ගරුත්වයක් සහිත පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන්නේ කොහොමද?

මැයි 1, 2023

 

එක්තරා පුද්ගලයෙක් හිටියා, ඔහුට හැමවිටම අන්‍යයන්ගෙන් ඔහුට ලැබෙන ගරුත්වය අවශ්‍ය වුණා. මේ පුද්ගලයා වංචාසහගත නොවන, සංවේදී හිතක් තියෙන කඩවසම් පෙනුමක් තියෙන තම වෘත්තියේ ඉතා දක්ෂයෙක්. නොපැකිළව අනිත් අයට උදවු කරනවා. ඉතින් ඔහුට සමාජයේ ගරුත්වයට පාත්‍ර වෙන්න අවශ්‍ය සුදුසුකම් හොඳටම තිබුණා. ඒත්, ඔහු හැම මොහොතේම හැසිරුණේ කාටවත් ගරු කරන්න හිතෙන විදිහට නෙමෙයි.

 

නිරන්තරයෙන් කාගේ හරි වැරැද්දක් ගැන දොඩමලු වෙනවා. තම වෘත්තියේ සමකාලීනයන්ව නිතර විවේචනය කරනවා. ඕනෙම තැනකදී නොනවත්වා කතා කරන එක පුරුද්දක්. එහෙමත් නැත්නම් තමන්ට ඕනෙ දේම කරගන්න අනවශ්‍ය ගැටුම් ඇතිකර ගන්නවා. ඒත් ඔහු ඔහුට අනිත් අය ගරු කරන්න ඕනේ කියල හිතාගෙන ඉන්නවා. තමන් ගැන වුවමනාවට වඩා වර්ණනා කරනවා. හැබැයි බොහෝ දෙනා ඔහු නැති තැන ඔහුව හාස්‍යයට ලක් කරනවා වගේම, පිස්සෙක් කියලා හඳුන්වන්නත් පෙලඹෙනවා. මෙය සත්‍ය සිදු වීමක්.

මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තහම මේ පුද්ගලයා ගැන පැහැදිලි අර්ථකථනයක් දෙන්න පුළුවන්. එනම්, අතීතයේ අනිත් අය අතින් දැඩි ලෙස ප්‍රතික්ෂේප වුණ අය මේ තත්ත්වයට වැටෙන්න පුළුවන්. හැමෝම නෙමෙයි. ප්‍රතික්ෂේප වීම, වෙන වෙන විදිහට විඳ දරාගත් අයත් ඉන්නවා.

විශේෂයෙන්ම කුඩා කාලයේ මාපියන්ගෙන් ලැබිය යුතු ආදරය අවධානය නොලැබ ගිය දරුවන්ට මේ ඉරණම අත්වෙන්න පුළුවනි. ආදරය උපරිමයෙන් හොයන කාලයේ පවුලට අලුතින් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එකතු වුණාම අම්ම තාත්තා අලුත් සාමාජිකයා එක්ක කාර්යබහුල වෙන එක මෙහෙම දරුවන්ට බලපාන්න පුළුවන්. මෙය මතුපිට හිතේ නැති වුණත් යටි හිතේ තැන්පත් වෙන දෙයක්. මේ වගේ නොයෙක් කාරණා මත පුද්ගල පෞරුෂයක මෙහෙම දේවල් අපිට දකින්න පුළුවන්.

හැබැයි, අපි කවුරුත් කැමැතියි සමාජය ගරුත්වයෙන් සලකන චරිතයක් වෙන්න. ඒක සාමන්‍ය මනුෂ්‍ය ස්වභාවය කියල තමයි මනෝවිද්‍යාවෙදී කියන්නේ. ඒබ්‍රහම් මාස්ලෝ කියන මනෝවිද්‍යාඥයා පුද්ගල අවශ්‍යතා ධූරාවලියක් ඉදිරිපත් කරලා මේ ගැන ඉතා ලස්සනට පැහැදිලි කරනවා.

කොහොම නමුත් අපි වෙනුවෙන් ගෞරවය ගොඩනඟා ගන්න ඕනෙ අපිමයි. අනිත් අයට ඇඟිල්ලෙන් ඇනලා කියන්න බෑ ඔබ මට ගෞරව කරන්න කියලා. එහෙනම් කොහොමද ඒක කරන්නේ? කොහොමද ඒක වෙන්නේ?

ඔබ කොයිතරම් ගුණයහපත් කෙනෙක් වුණත් ඔබට නිසි ගෞරවය ලැබෙනවද කියලා ඔබට ඔබෙන්ම ප්‍රශ්න කරගන්න වුණු අවස්ථා තියෙන්න ඇති. ඔබ ධනවතකු විය යුතු නෑ. ලොකු නිලයක් දරන්නකු විය යුතු නෑ. අසාමාන්‍ය දක්ෂයකු විය යුතු නෑ. ඔබ හිතන්න පුළුවන් මගෙ අතින් වැරැදි වෙලා තියෙනවනෙ කියලා. නමුත් ඔබේ ගෞරවයට ඒකත් බාධාවක් වෙන්නෙ නෑ. මොකද අපි කවුරුත් සියයට සියයක් නිවැරැදි මිනිස්සු නෙමෙයි. අපි හැමෝම අතින් වැරැදි වෙනවා. අපි ඒවා හදාගන්නවා. ඉස්සරහට යනවා. ඒක තමයි අපේ ස්වභාවය.

සැබෑ ලෙස මිනිස්සු ඔබට ගෞරව කරන්න මේ කියපු කිසිම දෙයක අත්‍යවශ්‍යතාවක් නැහැ. එහෙනම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ ටික. ඒවා ජීවිත කාලයටම අදාළ කරගෙන ඔබ ගැන හිතන්න. ඔබ ඉන් සාර්ථක පල නෙළා ගන්නවා නියතයි.

 

අංක 01:

ඔබ ඔබට ගෞරව කරන්න.

එය නිරායාසයෙන් අන් අයට පේන්න පටන් ගන්නවා.

ඔබව පහතට ඇද දමන කතා විහිළුවට ඕනෙ තරම් ඔබ අතින් කියවිලා ඇති. අද ඉඳන් ඒක නවත්තන්න. ඔබ එක වචනෙකින් හරි ඔබව පහළට දමනකොට අනික් අය එයින් උපරිම ප්‍රයෝජන ගන්න පෙලඹෙනවා. කවදාවත් ඒ වැරැද්ද කරන්න එපා. ඔබේ අඩුපාඩු කියන්න යන්න එපා. ඔබව ප්‍රතික්ෂේප වුණු අවස්ථා ගැන නොකියා ඉන්න. ඔබ ගෞරවයට පාත්‍ර වුණ තැන් සහ ඔබේ ජයග්‍රහණ ගැන විතරක් කතාකරන්න වගබලාගන්න.

 

අංක 02.

හැමවිටම හොඳ වෙන්න යන්න එපා.

පොඩ්ඩක් විතර තද චරිතයක් වුණාට කමක් නෑ. හැබැයි සාධාරණ ලෙස. අපි ඕනෙවට වඩා හොඳ වෙන්න ගියාම, අනිත් අයගෙ හිත රිදෙයි කියල සමහර දේවල් ඉවසන්න පුරුදු වුණාහම ඒක පුරුද්දකට යනවා. අනික් අය ඒක පාවිච්චි කරන්න පෙලඹෙනවා.

 

අංක 03.

පැහැදිලි සීමාවන් පවත්වාගන්න.

ඒ කියන්නෙ. තමන්ටම තමන් සීමාවන් දාගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔබ යහළුවො එක්ක එළියට ගියහම රෑ දහයට කලින් අනිවාර්යයෙන් ගෙදර එනවා. ඔබ කවදාවත් මත්පැන් පාවිච්චි කර රියදුරු අසුනේ වාඩිවෙන්නේ නැහැ. වාගේ දේවල් ඔබට ඔබ වෙනුවෙන් පනවා ගන්න වෙන සීමාවල්. මානව සබඳතාවලදී විශේෂයෙන්ම ඔබ ඔබව සීමා කරගත යුතුමයි.

 

අංක 04.

ඔබ එකඟ නොවන දේවල් ප්‍රකාශ කරන්න.

කරබාගෙන ඉන්න එපා. අනෙකාගේ හිත නොරිදෙන පරිදි තමා එකඟ නොවන දේවල් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම ගෞරවණීය පෞරුෂයක් ඇති පුද්ගලයන්ගේ ලක්ෂණයක්.

 

අංක 05.

සීමාව ඉක්මවා සමාව අයදීමෙන් වළකින්න.

සමාව ගතයුතු තැන් වලදී නොපැකිළව සමාව ගන්න. හැබැයි හැමවෙලාවෙම වරද තමා මත පටවගෙන සමාව අයදින්න යන එක නවත්වන්න. එහෙම වුණෙත් ඔබට මුළු ජීවිත කාලෙම සමාව අයදිමින් සිටින පරිසරයක් ඉබේම නිර්මාණය වෙන එක වළක්වන්න බෑ. ඊට පස්සෙ ඔබේ සමාව ගැනීමට ලැබිය යුතු වටිනාකම, ගෞරවය බිංදුවටම වැටෙන්නෙ ඔබටත් නොදැනීමයි.

 

අංක 06.

තමා සැලකිලි ලබන්න කැමැති ආකාරයට අනෙක් අයටද සලකන්න.

තමා ගෞරවයට පාත්‍ර වෙන්න කැමැති නම් ඒ අයුරින් අනෙකාටද ගෞරව කරන්න. තමා සතුටින් සිටීමට කැමැති නම් අනෙකාද සතුටින් සිටීමට කැමැති බව හිතන්න. වපුරපු බීජවලින් පමණක් අස්වැන්න ලැබෙන බව මතක තබාගන්න. මුං බීජ වපුරා කුරහන් අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකිය.

 

අංක 07.

පොරොන්දු ඉෂ්ට කරන්න.

හැරෙන හැරෙන පැත්තට අවස්ථානුකූලව පොරොන්දු දීමෙන් වළකින්න. තමාට ඉටු කළ නොහැකි පොරොන්දු කවදාවත් දෙන්න එපා. කැපවීමෙන් ඉටුකළ හැකි පොරොන්දු පමණක් දෙන්න. වචනයට වැඩකරන්නකු වන්න.

 

අංක 08.

චිත්තවේග පාලනය කරගන්න.

පිරිස් ඉදිරියේ හැඟුම්බර වෙන්න එපා.

කේන්ති ගන්න එපා. තම අභ්‍යන්තරය අනෙකාට හඳුනාගත හැකිවන පරිදි හැසිරෙන්න එපා.

 

අංක 09.

හොඳ සවන්දෙන්නෙක් වෙන්න.

මිනිස්සුන්ගෙ හිතේ නිරායාසයෙන් ගෞරවයක් ඇතිවෙන දෙයක් තමයි මේ සවන්දීම කියන්නේ. තොරතෝංචියක් නැතිව කියවන්නකුට වඩා සංයමයෙන් ඇහුම්කන් දෙන්නෙක් කියන්නෙ සැබෑම ගෞරවනීය චරිතයක්. ඔහු හෝ ඇය වටා හරි සුන්දර මානව සබඳතා ගොඩනැඟෙනවා නිරායාසයෙන්ම.

මේ කාරණා නවය පුළුවන්නම්. දිනපොතක සටහන් කරලා තියාගන්න. එයින් ඔබට ලැබෙන්නේ ගෞරවය පමණක්ම නොවේ. සාර්ථකත්වයද මේ පසුපසින් ඉබේම පැමිණෙන බවත් අමතක කරන්න එපා.

 

 

 

අංජලි බුදවත්ත ජයවර්ධන

මනෝවිද්‍යා උපදේශිකා මාධ්‍යවේදිනී