ඇයි මේ මැසිවිලි?

ගෙදර විදුලිබිල වැඩි කරන්න පිටස්තරයන් එන්නෙ නෑ
දෙසැම්බර් 4, 2023

හැමදෙනාම විදුලි බිල්පත දරා ගන්න අපහසු බවට මැසවිලි නඟනවා . මේ පීඩනය ඔබටත් නැති වෙන්නට බැහැ.

රටක් ලෙස අප සැම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති මෙවන් යුගයක ඔබේ එදිනෙදා බිල්පත් ගෙවීමද අසීරු කටයුත්තක් වී ඇත. වෙළෙඳපොළ තුළ භාණ්ඩවල මිල ඉහළ යෑමට සාපේක්ෂව නිවෙසේ විදුලි, ජල සහ දුරකතන බිල්පත්වලද මිල ක්‍රමයෙන් ඉහළ ගොස්ය.

ගෘහණියක් වශයෙන් මෙවැනි මොහොතක, තම නිවෙසේ මාසික ආදායමට සාපේක්ෂව අනෙකුත් සියලු වියදම්ද සකසුරුවම්කමින් හා අරපිරිමැස්මෙන් යුතුව සමබරව පවත්වාගෙන යෑම ඉතා වැදගත්ය.

මේ නිවෙසේ මාසික වියදම අඩුකර ගැනීමට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු ආකාරය පිළිබඳවයි. මූලික වශයෙන් නිවෙසේ විදුලි බිල්පත අඩුකර ගනිමින් ගෘහස්ථ විදුලි පරිභෝජනය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ කෙසේදැයි අපි බලමු.

 

රටක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ ගෘහස්ථ විදුලි පරිභෝජනය ඉහළම මට්ටමක පවතී. ගෘහස්ථ විදුලි පරිභෝජනය අඩු කරගතහොත් රටේ සමස්ත විදුලි පරිභෝජනයට වැයවන වියදමද ඒ හරහා අවමකර ගත හැකියි. ගෘහණියක ලෙස කාන්තාවන්ට තම නිවෙසේ විදුලි පරිභෝජනය අවමකර ගැනීම සඳහා වැඩි වගකීමක් පැවරී ඇත. රටක් වශයෙන් විදුලිය සංරක්ෂණයකර ගැනීමේ සංස්කෘතියක් ඇතිකර ගැනීමට කාන්තාවට ප්‍රමුඛස්ථානය ගත හැකි නම් අගනේය. නිවෙසේ සියලු සාමාජිකයන් එක්කාසු වී තම ජීවන රටාවේ වෙනදා නොවූ යම් වෙනසක් ඇතිකර ගැනීමෙන් නිවෙසේ විදුලි පරිභෝජනය අවම කරගෙන, ඒ හරහා රටේ සමස්ත විදුලි පරිභෝජනයද පහසුවෙන් අඩුකර ගත හැකිය.

විදුලි ඒකකයක් යනු kwh (Kilowatt hour) 1කි. අප භාවිත කරන විදුලි ඒකක ගණන අඩුකර ගන්නවා යනු භාවිත කරන kwh ප්‍රමාණය අඩුකර ගැනීමයි. එසේ වැය වන විදුලි ඒකක ගණන අඩුකර ගන්නවා යනු දෛනිකව භාවිතවන උපකරණයන්හි ක්ෂමතාව අඩුකර ගැනීම සහ එම උපකරණ භාවිත කරන කාලය අඩුකර ගැනීමයි. ඒ අනුව එම ක්‍රමවේදය නිවෙස තුළ ආරම්භ කරන්නේ කෙසේදැයි බලමු. ඒ මොන ක්‍රමය වුණත් විදුලි බිල පිරිමැසීමේ වැඩි කාර්යභාරයක් ඇත්තේ කාන්තා ඔබේ අතේ තමයි කියන එක හොඳින් සිහි තබාගන්න.

 

ශීතකරණය භාවිත කිරීම

 

ලංකාවේ සාමාන්‍ය නිවෙසක් තුළ වැඩිම විදුලි පරිභෝජනයක් සිදු වන්නේ ශීතකරණය මඟිනි. දෙවැනි තැන හිමි වන්නේ රෙදි සෝදන යන්ත්‍රයටයි.ශීතකරණය කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා, ශීතකරණයේ ඇතුළත වායුව පිට නොවන ලෙස ‍දොර නිසි ලෙස වසා තබන්න.

දොර අරින – වහන වාර ප්‍රමාණය අඩු කරන්න.

බාහිර පරිසරයේ ඇති උණුසුම් වාතය ශීතකරණය තුළට ඇතුළු වීමෙන් ශීතකරණයේ විදුලි පරිභෝජනය වැඩි වේ. ශීතකරණය ඝෘජු ආලෝකයෙන් හෝ උණුසුම් පරිසරයෙන් පරිබාහිරව තබන්න.

ශීතකරණය තුළ උණුසුම් ආහාර නොතබන්න. ඒවා කාමර උෂ්ණත්වයට පැමිණි පසු ගබඩා කරන්න.

ශීතකරණයේ පිටුපස කොටසට හොඳ වාතාශ්‍රයක් ලබාදීම හා ශීතකරණය හා බිත්තිය අතර අඟල් 10කවත් පරතරයක් තබන්න.

අධිශීතකරණය තුළ ද්‍රව්‍ය නොමැති විට සිසිල් වීමේ ප්‍රතිශතය අඩු මට්ටමකට මාරු කරන්න. අධි ශීතකරණය තුළ ද්‍රව්‍ය තිබෙන විට උෂ්ණත්ව පාලකය 40%ක මට්ටමකට සීරුමාරු කරන්න.

අධිශීතකරණය තුළ ඇති දිනක් තුළ පිසීමට අවශ්‍ය ආහාර පැය 10-12කට පමණ පෙර ඉවතට ගෙන සාමාන්‍ය කොටසේ තබන්න. එවිට වැයවන විදුලි ප්‍රමාණය අඩුය.

එළවළු, පලතුරු ආදිය පොලිතින් උරවල ඔතා ගබඩා කරන්න.

දියර වර්ග වසන ලද බඳුන්වල බහා ගබඩා කරන්න. එවිට ආහාරවල තෙතමනය මුදාහැරීම සීමා වී විදුලිය අඩුවෙන් වැය වේ.

අවශ්‍යම දේ පමණක් පිළිවෙළකට ශීතකරණය තුළ අසුරන්න.

නිවෙසේ අවශ්‍යතාවට ගැළපෙන ප්‍රමාණයේ ශීතකරණයක් තෝරා ගන්න.

 

රෙදි මැදීම

 

දින කිහිපයකට වරක් එකවර රෙදි මදින්න. දළ කපු රෙදි වර්ගවලින් ආරම්භ කොට අවසානයට සිනිඳු සිල්ක් රෙදි මදින්න. එවිට විදුලි සැපයුම විසන්ධි කොට රත් වූ අයන් එකෙහි තාපය උපයෝගි කොට ගෙන එවැනි සිනිඳු රෙදි මැදිය හැකියි.

රෙදි මදින මතුපිට යටින් තුනී ඇලුමිනියම් කොළයක් අතුරා රෙදි මදින්න.

රෙදි මදින අතරතුර අයන් එක පසෙකින් තබනවා නම් එහි පතුල සිරස්ව තබන්න.

ස්වයංක්‍රීය තාප පාලක ඇති අයන් එකක් හැකි සෑම විට භාවිත කරන්න.

 

විදුලි පංකා භාවිතය

 

විදුලි පංකා භාවිතය වෙනුවට ස්වභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි නිවෙසේ ‍දොර – ජනෙල් තිර රෙදි සකසා ගන්න.

සිවිලිං විදුලි පංකා භාවිතය සීමා කරන්න.

ඒ වෙනුවට අඩු බලශක්තියක් වැයවෙන මේස විදුලි පංකා ආදිය භාවිත කරන්න.

විදුලි පංකා සඳහා ස්වයංක්‍රීය ඉලොක්ට්‍රොනික පාලක සවි කරන්න.

කිසිවකු නොමැති අවස්ථාවලදී විදුලි පංකා නිවා තබන්න.

 

රූපවාහිනි හා ගුවන්විදුලි යන්ත්‍ර භාවිතයේදී,

 

රූපවාහිනිය නරඹා අවසානයේදී දුරස්ථ පාලකය මඟින් පමණක් නොව රූපවාහිනියේ ස්විචය මඟින්ද නිවා දමන්න. එසේ නොමැතිව දුරස්ථ පාලකය මඟින් පමණක් එය ක්‍රියා විරහිත කිරීම Stand – by මඟින් වර්ණ රූපවාහිනියක් සඳහා වොට් 18-25ක් අතර අමතර විදුලිය වැය වීමක් සිදුවේ.

රූපවාහිනිය නරඹන විට නිවෙසේ අනෙකුත් අනවශ්‍ය ස්ථානවල විදුලි පහන් නිවා දමන්න.

කිසිවකු නොමැති ස්ථානවල මෙන්ම, පුරුද්දට මෙන් අනවශ්‍ය වේලාවන්හිදීද ගුවන්විදුලිය ක්‍රියාත්මක වනවා නම් එම පුරුද්ද වෙනස් කරන්න.

 

රෙදි සෝදන යන්ත්‍ර භාවිතයේදී,

 

නිවෙසේ සේදුම් අවශ්‍යතාවට සරිලන ප්‍රමාණයේ යන්ත්‍රයක් මිලදී ගන්න.

අනවශ්‍ය ලෙස වැඩි වාර ගණනක් රෙදි සෝදන යන්ත්‍රය භාවිත නොකරන්න. දින කිහිපයක රෙදි එකවර සෝදන්න. අනුමත බරට වැඩියෙන් හෝ අඩුවෙන් යන්ත්‍රයට යොදන්න එපා. එමඟින් කාර්යක්ෂමතාව අඩුවේ.

වියළීමේ යන්ත්‍රයෙහි භාවිතය සීමා කොට සෑමවිටම රෙදි වියළීම සඳහා හිරු එළිය ප්‍රයෝජනයට ගන්න.

 

විදුලි බල්බ භාවිතය

 

ප්‍රයෝජනයට නොගන්නා අනවශ්‍ය විදුලි පහන් නිවා තබන්න. සාමාන්‍ය විදුලි බුබුළු වෙනුවට 80%ක විදුලි ඉතිරියක් ඇති බලශක්ති ලේබලය සහිත CFL විදුලි පහන් භාවිත කරන්න.

දිවා ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. නිවාස සැලසුම් කිරීමේදී ස්වභාවික අලෝකය හැකි උපරිමයෙන් නිවෙසට ලැබෙන ලෙස ‍දොර ජනෙල් ස්ථාපිත කරන්න.

විදුලි බුබුළුවල නිරන්තරයෙන් දූවිලි පිසදා පිරිසුදු කරන්න. එවිට පහනේ උපරිම ආලෝකය ලබා ගත හැකියි.

බිත්ති, සිවිලිම, තිර රෙදි ආදිය සඳහා ළා වර්ණ භාවිත කරන්න. ළා වර්ණ මඟින් ආලෝකය පරාවර්තනය වේ.

අවශ්‍ය ස්ථානයට පමණක් ආලෝකය ලබා ගන්න. එනම් නිතර භාවිතවන ස්ථානවලට පමණක් හෝ අඩු වොට් අගයක් සහිත පහන් භාවිත කළ හැකියි.

උදාහරණ - නිදන කාමර, මුළුතැන්ගෙය, ආලින්දය, රූපවාහිනි නැරඹුම් ස්ථානය, නාන කාමරය

 

අතීතයේදී නිවෙස් තුළ බහුලව භාවිත වූයේ කහ පැහැති ආලෝකයක් සහිත සූත්‍රිකා පහන්ය. පසුව එයට වඩා කාර්යක්ෂම CFL බල්බ හඳුන්වා දුනි. නූතනයේදී CFLවලට වඩා වැඩි කාර්යක්ෂමතාවක්, ආයු කාලයක් සහිත LED පහන් වෙළෙඳපොළේ තිබේ. මෙම කාර්යක්ෂමතාව වැඩි විදුලි පහන් භාවිතයෙන්, විදුලි බිල විශාල ලෙස අඩු කරගත හැකිය.

ලංකාවේ වැඩිම විදුලි ඉල්ලුමක් සහිත වේලාව වන්නේ හවස 06.30-9.30 අතර කාල සීමාවයි. එය දවසේ Peak Time එකක් නොහොත් සමස්තයක් වශයෙන් විදුලිය බහුල වශයෙන්ම වැයවන කාලය වශයෙන් හැඳින්විය හැකියි. එනිසා එවැනි වේලාවන්හිදී විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම හැකිතාක් සීමා කළ හැකි නම් වඩාත් සුදුසුයි.

සාමාන්‍යයෙන් නිවෙසේ හෝ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන්නේ නම්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ට පමණ තබා ගැනීම සුදුසුය. උදෑසන කාලයට පරිසර උෂ්ණත්වය අඩු නිසා ඒ කාලයේදී එම යන්ත්‍ර ක්‍රියා විරහිත කරන්න. කාර්යාලයක නම් කාර්යාලයෙන් පිටවීමට විනාඩි 15-20කට කලින් ක්‍රියා විරහිත කරන්න. මක්නිසාද ඔබ රැඳී සිටින අවසාන කාලයේදී අදාළ අවකාශය තුළ සිසිලස ඇති නිසා උණුසුම් බව නොදැනේ.

විදුලි උඳුන්, විදුලි කේතලය, රයිස් කුකරය, අවන් එක, වතුර මෝටරය, නාන කාමරවල භාවිතවන හීටර් වර්ග, ග්‍රයින්ඩරය, බ්ලෙන්ඩරය, ජංගම දුරකතන, ටැබ් පරිගණක ඇතුළු විවිධ තාක්ෂණික උපකරණ, රූපලාවණ්‍ය උපකරණවන හිසකෙස් වේළන යන්ත්‍ර, Hair Iron ආදිය අවශ්‍යතාව මත පමණක් භාවිත කරන්න.

විශේෂයෙන්ම නිවෙසක විදුලිය වැඩිපුර වැයවන රෙදි සේදුම් යන්ත්‍රය, අයන් එක ආදිය Peak Time එකේදී භාවිතය හැකිතාක් අවම කරන්න. මක්නිසාද එවැනි වේලාවක දී අප පරිභෝජනය කරන්නේ, වැඩි පිරිවැයක් යොදා නිෂ්පාදනය කරන විදුලි ඒකකයි.

ඉතිං අපි විදුලි බිල නිසා පීඩනයට පත් නොවන අන්දමින් සකසුරුවමින් විදුලි උපකරණ පාවිච්චි කිරීමයි වැදගත්.