේරියන් සැත්කමක දී ඇයගේ කොඳු නාරටිය මැදට විශාල සිරින්ජයකින් එන්නතක් ලබා දී කුසයේ ස්තර 7 ක් පසාරු කරගෙන කැපුම් පහරවල් යොදමින් මැහුම් 34කට ආසන්න ප්‍රමාණයක් යොදන අතර හිරිවැටීම අවසන් වූ පසු ඇයට අප්‍රමාණ වේදනාවක් විඳින්නට සිදු වෙයි. එවන් වේදනාවන් පිළිබඳ අංශු මාත්‍රයකවත් අහිතක් නොහිතන ඇය තම රක්ත රුහිරය ශ්වේතවන් වූ කිරි බිඳු කරමින් දරුවා පෝෂණය කරන්නට තම සිරුරේ සියලු පෝෂ්‍ය පදාර්ථයන් එක් කරයි. බලන්න.. දැරියක සමයේ පුංචි නිදිකුම්බා කටුවක් පතුලෙහි ඇනුණු විට කෑගසා හඬන්නට පෙලඹුණු ඇගේ මේ දරාගැනීමෙහි පරිණාමයේ ප්‍රබලත්වය සැබෑවටම අරුමයක් නොවේද?

සමහර කාන්තාවන් එවැනි දරුණුතම වේදනාවකට කිහිප වරක්ම මුහුණ දෙන්නට තරම් ශක්තිමත් වන්නේ ඇගේ දරාගැනීමේ ප්‍රබලත්වය නිසාමය. එහෙයින් ඇය දරා ගැනීමේ ප්‍රතිමූර්තිය ලෙසින් හඳුන්වන්නට අන් කිසිදු සාධකයක් අවැසි නොවන බව තර්කයකින් තොරවම පිළිගත යුතුය.

 

මිත්තණියක්

මවක ලෙසින් වගකීම් සමුදායක් දරා ගනිමින් ඉදිරියට යන ඇය කාලයාගේ ඇවෑමෙන් මිත්තණියක ලෙසින් පැසසුම් ලබයි. අභියෝග දරා ගනිමින් මෙතෙක් ආ ජීවන ගමන් මඟේ දුබල වූ ගතින් යුතු අවසන් අවධියට පා තැබුව ද ඇය තම මුනුපුරු මිනිපිරියන්ට ද මවක් ලෙසින් ඔවුන්ගේ වැඩ කටයුතු ද ඉටු කරයි. බලන්න.. මියෙන තුරුම ඈ සතුව ඇති දරාගැනීම කොතරම් සවිමත් ද?

මේ සෑම කාන්තාවකටම පොදුවේ උරුම වෙන්නා වූ දරාගැනීම් පරීක්ෂාවේ ප්‍රධාන අවධීන්ය. මීට අමතරව ඇය සමාජය සමඟ, තමා වටා ගොඩනැඟී ඇති භූමිකාවන් සමඟ ගැටෙන විට මුහුණ දෙන්නට ලැබෙන අභියෝග සහ ඒවා සාර්ථකව ජය ගන්නට අවැසි දරාගැනීම අප්‍රමාණය. ඒ සියල්ල කළමනාකරණය කර ගනිමින් ඇය ජීවන ගමන් මඟේ සාර්ථකව පියවර තබයි.

කාන්තාව සැබෑවටම සියුමැලිය. ළද බොළඳය. ඇය තුළ උපදින්නා වූ සිතුවිලි සහ හැඟීම් ද සියුමැලිය. ඇය නම්‍යශීලිය. එහෙයින් අතීත කවියා නිරන්තරයෙන්ම ඇයව සමාන කර ඇත්තේ විවිධ වූ පුෂ්පයන්ට මෙන්ම සියුමැලි බවින් පූර්ණ වූ වස්තූන්ටය. එහෙත් මෙවන් වූ සියුමැලි යුවතියකගේ දරාගැනීමේ ශක්තිය නම් කිසිසේත් නොසෙල්විය හැකි යැයි උපකල්පනය කරන මහාමේරුව වැනිය.

එහෙයින් විෂමත්වයෙන් විවිධත්වයෙන් පිරි සමාජය නම් වූ කටුක තෝතැන්න තුළ පාරාදීසයක් තනා ගනිද්දී කාන්තාව තමා සතු ශක්තීන් තේරුම් ගත යුතුය. ඕනෑම පාරිසරික සාධකයක් යටතේ වුවද ස්වභාවයෙන්ම කාන්තාව සතුව පවතින්නා වූ ශක්තීන්ට පණ පොවන්නට, ජීවය දෙන්නට කාන්තාව අනිවාර්යෙන්ම දක්ෂ විය යුතුය.

ඉතින් මෙවන් වූ කඨෝරයන් දරාගෙන ජීවන සටන සවිමත් කරන ඇය, පුංචි සෙලවීමකට පවා හැකිළෙන නිදිකුම්බාවක් නම් නොවන බව සමාජයට පසක් විය යුතුමය.

සටහන - නුවන්ති හංසිනී උත්පලා

සඳලංකාව