බජට් වෙඩින්වලට එකතු වුණු අලුත් ගැජට්

නොවැම්බර් 21, 2022

 චොකලට්, ටොෆි ආදිය දැමූ කුඩා මල්ලක් එහෙමත් නැතිනම් අලංකාරව ආවරණය කළ මල් , එළවළු හෝ පලතුරු පැළයක් තිළිණ ලෙස පිරිනමන්න. එය ඉවත දමන හිස් කේක් පෙට්ටියකට වඩා ඔබේ මංගල දිනය හැමදාටම සිහිපත් කරවාවි.

විවාහ මංගල්ලයක් කියන්නේ ප්‍රේමණීය බැඳීමක අපූරු සන්ධිස්ථානයක්. ජීවිත කාලය පුරාවටම මතකයේ රැඳෙන මේ සොඳුරු දිනය හරි අපූරුවට ලක ලැහැස්ති කරගන්න හැමෝම කැමතියි. ඒත් වර්තමානයේ මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ විවාහ මංගල උත්සවය පවා සීමාසහිතව සංවිධානය කිරීමට බොහෝදෙනකු පෙළඹිලා.

 

එක් උත්සවයක්

විවාහ මංගල දිනය, දෙවැනි දිනය ආදී වශයෙන් උත්සව කිහිපයකට සංවිධානය වූ මංගල උලෙළ මේ වනවිට එක් දිනයකට සීමා වී තිබේ. ඒ දෙපාර්ශ්වයම එකට එකතුවී එක් මංගල උත්සවයක් ලෙස සංවිධානය කිරීමෙනි. මෙහිදී පෝරුවේ චාරිත්‍ර ඇතුළු මංගල උත්සවය උදෑසන කාලයේදීත් දහවල් ආහාරයෙන් පසුව දෙවැනි දිනයේ කටයුතුත් ලක ලැහැස්ති කරගනිති. මනාලයා සහ මනාලිය අත ඇති මුදල අනුව මෙය සංවිධානයකර ගත හැකි අතර එමඟින් කාලය හා ශ්‍රමය මෙන්ම වැය වන මුදල ද අවම කරගත හැකියි.

 

අඩු පිරිසක්

අඩු වියදමක් සහිත මංගල්ලයක් වෙනුවෙන් ඔබ කළ යුතු පළමු කාර්යය වන්නේ ආරාධිතයන් අවමකර ගැනීමයි. ඔබට වියදම් කළ හැකි මුදලට සරිලන පරිදි අමුත්තන් පිරිස ගණනයකර අනතුරුව එය ලැයිස්තු කරගන්න. එවිට දෙපාර්ශ්වයේම අත්‍යවශ්‍ය පිරිස තෝරා බේරා ඔවුන්ට ආරාධනා කළ හැකියි. ඉන්පසුව උත්සව ශාලාව සහ ආහාරපාන ආදිය සංවිධානය කරගත හැකියි. පිරිස අඩු වනවිට කුඩා උත්සව ශාලාවක් ප්‍රමාණවත්වන අතර වැඩි මිලක ආහාර මෙනුවක් වුවද තෝරාගත හැකියි.

 

ආරාධනා පත්

ඔබ බජට් විවාහයකට සූදානම් වන්නේ නම් අවම කළ හැකි තවත් වියදමකි ආරාධනා පත්‍ර. මෙහිදී ආරාධනා පත් සඳහා වැයවන මුදලින් ඉතා සුළු මුදලක් වැය කොට පුංචි කාඩ්පතක් මුද්‍රණය කර ගත හැකියි. ළඟම ඥාතීන් සඳහා ඔබට බුලත් දී ආරාධනා කළ හැකි අතර යහළු මිතුරන් සඳහා මේ වනවිට බොහෝදෙනකු සිදු කරන්නේ නිර්මාණය කරගත් ආරාධනා පතක් වට්ස්ඇප් කිරීමයි.

 

ස්තූති කරන්නට

ඊට අමතරව ඔබට පමණක් වටිනා වැඩිදෙනකුට නොවටිනා ස්තූති කාඩ්පත් සඳහා යන මුදල ද ඉතිරි කරගත හැකියි. පැමිණි අමුත්තන් සඳහා යමක් පිරිනමන්නට අවශ්‍යම යැයි හැඟෙන්නේ නම් පින්තූර කාඩ්පතක් වෙනුවට පුංචි පොත් සලකුණක් වැනි යමක් පිරිනමන්න. එයද මුද්‍රණ ආයතනයකින් ඔබට අඩු මිලකට මුද්‍රණය කරවා ගත හැකිය.

 

මංගල කේක් වෙනුවට

තට්ටු කීපයකින් සමන්විත රිජිෆෝම් සහිත මංගල ආකෘතියක් වෙනුවට එවේලේම අනුභව කළ හැකි කේක් එකක් සූදානම් කරගන්න. එය අමුත්තන්ට ද පිරිනැමිය හැකි අතර බොහෝ මුදල් වැය කරමින් සකසනා කේක් පෙට්ටි වෙනුවට වෙනත් තිළිණ පිරිනැමිය හැකියි. චොකලට්, ටොෆි ආදිය දැමූ කුඩා මල්ලක් එහෙමත් නැතිනම් අලංකාරව ආවරණය කළ මල් , එළවළු හෝ පලතුරු පැළයක් තිළිණ ලෙස පිරිනමන්න. එය ඉවත දමන හිස් කේක් පෙට්ටියකට වඩා ඔබේ මංගල දිනය හැමදාටම සිහිපත් කරවාවි.

 

මංගල ඇඳුම් සහ ආභරණ

මංගල උත්සවයක ආහාරපානවලට පසුව වැඩිම මුදලක් වැය වන්නේ මනාල යුවලගේ ඇඳුම් සහ ආභරණ සඳහායි. මෙහිදී ආභරණ ජීවිත කාලය පුරාවටම පළඳින බැවින් ඒ සඳහා මිලක් ගෙවා වඩාත් සුන්දරව සකසා ගත යුතු වේ. නමුත් මංගල ඇඳුම් යනු බොහෝදෙනකු නැවත කිසිදිෙනක ප්‍රයෝජනයට නොගන්නා ඇඳුමකි. එබැවින් ඒ සඳහා ඉතා විශාල මුදලක් වැය නොකොට කුලී පදනම මත ලබා ගන්නේ නම් එයද හොඳ ඉතුරුවකි.

 

වියදම් කපා හරින්න‍

නැටුම් කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, විවිධ ආලෝකකරණයන්, මල් වෙඩි සංදර්ශන මේ සියල්ල විවාහ උත්සව සඳහා අත්‍යවශ්‍ය දෑ නොවේ. එබැවින් ඔබ බජට් විවාහයක් සැලසුම් කරන්නේ නම් මෙවැනි දෑ කපා හැරිය හැකියි. ඒ වෙනුවට අඩු වියදම් D.J එකක්, පෙරදිග සංගීත කණ්ඩායමක් තෝරාගන්න.

 

මල් සැකසුම් සහ අලංකරණ කටයුතු

සාමාන්‍යයෙන් ස්වාභාවික මල් යොදා ගෙන කරනු ලබන අලංකාර කටයුතු සඳහා ද වැඩි මිලක් දරන්නට සිදුවේ. ඒ මෙහිදී ස්වාභාවික මල් සමඟ වැඩිපුර කොළ අතු සහ කෘත්‍රිම මල් මිශ්‍ර කරමින් අපූරු සුන්දරත්වයක් මතු කරගත හැකියි. ඔබ සතු නිර්මාණශීලීත්වය යොදා ගෙන නැවුම් දෑ යොදා ගෙන අඩු මුදලකින් අපූර්වත්වයක් සේම නැවුම් බවක් එක් කරගන්න.

 

විදේශගතව පැමිණෙන්නේ නම්

ඔබ විදෙස් රටක රැකියාවක යෙදී මංගල උත්සවය සඳහා මෙරටට පැමිණෙන්නේ නම් එයද ලාබයක් කරගන්න. එනම් මංගල ඇඳුම සහ ආභරණ ලංකාවට වඩා අඩු මුදලකට ඒ රටවලින් මිලදී ගත හැකියි.

ඊට අමතරව ටොෆි, චොකලට්, ආමන්ඩ් වැනි දෑ තරමක් වැඩි ප්‍රමාණවලින් රැගෙන එන්නේ නම් මංගල කේක් වෙනුවට ඇසුරුම්කර ඔබේ අමුත්තන්ට පිරිනැමිය හැකියි.

 

 

උපදෙස්

‘අප් ටවුන් ඉවෙන්ට්ස්‘ හි මංගල උත්සව සැරසිලි සහ උත්සව සංවිධායක

යොහොන් විජේසූරිය