අයිස් වලින් ගිණියම්වන මල් වගේ ජීවිත

දූ දරුවන්ට පුරුදු කරන්න රූපලාවණ්‍යාගාර යොදාගෙන
නොවැම්බර් 14, 2022

 

පසුගිය ඔක්තෝබර් තිස් එක් වනදා දිනමිණ ජාතික පුවත්පතේ සිරස්තලය අනාවරණය කර තිබුණේ සිත තැති ගන්වන බියකරු පුවතකි.එම මුල් පුවත මඟින් අනාවරණය කර තිබුණේ ශ්‍රී ලංකාවේ තරුණ දුවා දරුවන් රැසක් අයිස් මත්ද්‍රව්‍ය වෙත ශීඝ්‍රයෙන් යොමුවෙමින් පවතින බවකි. මේ අතරින් බහුතරයක් ගැහැණු දරුවන් සහ තරුණ කාන්තාවන් වන අතර වැඩිම පිරිස කුරුණෑගලින් වාර්තා වී ඇති බව එම පුවත අනාවරණය කර තිබිණි.එමෙන්ම බොහෝ තරුණියන් මෙම මාරාන්තික මත්ද්‍රව්‍ය වෙත යොමුවීමේ කේන්ද්‍රයක් ලෙස රූපලාවණ්‍යාගාර යොදාගන්නා බවද එම පුවත රටට අනාවරණය කර තිබුණි.

අන්තරායකර ඖෂධ නියාමන පාලන ජාතික මණ්ඩලයේ සහකාර මාර්ගෝපදේශක ලක්මි නිලංකා මහත්මිය කුලියාපිටිය සාරනාත් විදුහලේ දෙමාපියන් අමතා සිදු කළ විශේෂ දේශනයකදී මේ බව අනාවරණය කළ අතර අපේ රටේ සියලුම දෙමාපියන්ට මෙම ඛේදනීය පුවත යළි යළිත් තම දරුවන් පිළිබඳ සිතීමට සහ සොයා බැලීමය පෙරැත්ත කරවයි.රටේ අනාගත පරපුර වලපල්ලට ඇද දමමින් රට පුරා විවිධ වෙස් ගත් ජාවාරම් කරුවන් විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටිති.මෙම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට පත්වන්නේ අහිංසක තරුණ පරපුරයි.මේ ජාවාරම්කරුවන් තරුණ දුවා දරුවන් ඒ සඳහා පොළඹවාගනු ලබන්නේ ඔවුන් වඩාත් ඇළුම් කරන ක්ශේත්‍ර හරහාය.මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහනෙහිදී අනාවරණය වූයේ කුරුණෑගල ප්‍රදේශයේ වැඩිපුරම අයිස් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන ලෙස රූපලාවණ්‍යාගාර යොදා ගන්නා බවය.කුරුණෑගල තත්ත්වය පිළිබඳ රටට අනාවරණයවුවද ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වයද මෙ පරිදිම විය හැකිය.

 

මේ අති භයානක තත්ත්වය සමාජයෙන් තුරන් කිරීම සඳහා ප්‍රමුඛතම වගකීම පැවරෙන්නේ සියලු වැඩිහිටියන් වෙතටය. ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ අයිස් දැන් රටම ගිනියම් කරමින් ඔඩුදුවන වග ඇතැමුන් දන්නේද නැත.ප්‍රථමයෙන්ම මේ භයානක මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නම් මෙහි භයානකත්වය පිළිබඳ සියලුදෙනා දැනගත යුතුමය.අයිස් යනු ඉතාමත් කෙටි කාලයකින් මිනිසකුගේ ජීවිතය කෙළවර කළ හැකි අධික විස සහිත රසායනික මත්ද්‍රව්‍යකි.ඉතාමත් ඉක්මනින් ඇබ්බැහිවන මෙම මත්ද්‍රව්‍ය තත්පරයෙන් තත්පරය ශරීරය ඉතා ඉක්මනින් දිරාපත් කරනු ලබන්නේ ඇබ්බැහිවූ පුද්ගලයාටද නොදැනෙන්නටය.

ඇතැම් අවස්ථාවන්හිදී අයිස් ඇතුළු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍යවෙත කෙනෙකු යොමුවූ බව වැඩිහිටියන් දැනගනු ලබනේ බොහෝ කල් ගතවීමෙන් පසුවය.එවිට පෙරහැර ගොස් හමාරය.

ඉබේ දරුවා ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කය බව මනාව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් ය.සමාජයේ බොහෝ දරුවන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වෙත යොමුවීමට ප්‍රබලවම බලපානු ලබන කාරණාව වන්නේ දරුවාවෙත ලැබෙන අඩු අවධානය සහ දරුවා පිළිබඳ දෙමාපියන්ගේ නොසැලකිලිමත් බවයි.

ඒ ගැන අප කළ සොයා බැලීමේදී තහවුරු වූයේ පියාගේ බීමත්කම නිසා සිදුවන පවුල් ගැටුම් සහ විකෘති ආශා ඇතුලු දේ නිසා පවුල් සංස්ථාවේ සමඟිය දෙදරා යාම දරුවන් ගැන අවධානය මද වීමට තුඩුදෙන ප්‍රධානතම හේතුව බවය.එමෙන්ම තරුණ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් විසින් තේරුම් නොගැනීමෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ තරුණ දරුවන් තමාගේ සමීපතමයා ලෙස මත්ද්‍රව්‍ය ලංකර ගැනීමය.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්ක බවට පත්වනේද මෙවැනි දරුවන්මය.පවුල් සංස්ථාවෙන් ගිළිහුණු දරුවන් ඉන් පසුව වීරයා බවට පත්කරගනු ලබන්නේ මත්ද්‍රව්‍ය වෙළෙන්දා හෝ එම මත්ද්‍රව්‍ය තමාට ලබාදෙන්නන්‍ ය.කුරුණෑගල අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳ පුවත වෙත නැවත යොමුවීමේදී අපට ඒ බව මනාව පැහැදිලි වේ.ගැහැනු දරුවන් අයිස් මත්ද්‍රව්‍ය වෙත යොමු කරගැනීම සඳහා බහුල යොදාගෙන ඇත්තේ රූපලාවණ්‍යාගාරය.තරුණ දියණියන්ගේ ප්‍රධානතම සහ සමීපතම අංගයක් ලෙස දැක්විය හැකි රූපලාවණ්‍යාගාර මේ සඳහා යොදාගැනීම ජාවාරම්කරුවන්ගේ සූක්ෂම බව පිළිබඳ ලබාදෙන කදිම ඉඟියකි.පවුලේ රැකවරණයෙන් මිදෙන දරුවා වැඩිපුර ගැවසෙන තැන ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වේ.ඔබ නොසැලකිලිමත් වුවද අද සමාජයේ දරුවන් පසුපස යමින් ඔවුන් මත්ද්‍රව්‍ය වෙත යොමුකරගැනීමේ කටයුතු වෙනුවෙන් කැපවන වෙනම සංවිධානාත්මක පිරිසක් සිටිති.ඔවුන් පාසල් අසල ගැවසෙමින් ,අමතර පන්ති අසල සැරිසරමින් දරුවන් බිලී බා ගැනීමේ ක්‍රියාන්විතයේ නියැලෙති.ඒ හරහා තමාගේ මත්ද්‍රව්‍ය කෝටාව ලබාගන්නා මේ පිරිස් දිනකට දරුවන් දෙතුන් දෙනකු මත්ද්‍රව්‍ය වෙත නම්මා ගනිති.මේ කිසිවක් නොදන්නා දරුවන් අයිස්.හෙරොයින් වැනි අති භයානක මත් ද්‍රව්‍ය තමාගේ ජීවිතය බවට පත් කරගන්නේ තමාටත් නොදැනෙන ලෙසටය.මතට ඇබ්බැහිවන දරුවන් ඉන් පසුව හසුරුවනු ලබන්නේ මෙම මත්ද්‍රව්‍ය සමාජ විසිනි.ලේ හිතවත්කමක් ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ අය හඳුන්වනු ලබන ඔවුන් අතර ඇති මත්ද්‍රව්‍ය මිත්‍රත්වය අනෙකුත් සියලු බැඳීම් පරයමින් නැඟී සිටීමට පටන් ගන්නේ මෙපරිද්දෙනි.ඉන් පසුව දුරස්ථ පාළකයකින් පාළනය කරනු ලබන සෙල්ලම් බඩුවක් බවට පත්වන දරුවා තමාගේ මාවත සම්පූර්ණ වශයෙන් වෙනත් දිශානතියකට මාරු කරනු ලැබේ.මෙසේ මතට ඇබ්බැහි වූ දරුවන් පළමුව නිවෙසේ සියලුදෙනාගෙන් වෙන්වී හුදෙකලාව කාලය ගත කිරීම අරඹයි.වෙනදා සමාජශීලී වූ ක්‍රියාශීලි වූ දරුවා ක්‍රමානුකූලව මන්දගාමී නිද්‍රාශීලී අයකු බවට පත්වෙයි.දෙමාපියන් වහ කදුරු ලෙස දකින දරුවා කෑමෙන් බීමෙන් මෙන්ම විනෝදාංශයෙන්ද ඈත්වේ.හුදෙකලාව කාලය ගත කරන දරුවා දින ගණනක්වුවද නිදිවර්ජිතව කාලය ගෙවයි.වෙනදා සෞම්‍ය කලාත්මක නිර්මාණ නැරඹූ දරුවන් මත්ද්‍රව්‍ය සමඟ හාද වීම සමඟ ප්‍රවේගකාරී අති බිහිසුණු නිර්මාණ නිතර නිතර නැරඹීමට පෙළඹෙයි.මේ අතර ඇතැම් දරුවන් අපිරිසුදුව ජීවිතය ගෙවීමට ප්‍රිය කරනු ලබන අතර නිතර කල්පනා කරමින් කාලය ගෙවයි.

කලක් ගතවෙත්ම වෙනත් පාලනයකට නතුවන දරුවන් විවිධ බොරු ගොතමින් දෙමාපියන් රවටමින් මුදල් ලබා ගැනීමට පෙළඹෙයි.කිසියම් අයුරකින් ඔවුනට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් නිවෙසේ රංඩු සරුවල් රැසකි.

ගවේෂණාත්මකව අප කළ සොයාබැලීමේදී අනාවරණය වූ කරුණු අතර සුවිශේෂී දේ කිහිපයකි.මීට පෙර කොළඹ කේන්ද්‍රකරගත් මත්ද්‍රව්‍ය බිස්නස්කාරයන් මෙවනවිට ගමට බැස ඇත්තේ කොළඹ දරුවන් ඇල්ලීමට වඩා ගමේ දරුවන් අල්ලා ගැනීම පහසු කටයුත්තක් වන නිසාම විය හැකිය.කුරුණෑගල අයිස් පිළිබඳ පුවත මේ සඳහා අපට නැවතත් උදාහරණ සපයයි.වෙනදා පිරිමි දරුවන් ඉලක්කකරගත් මත්ද්‍රව්‍ය වෙළෙන්දන් අද ප්‍රධානතම ඉලක්කය බවට පත්කරගෙන සිටින්නේ අවුරුදු දාහතරේ සිට විසිදෙක දක්වා වයස් සීමාවේ පසුවන කුඩා දියණියන් ය.ඔවුන් රූපලාවණ්‍යාගාර ඒ සඳහා තෝරා ගන්නේ මෙම වයසේ දරුවන් හුදෙකලාවන සහ නිදහසේ ගණුදෙනු කළ හැකි හොඳම ස්ථාන අතර එය ප්‍රමුඛස්ථානයේ ඇති බැවිනි.

සබුද්ධික දෙමාපියන් මේ පුවත සහ මේ ඔබ කියවමින් සිටින ලිපිය හරහා සිතට දමාගත යුතු කාරණා කිහිපයකි.

ඉන් පළමු කාරණාව වන්නේ දහසක් වැඩ අතර තම දරුවා පිළිබඳ සොයා බලන්නට අනිවාර්යයෙන් කාලයක් වෙන් කළ යුතුම බවයි."අපේ කාලේ අපේ පස්සෙන් ඉඳන් බලාගන්න කවුරුත් හිටියේ නෑ"ඔබ එසේ කියමින් දරුවන් ඈත් කරන්නේ නම් එය අනුවණ ක්‍රියාවලියකි.එදා සමාජය සහ අද සමාජය හාත්පස වෙනස්වූ එකකි.එදා සමාජයේ වැඩිහිටියන් සියලුම දරුවන් සැලකුවේ තමාගේ සහ රටේ දරුවන් ලෙසටය.නමුත් තත්ත්වය දැන් ඉතා වෙනස් ය.තාත්තා අතින් දියණිය අතවරයට ලක්වන රටක දරුවාගේ සුරක්ෂිතභාවය පිළිබඳ පැනනැඟී ඇති ගැටලුව අප සුළුපටු ලෙස සිතිය යුතුනොවේ.එබැවින් දරුවන් වෙනුවෙන් සැලකියයුතු කාලයක් වෙන් කිරීම ඉතා වැදගත් වේ.

 

එමෙන්ම දරුවාගේ ඒකාකාරී සුළු වෙනස්වීමක් පවා දෙමාපියන් විසින් විශේෂ සැලකිල්ලකට බඳුන්කළ යුතුමවේ.නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපාකොටා විනාශ කරගැනීමට අවශ්‍ය නොවන බැවින් දෙමාපියන්වන ඔබේ අවධානය ඕනෑම දරුවකු මත්ද්‍රව්‍ය උවදුරුවලින් ගලවා ගැනීමට හේතුවනු ඇත.

නිවෙසේ සාමකාමී වටපිටාව දරුවන්ගේ අනාගතය සෑම අතින්ම තීරණය කරන ප්‍රධාන සාධකවලින් ප්‍රමුඛතම එකකි.පවුල තුළ පැනනඟින අඩදබර දරුවා ඔබෙන් ඈත්කොට මත්ද්‍රව්‍ය වෙත සමීප කරලීමට බලපානු ලබයි.ඒ පිළිබඳ දෙවරක් තෙවරක් නොව දහස්වරක් සිතීම දෙමාපියන් සහ වැඩිහිටි සමාජයේ වගකීමකි.

සෑමවිටම ඔබ නොසිතා කරනු ලබන සුළු අතපසුවීමක් ඔබේ දරුවාගේ ජීවිතයේ සුක්කානම තවත් අයකුගේ අතට පත්විමට සෘජුව බලපානු ලබයි.අප සාකච්ඡා කිරීමට මෙම පුවත සහ මාතෘකාව තෝරාගනු ලැබුවේ ඒ හෙයිනි.

පවතින සමාජ රටාව අනුව දෙමාපියන්ගෙන් ගිළිහෙන දරුවන් අවසානයේ නතරවන තැන ඔබ සිහිනයකින්වත් නොසිතන තැනකි.එබැවින් දෙමාපියන්වන ඔබ දරුවන් පිළිබඳ නැවත නැවතත් සබුද්ධිකව සිතන්නට පටන් ගන්න.එව්ට ඔබේ දරුවා බිළිගන්නට මාන බලන ජාවාරම්කරුවන්ගේ ග්‍රහණය වෙනුවට ඔබේ දරුවාගේ ජයග්‍රහණයේ මාවත සකස් කරදීමට හැකිවනු නියතය.

දරුවන් යන එන තැන් ගැනත් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳත් නිරතුරුවම අවධානයෙන් සිටින්න.නිවෙසින් එළියට පියවර තබන දුවා දරුවන් පිවිසෙන්නේ අනාරක්ෂිත වටපිටාවකට බව නිරතුරුවම සිතන්න.එවිට මත්ද්‍රව්‍ය පමණක් නොව ඔබේ දරුවා බිලිගන්නා බොහෝ බලවේගයන්ගෙන් ඔවුන් බේරා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු නියතය.

 

 

පසුබිම් වාර්තාව

කුලියාපිටිය - මෙවුරු ධනාත්.