වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
හැමෝම හොයන ගලෙන්බිඳුණු වැව ලස්සන පාසල් වගා බිම
අද ඔවුන්ගේ කතාවේ මහා මංගල්‍යයයි. ඒ ඔවුන් වසර ගණනක් තිස්සේ මහන්සියෙන් හැදූ භෝග වගාවේ අස්වනු නෙලීමයි. සූර්ය නමස්කාරයෙන් ඇරඹි මහා අස්වනූ නෙලිම මේ පාසලේ සුවහස් දරු දැරියන්ගේත් විදුහල්පති ඇතුළු ගුරුභවතුන්ගේත් උත්සහයෙන් ලද ප්‍රතිඵලයකි. දරු දැරියන්ගේ මව්පියන් ද ඒ සතුටෙහි කොටස්කරුවන්ය. මේ හැමෝම අතරින් වඩාත්ම සතුටු වන්නේ වෙන කවුරුත් නොව පාසලේ කෘෂි විද්‍යාව පිළිබඳ ආචාර්යවරුන් දෙපළයි. ඩබ්ලිව්.එස් වසන්න සිරිවර්ධන හා රුවන් අමිල ජයතුංග යන දෙපළගේ කැපවීම සහ දරුවන්ගේ සහාය මත මෙම ලස්සන ගෙවත්ත නිර්මාණය වී ඇත. මේ ලස්සන ගෙවත්ත මෙතරම් සාර්ථකව නිර්මාණය කිරීමට හැකිවූයේ ගලෙන්බිඳුණුවැව මධ්‍ය විද්‍යාලයේ ලයේ විදුහල්පති කේ.ජී.ඩබ්ලිව්.කේ.එන් සෙනෙවිරත්න, ගුරු මඬුල්ලත් සිසු මඩුල්ලත් සාර්ථකව මෙහෙයවමින් පතාක යෝධයකු මෙන් සියලු අභියෝගවලට නොමඳව මුහුණ දුන් නිසාය.
ඔව්, අපිට මේ මහ පොළවෙන් ගොඩක් දේවල් හම්බුණා. හැමෝගෙම එකමුතුව අපිට සශ්‍රීකත්වය ගෙනාවා. එසේ පවසන්නේ රුවන් අමිල ගුරුවරයායි.
මේ අසිරිමත් වගාබිම අක්කර භාගයක වැඩිය. බැලූ බැල්මට දිරි දරුවන් විසින් සකසන ලද භෝග වගාවක් ලෙස නොපෙනෙයි. එක යායට ඵලින් බර මෙම ගොවිබිම අපට පෙන්වන්නේ රජරට සශ්‍රීක ගොවි බිමකි. එතරම් අලංකාරව සාරවත්ව මේ සිසුන් විසින් මේ ලස්සන ගෙවත්ත හැඩකර නිර්මාණය කර උස්මහත් කර ඇත.
අක්කර කාලක ගම්මිරිස් ද අනෙක් අක්කර කාලේ ස්ථීර භෝග වර්ග මෙන්ම විවිධ වර්ගයේ එළවළු වර්ගවලින් සමන්විතය. ස්ථීර භෝග අතර කුරක්කන්, තණහාල්, බඩඉරිඟු, මිනේරි වැනි රජරට නිතර වැවූ වියළි කලාපයේ නිතර දැකිය හැකි භෝග වර්ගවලින් සමන්විතය. ස්ථීර භෝග වගාවට ඔබ්බට වන්නට පිහිටි එළවළු වගාව දෙස බැලූ විට මේ සිටින්නේ වියළි කලාපයේම ද කියා හැඟෙයි. ඒ උෂ්ණාධික කටුක පරිසරයේ ද නුවර එළියේ වැවෙන කැරට්, ලීක්ස්, ගෝවා වැනි ශීත කලාපීය එළවළුත් හොඳින් වැඩී ඇති නිසයි. එම කොටස අපට සිහිගන්වන්නේ ශීතල සදාහරිත නුවරඑළියේ සුන්දරත්වයයි.
ලහි ලහියේ අස්වනු නෙළන කණ්ඩායම අතර අප කතාවට සම්බන්ධකර ගන්නේ මෙම කටයුත්තේ එක් පුරෝගාමී මඟ පෙන්වන්නෙකි. ඔහු නමින් රුවන් අමිල ජයතුංග. පාසලේ කෘෂිකර්ම ගුරුවරයකු වන ඔහුට අද ඉතා සතුටු දවසකි. ඵලබර සශ්‍රීක අස්වැන්න නෙළන දරුවන් දෙස සියලු මඟපෙන්වන්නන් බලා සිටින්නේ සතුටිනි. දැන් මේ ගමනේ ආරම්භය මතක් කිරීමට හොඳම මොහොතයි. ඒ සඳහා අපත් සමඟ අමිල සර් එක්වෙයි.
අපි මේ කටයුත්ත පටන් ගත්තේ 2015 අවුරුද්දේදී. 6, 7, 8, 9 දරුවන්ගේ විෂය නිර්දේශයේ ඇතුළත් විෂයන් අතර කෘෂි ව්ද්‍යාවත් ප්‍රාෙයා්ගික තාක්ෂණික කුසලතා විෂයන් ඇතුළත් වෙනවා. ඒ විෂයයන්වලදී නියායාත්මක දැනුම ලබා දෙන්නට හැකියාව තිබුණත් ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්න අපිට හැකියාව තිබුණේ නැහැ. ඒකට හේතුවක් විදිහට තමයි මේ වගාව පටන් ගත්තේ.... වගාව පටන් ගත්තේ විශාල මූල්‍ය අර්බුධ මැද්දේ. ඒකයි අද වගාව දකිද්දි අපි හැමෝටම මෙතරම් සතුටක් දැනෙන්නේ.
ඒ අතරේ හෙතෙම දරුවන් පිළිබඳව ද කතා කරයි...
දරුවන් හරිම ආසාවෙන් තමයි මේ කටයුත්තට එකතු වුණේ. පාසල් කාලසටහන් හදලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාදා නොවෙන්න ඔවුන්ට වෙලාව හදලා දුන්නා. දරුවන් වගේම මව්පියන්ගේත් උදව් උපකාර ලැබුණා. මොකද රජරට බොහෝ දරුවන්ගේ මව්පියන් ගොවියන්. ඉතින් මේ වගාවන්ට අවශ්‍ය උපදෙස් පවා ඔවුන්ගෙන් ලැබුණා.
නුවරඑළියට ආවේණික කැරට්, බීට්, ලීක්ස්, අර්තාපල්, නෝකොල්, ගෝවා, සලාද වර්ගවලට අමතරව මෙම උතුරු මැද මෙන්ම ඌව මඩකලපුව වැනි ප්‍රදේශවල වවන ඉරිඟු, අලබතල, මයියොක්කා, සරුසාරව වවන්ටත් වස විස සහිත රට බෙහෙත් පොහොර කිසිවක් නැතිව මෙම ගෙවත්තට පාසල් සිසු සිසුවියන්ම නිෂ්පාදනය කරගන්නා වු කාබනික යෙදවුම් පාසලේදීම සකස්කර ගන්නා නිසා මෙය තවත් සුවිශේෂියි. මේ වගාව කරගෙන යන්න අවශ්‍ය දැනුම ප්රාසදේශීය කෘෂිකර්ම උපදේශකවරු, මහඉලුප්පලම සහ ගන්නෝරුව උපදේශක වරුගෙන් නොමඳව ලැබෙනවා.
අද අස්වනු නෙලන දවස. ඒ ගැන ඔහුට ඇත්තේ අසීමිත සතුටක්...
වගා කරන එක මහන්සියක් විදිහට අපි කිසිදවසක හිතුවේ නැහැ. සමහර දරුවන් තමන්ගේ ස්ව කැමැත්තෙන්ම උදේ 6ට පාසලට ඇවිත් වගා කටයුතු කළා. දරුවන් තුළ එවැනි දේකට උනන්දුවක් කැපවීමක් ඇතිවීමම ලොකු දෙයක් විදිහයටයි මා දකින්නේ. ඒ කොහොම වුණත් අද අපි හැමෝටම සතුටු දවසක්. අපේ ඊළඟ පියවර මේ කෘෂි භූමියට පොලිතීන් ගෘහයක් එකතු කිරීම. ඒ හරහා පොළීතින් ගෘහ මල් වගාවක්
කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ආර්ථිකමය ගැටලු නිසයි එය කල් දමා තිබෙන්නේ. එයත් හැකි ඉක්මනින් කරගන්න ලැබෙයි.
එසේ කතා බහ කරමින් අප පිවිසියේ අස්වනු නෙළන ඒ රන් භූමියටය. අස්වනු නෙළන වැඩිහිටි දරු දැරියන් අතර පුංචි කුඩාවුන් සතුටින් එහෙ මෙහෙ දුව පැන නටති. ඔවුන්ගේ සිනහ මුවින් පාන්නේ ඔවුන්ගේ උත්සහයේ ප්රපතිඵලයයි. මව්පියනුත් ගුරුවරුන් හරි හරියට ඒ කටයුත්තට සහයෝගය දක්වයි. මෙය කුඩාවුන්ගේ බෝග නෙළීමක් නොව, ඒ ඵල බරට වඩා ඔවුන්ගේ සිනහව බර වැඩිය. කටුක අත්දැකීම් ඇති ජීවිතය විඳීමට ලැබීම හරියටම කටු අකුලක පිපිණු මලක සුවඳ සුන්දරත්වය වැනිය. මේ දරුවන් කටුකත්වය මැඳින් සශ්‍රීක කළ වගාවේ අපට බොහෝ දේ කියාපායි. එකමුතුව කැපවුවහොත් කළ නොහැක්කක් නොමැත. එය ඔවුන් නැවතත් අපට කියයි.
ඡායාරූප - ගලෙන්බිඳුණු වැව මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය අංශය