යෞවන වසන්තය හැඩ කරන අලුත්ම ට්‍රෙන්ඩ් එකේ Courses

අලුත් අවුරුද්දේ වෙනස්ම විදිහට සිතන දියණියට ....
ජනවාරි 9, 2023

 

සොඳුරු යෞවනය බොහෝ සරලය. එලෙසම ඉතා සැහැල්ලුවෙන් ගලා යයි... මේ සැහැල්ලු සරල වූ යෞවනයේ චමත්කාරයට නිසි වටිනාකමක් එක්කර ගන්නට සිතන තරුණ තරුණියන් ඉතා බුද්ධිමත්ව තම යෞවන වසන්තයේ සුවය විඳගනියි. ලොවක් දිනන්නට නිසි අධ්‍යාපනයක් අප සැමටම අවැසියි. එය කාන්තා පූර්ණ භේදයකින් තොරව එක ලෙස බලපාන සාධකයකි. එහෙත් සෑම දරුවකුටම උපාධියක් ලබා ගන්නට විශ්වවිද්‍යාල වරම් හිමි නොවෙයි. අැතැම්විට උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සමත් වෙන්නට ද නොහැකි වෙයි.

 

මේ කිසිම අධ්‍යාපන සුදුසුකමකට වඩා අපට ජීවිතය ජය ගන්නට හැකි මාවත් බොහෝය. මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ එයට කදිම උදාහරණ බොහෝය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් බොහෝ දෙනකු බිහිවී ඇත්තේ උසස් අධ්‍යාපනයේ හා නිසි ක්‍රමානුකූල අධ්‍යාපනයෙන් ලැබූ දැනුමින් නොවේ. ඔවුන් එම ව්‍යාපාරික ඥාණය ලබාගෙන ඇත්තේ ප්‍රායෝගිකව ලැබූ අත්දැකීම් අවබෝධය හා පුහුණුවෙනි.

 

අපගේ තරුණ තරුණියෝ අධ්‍යාපන සහතිකය පසෙක තබා පහසුවෙන්ම තෝරා ගන්නා වෘත්තීන් දෙකක් වෙයි. තරුණයෙක් නම් ඔහු ත්‍රීවිලරයක් හයර් කිරීම තෝරා ගනියි. තරුණියක් නම් ඇඟළුම් කම්හලක සේවය කිරීමයි. එහෙත් ඔවුන් මෙතෙක් කල් ලැබූ අධ්‍යාපනයට තවත් මාස කිහිපයක් කැපකර පුංචි වෘත්තීය පුහුණුවක් ලබා ගත්තොත් එයින් ඇයට හෝ ඔහුට ගමන් කළ හැකි දුර අපමණය. එසේම විදේශ රැකියාවක් සඳහා ද කදිම ප්‍රවේශයකි. ඔබත් බුද්ධිමත් තරුණියක් නම් මොහොතක් සිතන්න... මේ ඔබට ලැබී ඇත්තේ ජීවිතයේ වටිනාම කාලයයි. ඔබට ලැබුණු මේ වාසනාවන්ත කාලයට තවත් පුංචි කාලයක් වැය කරන්න. මොහොතක් කාලය ගෙන ජීවිතය ගැන සිතන්න. ලෝකයේ දැවැන්ත රටවල් දියුණුවී ඇත්තේ ඔවුන්ගේ තරුණ පරපුර ලැබූ නිසි අධ්‍යාපනය හා පුහුණුවයි. ඔවුන් අධ්‍යාපන සහතිකයට වඩා විශ්වාසය තැබුවේ වෘත්තිය නිපුණතාවය හා හැකියාවයි. දියුණු රටවල කාර්මික පුහුණුවට සහ වෘත්තීය පුහුණුවට නිසි ඇගයීමක් හිමි විය. ඔවුන්ගේ උපාධි සහතිකයට වඩා පුහුණු සහතිකය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීමෙන් දියුණුවට පත්වූයේ ඉතා වේගයෙනි.

 

මේ ආදර්ශය අපේ තරුණ තරුණියන්ට බෙහෙවින්ම වැදගත්ය. සාමාන්‍ය පෙළ අවසන් කළ ආදරණීය දුවේ, පුතේ ඔබට මේ ලැබූ තාරුණ්‍යය නැවත කිසි දිනක නොලැබෙයි. ඒ නිසා ඔබේ තරුණ ජවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබට ගැළපෙන වෘත්තිය පුහුණුවක් ලබා ගන්න. එවිට ඔබට ස්වාධීනව තමුන්ගේම ව්‍යාපාරයක් හෝ රැකියාවක් ආරම්භ කිරීමට පහසුවෙන්ම හැකි වනු ඇත. තවද කිසිවෙකුට අත නොපා තනිවම ජීවිතයට විශ්වාසයෙන් යුතුව මුහුණදීමට ශක්තිය ලැබෙනු ඇත. එවිට ඔබේ ජීවිතය තවත් අර්ථවත් වී හැඩවෙන අයුරු දකින මවුපියන්ට ඇතිවන සතුට මහ මෙරක් තරම් වටියි.

 

එවැනි වෘත්තීය පුහුණුවක් ඔබට ලබා ගැනීමට සුදුසුම ස්ථානය වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයි. අපේ තරුණ තරුණියන්ගේ වෘත්තිය නිපුණතාවය හා රුචිකත්වය හඳුනාගනිමින් ඔවුන්ට රැකියා වෙළෙඳපොළේ රැකියා උදාකර ගත හැකි අවස්ථාවන්ට අනුව පවත්වන මෙම පාඨමාලා සඳහා මෙරට පමණක් නොව ජාත්‍යන්තරව ද හොඳ පිළිගැනීමක් තිබේ. එසේම මේ ආයතනය මඟින් නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ද මෙරට පමණක් නොව විදේශීය රටවලද පිළිගැනීමට ලක්වන අතර, ඉතාම පහසුවෙන් රැකියාවක් ලබා ගැනීමට කදිම සුදුසුකමක් ද වෙයි. මෙම පුහුණු පාඨමාලා හදාරණ සිසුන් සඳහා එම වෘත්තියට අදාළ ඉංග්‍රීසි දැනුම ද නොමිලේ ලබාදෙන අතර, ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා වූ ව්‍යාපාරික පුහුණුවක් ද පාඨමාලා අවසානයේදී ලැබෙනු ඇත.

 

මෙලෙසින් වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් තරුණ තරුණියන් හට පුහුණු පාඨමාලා විශාල සංඛ්‍යාවක් දිවයින පුරාම පවත්වයි. එම පාඨමාලා අතුරින් විශේෂයෙන්ම තරුණියන්ට ගැළපෙන‍, ඔවුන්ට පහසුවෙන්ම රැකියා අවස්ථා හිමිකර ගත හැකි පාඨමාලා රාශියකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය, හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය, සූපවේදය, මැණික් හා ස්වර්ණාභරණ ශිල්පය, ආහාර හා තාක්ෂණය, පුද්ගල හා සමාජ අධ්‍යාපනය යටතේ රූපලාවන්‍ය, කොණ්ඩා කැපීම, පෙර පාසල්, ජන සන්නිවේදනය වැනි පාඨමාලා ද දැව ආශ්‍රිතව කැටයම් ශිල්පයද, මුද්‍රණ සහ ඇසුරුම්, කාර්යාල කළමනාකරණය, මෝස්තර නිර්මාණය, ඇඳුම් මැසීම, ඇඟළුම් තත්ත්ව පාලනය වැනි පාඨමාලා රාශියක් පවතී. මේ පාඨමාලා සඳහා බඳවා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් දැන් ආරම්භ කර ඇති අතර පුහුණුවෙන් පසු ඔබට වටිනා අවස්ථා රාශියක් හිමිවනු ඇත. මාස 04, 06 වැනි කෙටිකාලීන පාඨමාලා ලෙස ක්‍රියාත්මක මේ පාඨමාලාවන්ගෙන් පසු දීමනාවක් සහ වැඩිදුර පුහුණුව සඳහාද අවස්ථාව හිමි වේ. එසේම ස්වයං රැකියා සඳහා යොමුවන පුහුණුලාභීන්ට සහන පොලියක් යටතේ බැංකු ණය මුදලක් ලබා ගැනීමට ද අවස්ථාව ලබාදීමට කටයුතු කරනු ඇත.

 

විවිධ මට්ටම් යටතේ ක්‍රියාත්මක මේ පාඨමාලා උපාධි මට්ටම දක්වා හැදෑරීමට ඔබට අවස්ථාව හිමිවන අතර ඔබගේ රුචිකත්වය අනුව තෝරා ගත හැකි පුහුණු පාඨමාලා රාශියක්ම පවතී. ඔබත් මේ පාඨමාලාවක් හැදෑරීමෙන් ඔබගේ වෘත්තීය නිපුණත්වය තුළින් ඉදිරියටම යන්න. රැකියාවක් ලැබෙන තුරු බලා සිටීමේ සංකල්පයට තිත තබන්න. ඔබේ ලෝකය ඔබම ගොඩනඟා ගන්න. වෘත්තීය පුහුණු අධිකාරියේ වෙබ් අඩවියට පිවිස වැඩි විස්තර ලබා ගන්න.

 

 

www.vtasl.gov.lk

‍ෙතාරතුරු සැපයීම

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ජාතික වෘත්තීය මාර්ගෝපදේශක අංශයේ වැඩසටහන් නිලධාරිනි

සුරංගි රණතුංග මහත්මිය